කුරුලු කූඩුවක් නිවසේ හැදුවොත් දරු සම්පත්
විවාහ ප්‍රමාදයට ගිරවකුගෙන් විසඳුමක්
වටිනාකමක් නැතැයි සිතන ඇතැම් දේ නොසිතූ මොහොතක අවශ්‍ය විය හැක. පැරැන්නන් මේ කාරණාව ගැන විවිධ කතා පවසා තිබෙනු අසන්නට ලැබෙන අතර, බළල් වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය වෙයි යන්නත් කුකුළු වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය යැයි යන්නත් ප්‍රසිද්ධ කියුම් දෙකකි. එසේම බෙහෙත් සඳහා නොගන්නා පැළෑටියක් නොමැති බව බුදු සමයේ සිටි ජීවක වෙදැදුරුගේ චරිතයෙන් පැහැදිලි වෙයි. මේ ආකාරයට අගයක් නැතැයි කියා ඉවත දමන බොහෝ දේ මිනිසාට ප්‍රයෝජනවත් වන අතර අගයක් නැතැයි වටිනාකමක් නැතැයි සිතන සත්ව කොට්ඨාසයක් කරදරයක් ලෙස දකින සත්ව කොට්ඨාසයක් විටෙක මිනිසාට උපකාර වෙයි. ඒ නොවරදින අනාවැකිකරුවන් වෙමිනි. ඒ අනුව සුබ පෙරනිමිති අසුබ පෙරනිමිති පෙන්වා දීම සේම ගුරුකමටත්, වෙදකමටත් සතුන්ගෙන් ලැබෙන සහාය අපමණය. එහිදී සතුන් හා ගෙතුණු ඇදැහිලි විශ්වාස සුළුකොට තැකිය නොහැක. එමෙන්ම එවැනි කතා සහ විශ්වාසයන්ද බොහෝය.
කෘෂිකාර්මික දියුණුවට උරදෙන ගවයා හින්දුන් විසින් දේවත්වයෙන් සලකනු ලබයි. ශිව දෙවියන්ගේ වාහනයද ගවයාය. එළදෙන කිරි මව ලෙස මිනිසුන් විසින්ම පිළිගනු ලබයි. සතුන් සහ පක්ෂීන්ට පැරැන්නන් දේව සංකල්පය මඟින් ලබාදුන් දේවත්වය හාස්‍යයට යොමුවන අවස්ථාද නැත්තේ නොවේ.
සෙනසුරුගේ වාහනය ලෙස සැලකෙන කපුටාට සමාජය තුළ ඇත්තේ විශාල පිළිගැනීමකි. කපුටාට ආහාර දීම ආදී කාරණා ඇසුරින් පිහිට පතන්නෝද බහුලය. කපුටා ස්නානය කළ ජලය ඇතැම් රෝගයන්ට ප්‍රතිකර්ම සඳහා භාවිතා කරයි. හින්දු දෙවියන්ට අයත් සතකු ලෙස පිළිගැනෙන මොනරාටද හිමිවන්නේ විශේෂ ගෞරවයකි. තවත් ආකාරයට එම ගෞරවය අභියෝගයට ලක්කරමින් මොනර හිස උයා කෑමට ගැනීමෙන් බලයත්, මස් ආහාරයට ගැනීමෙන් තිරිහන් වීමත් හිමිවන බව විශ්වාසයයි. මොනර පිහාටු කුෂ්ට රෝග සඳහා ප්‍රතිකාරවලට ගැනෙයි.
දින සහ යාමයක් ගෙවී යන මොහොතේ කුකුළාගේ හැඬලීම භූතාවේශයකින් සිදුවෙන්නක් බවට අතීත භාරත පිළිගැනීමක් විය. එවැනි අවස්ථාවක මරන ලද කුකුළන්ගේ මස් ආහාරයට නොගැනීමටත් පිරුවටයක ඔතා වළදැමීමටත් අතීත භාරතීයයන් කටයුතු කර ඇත. කපුටන් නාද කිරීම නිවෙසකට අමුත්තන් පැමිණෙන බවට පෙරනිමිත්තකි. බකමූනන්ගේ නාදය මළවුන්ගේ පණිවුඩ රැගෙන ඒමත් ලෙසට සැලකෙයි. තවද බකමූනා සහ කපුටා වෛරී පක්ෂීන් දෙදෙනෙකි. එම පක්ෂීන් දෙදෙනාගේම පිහාටු හූනියම් කටයුතු සඳහා යොදාගැනෙයි. බකමූනු මාංශ ආහාරයට ගැනීමෙන් නිවට ගති මතුවන බවටත් විශ්වාසයේ ඇත. හූනියම් නොවැදීමට බකමූනු අස්ථි කොටස් සුර තුළ දමා පැලඳීමද සිරිතකි.
