සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමේ රු. බිලියන 1.9ක හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය හිමි වී ඇත. මේ අතර 2020 නොවැම්බර් මස 9 වැනිදා එම සමාගමේ විශේෂ මහසභා රැස්වීමක් කැඳවීමට නියමිත අතර, නොවැම්බර් මස අගදී සමාගමට අරමුදල් හිමිවනු ඇති බවටද අපේක්ෂිතය. මෙම හිමිකම් නිකුතුව සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමේ මවු සමාගම වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම විසින් ප්‍රතිරක්ෂණය කර ඇති බැවින් සමස්ත කොටස් නිකුතුව තහවුරු වී ඇත.
තවද, සොෆ්ට්ලොජික් සමූහය විසින් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් මිලදී ගැනීමද නිවේදනය කළේය. එම කොටස් මිලදී ගැනීමෙන් අනතුරුව අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට ඒකාබද්ධවන අතර එතැන් සිට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පමණක් ඉදිරියට රැඳී සිටිනු ඇත. මෙම හුවමාරුව සඳහා මූල්‍ය ආයතනවල නියාමකයාවන ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි වීමට නියමිතය. මෙලෙස ඒකාබද්ධවන සමාගම රු. බිලියන 32ක සමස්ත වත්කම් ප්‍රමාණයක්, රු. බිලියන 22ක පාරිභෝගික තැන්පතු ප්‍රමාණයක් සහ රු. බිලියන 26ක පාරිභෝගික අත්තිකාරම් ප්‍රමාණයක් සමගින් ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු නියාමන රෙගුලාසිවලට අනුකූල වඩාත් ශක්තිමත් සමාගමක් ලෙස ඉදිරියට ගමන් කරනු ඇත. 2021 මාර්තු මස 31 වන විට එම ඒකාබද්ධ සමාගමේ ප්‍රාග්ධන පදනම රු. බිලියන 4.9ක් බවට පත්වනු ඇතැයි අපේක්ෂිතය.











