ගොළු හදවත විවර කරන්න නොයිඳ හිතේ තද කරන් මට කියන්න, යනුවෙන් දශක ගණනාවක් පුරා අපේ හදවත්වලට ආමන්ත්‍රණය කළ පෝල් ප්‍රනාන්දු නැමැති සොඳුරු කලාකරුවා සදහටම අප අතරින් වෙන් වෙලා ගිහින්. ආයෙමත් ඒ සොඳුරු ගීතාවලිය ඔහුගේ මුවින් අසන්න අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
බයිලා ගායකයෙක් විදියට කලා ලෝකයේ කිරුළු පැලඳි පෝල් ප්‍රනාන්දු ගායනා කළ ගීත රාශියක් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. අදටත් ඒ ජනප්‍රියත්වය ඒ විදියමයි. ඒ වගේම බයිලා කලාව ලංකාවේ ජනප්‍රියත්වයට පත් කරන්න කැප වුණු ප්‍රධාන ශිල්පීන් කිහිප දෙනා අතරත් පෝල් ප්‍රනාන්දු ඉදිරියේම ඉන්නවා.
පසුගිය වසර කිහිපය පුරාව නිහඬ ජීවිතයක් ගත කළ පෝල් ප්‍රනාන්දු මහත්මයා පසුගිය 16 වැනිදා කළුබෝවිල මහ රෝහලේදී තමයි තම ජීවන ගමනට විරාමය තැබුවේ. ඒ වන විට 68 වැනි වියේ පසුවූ ඒ මහතා දීර්ඝ කාලයක් අසනීපව සිටි බවත් දැන ගන්න ලැබුණා.
රටේ පවතින අයහපත් තත්ත්වය හින්දා ඔහුට නිසියාකාරයෙන් අවසන් ගෞරව දක්වන්න අපි කාටවත් අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒත් ජීවත්ව සිටිය කාලෙදිවත් ඒ ගෞරවය ඔහුට ලැබුණාද කියන එකත් ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් දශක ගණනාවක් පුරා ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක් වුණු පෝල් ප්‍රනාන්දු මේ වෙද්දි අප අතරින් සමු අරගෙන ගිහින්.
පෝල් ප්‍රනාන්දු මහත්මයා ගායනා කළ ගීත රාශියක් එදා වගේම අදටත් එක වගේම ජනප්‍රියයි. හැබැයි ඒ සමහර ගීත වෙනුවෙන් ඔහුට ලැබිය යුතු වටිනාකම නොලැබුණා කියලයි අපට හිතෙන්නේ. මොකද ඔහුගේ ගීතාවලියේ තියෙන අතිශය ජනප්‍රිය වුණු ඇතැම් ගීත ගායනා කරන්නේ ඔහු කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නමුත් ගුවන් විදුලියේ වගේම ප්‍රසංග වේදිකාවෙත් ඒ ගීත නිතරම අහන්න ලැබෙනවා.
ඒ හින්දා දැන්වත් ඒ ගීතවල නියම හිමිකරුවා කවුද කියන සඳහන් කරලම ඒ ගීත ප්‍රචාරය කරන්න කටයුතු කරනවා නම් බොහොම හොඳයි. ඒ වගේම පෝල් ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කරන සංගීත කණ්ඩායම්වල සාමාජිකයනුත් අඩුම තරමින් ඒ මහතාගේ නම හෝ සඳහන් කරන්න කටයුතු කරනවා නම් ඒකත් හරිම වැදගත්. එහෙම වුණොත් ඒ මහතා ජීවත් සිටියදී ලබා නොදුන් ගෞරවය අනාගතයේදී හරි ලබා දෙන්න අපිට හැකියාව ලැබේවි. පෝල් ප්‍රනාන්දු සොඳුරු කලාකරුවානෙනි. ඔබට නිවන් සුව.
චන්දන පොන්නම්පෙරුම