ගිරවකු ඇති කිරීමෙන් කඩිනම් විවාහයකට මඟපෑදෙන බවටද විශ්වාසයක් තිබේ. මේ අතර ගිරවුන් පිළිබඳව හරි අපූරු ජනප්‍රවාද තිබේ. ඒ අනුව එකල බිරියන්ගේ නොමනා ක්‍රියා ගැන ගිරවුන් සැමියාට කේලම් කියූ බවද පැවසේ. ඇටි කුකුළු පැටවකුගේ පාද රන් කෙන්දකින් බැඳීමෙන් පසු ඇටි කුකුළා ලී කැබැල්ලක් තබා එම රන් කෙන්ද කඩා දමයි. එම ලී කැබැල්ල තමන් සන්තකයේ තබා ගැනීමෙන් බොහෝ සම්පත් උදාකරන අතර එයට කළුනික යනුවෙන් හඳුන්වයි.
කුඹුරට බසින විට ගොවියන් රාජාලියාගේ නම තුන්වරක් මතුරා තමන්ව නාගයන්ගෙන් ආරක්ෂා කරදෙන ලෙස අයැදීම පැරැණි කෙම් පිළිවෙතකි. සර්පයන් අතර විශේෂ සර්පයකු වන පිඹුරාගෙන් ලබාගන්නා තෙල අනතුරකින් වෙන්වූ සම සහ මස සම්බන්ධ කිරීමට සමත් වෙයි. පිඹුරු අස්ථියක් ඉණට තබා බැඳීමෙන් අපස්මාරය රෝගය සුවවන බවත් සිහිනයෙන් බියවීම නවතින බවත් විශ්වාසයයි. කොටි දත් හෝ නිය ඉණ හෝ ගෙල පැලඳීමෙන් භූත දෝෂ දුරුවෙයි.
නාගයකු නිවෙසට පැමිණීමෙන් රජයෙන් හෝ රජයේ නිලධාරීන්ගෙන් අසුබයක් සිදුවන බවට පෙරනිමිත්තකි. නීතිමය ගැටලු සහ විවිධ චෝදනාවන්ට ලක්වීමද එයින් හඟවන බව පැවසේ. පරවියන් නිවෙසට පැමිණීම හතුරන් මිතුරු වීමකි. අසල්වැසි සුහදතා වර්ධනයත්, නීතිමය ගැටලු නිරාකරණයත් සාමදානය ඇතිවීමත් පරවියන්ගේ පිළිගැනීමෙන් දැනුම්දෙයි.
කුරුල්ලන් නිවෙසේ කූඩු තැනීම විවාහක කාන්තාවකට දරුපල හිමි වීමකි. ගේ කුරුල්ලන් නිවෙසේ පදිංචි වීම අඹු සැමි සමගියට හේතුවෙයි. මී මැස්සන් මීවද බැඳීම නිවැසියන්ට හදිසි ධන ලාබ උදාකර දෙන බවත් කබරගොයි නිවෙසට පැමිණීම නිවෙස පාළුවීමේ පෙරනිමිත්තක් බවටත් විශ්වාසයේ ඇත. හක්බෙල්ලාගෙන් සාදාගන්නා හක්ගෙඩිය උතුම් ජය සංකේතයකි.
මේ අනුව තවත් බොහෝ විශ්වාසයන් සහ ඇදහීම් සමාජය තුළ අනන්තවත් අසන්නට දකින්නට තිබේ. ඒ ඒ කාල අනුව මේවා වෙනස් වෙමින් අලුත් වෙමින් යන බවක්ද පෙනෙන්නට ඇති අතර මේ විශ්වාසයන් සුළුකොට සිතා පහසුවෙන් බැහැර කළ නොහැකි බව බහුතරයක් දෙනාගේ මතයයි.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











