මෙරට රාජාවලියේ වට්ටගාමිණී අභය හෙවත් වලගම්බා රජුට හිමිවන්නේ සුවිශේෂී තැනකි. විහාරාරාම රාශියක් ඉදිකිරීමේ ගෞරවය නිතැතින්ම හිමිකරගන්නා වලගම්බා රජු තුන්හෙළය එක්සේසත් කළ දුටුගැමුණු රජුගේ සහෝදරයා වන සද්ධාතිස්ස රජුගේ බාල පුත්‍රයා හෙවත් සිවුවන පුත්‍රයාය. දුටුගැමුණු රජුගේ මරණයෙන් පසුව රජකම හිමිවූයේ සද්ධාතිස්ස කුමරුටය. ඔහුට පසු ඔහුගේ පුතුන් සිවුදෙනාට පිළිවෙළින් රජකම හිමවිය. ඒ අනුව මුලින්ම වැඩිමහල් සහෝදරයා වූ චුල්ලත්ථන, ඉන්පසු ලජ්ජිතිස්සත් ඔහුගෙන් පසුව බල්ලාඨනාගත් රජ විය.
බල්ලාඨනාගගෙන් පසුව වට්ටගාමිණී වලගම්බා නමින් රාජත්වයට පත්විය. එහෙත් ආක්‍රමණිකයන්ගේ තර්ජන හමුවේ සිය රාජධානියෙන් පලායන්නට වළගම්බා රජුට සිදුවූ අතර රජුගේ පලායෑම දුටු ‘ගිරි’ නම් නිගණ්ඨකයා මහා කළු සිංහලයා පලා යනවා යැයි රජුට අවමන් කළ බවත් වංශකතාවල සඳහන් වේ.
ගිරි නිගණ්ඨයාගේ මේ අවසන් කිරීම වළගම්බා රජුට කිසි දිනෙක අමතක නොවීය. ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයෙන් බේරී සිටින්නට වළගම්බා රජුට දීර්ඝ කාලයක් මළුල්ලේ සැඟවී සිටින්නට සිදුවූ අතර ඉන් පසුව ඔහු යළිත් රාජත්වය ලබා බලයට පත්විය.
යළි බලයට පත්වීමෙන් පසු වළගමබා රජු තමන්ට නිගා කළ ගිරි නිගණ්ඨයා වාසය කළ අසපුව විනාශ කොට ඔහුව පලවා හැර අක්කර 500ක් වූ එම භූමිභාගයේ අභයගිරිය නිර්මාණය කර ඇත. ඉන්පසු තමන්ට යළි බලයට ඒමට උදව් කළ මහා සංඝයා අතරින් කුප්පිල මහා තිස්ස ස්වාමීන් වහන්සේට අභයගිරි විහාර සංකීර්ණය පූජා කොට ඇත. එහිදී උන්වහන්සේ මෙම ආරාම සංකීර්ණය පිළිගෙන ඇති අතර, එම ආරාම පූජාවෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම නිකාය භේදය ඇතිවීමට හේතු යෙදී ඇති බව වංශ කතාවල සඳහන් වේ. එනම් පොදුවේ මහා සංඝරත්නයට හැර අන් ආකාරයට පෞද්ගලික පූජාවන් බැහැර කිරීම අකැප බැවින් එලෙස පෞද්ගලික ආරාම පූජාව බාරගත් නිසා උන්වහන්සේ මහා විහාරයෙන් නෙරපා ඇත. එතැන් පටන් උන්වහන්සේට මහා විහාරයෙන් ඉවත්ව අභයගිරියේ වැඩ වාසය කරන්නට සිදුවී ඇත. ඒ අවස්ථාවේ තවත් භික්ෂුන් වහන්සේ 500 නමක් මහා විහාරයෙන් නික්ම අභයගිරියේ වැඩ වාසය කරන්නට පැමිණ ඇති අතර එලෙසින් ප්‍රථම නිකාය භේදය සිදුව තිබේ. එතැන් පටන් මහා විහාර නිකායට අමතරව අභයගිරිය මූලික කරගත් අභයගිරි නිකායද ආරම්භ වී තිබේ.
අභයගිරි විහාරය ලංකාවේ මහායාන බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සලකා ඇති අතර පස්වන සියවස පමණ වන විට අභයගිරි විහාරය ආශ්‍රිතව වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ ප්‍රමාණය 5000කටත් වැඩිවූ බවද පැවැසේ. එසේම දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුවද අභයගිරි විහාරය සන්තකයේ තිබුණු බවත් එනිසාම අභයගිරියට ඉතා ප්‍රබල සහ උසස් ස්ථානයක් හිමිව තිබූ බවද පැවැසේ.
අභයගිරි නිර්මාණ සැලැස්ම ඉතා මනරම් සහ උසස් බව පෙනී යන අතර එහි ස්ථුපයක්, බෝධිඝරය, පොහොය ගෙය, ප්‍රධාන ඝරය, පිරිවෙන් නේවාසිකාරාම, ළිං, පොකුණු ආදී සියල්ලෙන් අංගසම්පූර්ණව ප්‍රධාන විහාරාරාමයක් ලෙස තිබූ බවද පැහැදිලි වේ.
ප්‍රථම නිකාය භේදය එසේ සිදුවීමෙන් පසුව ක්‍රි.ව. 275 සිට 302 දක්වා රජකම් කළ මහසෙන් රජු මිසදුටුවකුගේ බස් අසා රැවටී අශ්ශීල භික්ෂුන් වෙසෙන්නේ යැයි සිතා මහා විහාරය විනාශකොට උඳු වැපිරූ බවත් ඉන් පසුව ජේතවනාරාමය ගොඩනැඟීමත් ඒ සමඟ ශ්‍රී ලංකාවේ තුන්වැනි නිකාය ලෙස ජේතවන නිකාය ආරම්භ වී ඇත. එය මෙරට තුන්වැනි නිකාය භේදය ලෙසින් සැලකේ.
කුමාර රත්නායක











