බිමල් ජයකොඩි ගැන ලියන්නට පෑන මෙහෙයවීමට ලැබීමද එක්තරා ගෞරවයකි. එසේත් නැතිනම් ආඩම්බරයකි. ඒ තරමටම බිමල්ගේ රංගන පෞරුෂය ශ්‍රේෂ්ඨය. එලෙසම මේ කදිම රංගනවේදියා ගැන හැඳින්වීමක් ලියන්නටද අවැසි නැති තරම්ය. ප්‍රේක්ෂක සිත් සතන් තුළ ඔහුගේ කඩවසම් රූපකාය මෙන්ම මනරම් රංගන කුසලතාවයද නිදන්ගතව ඇත. ඉතින් තව වචන කුමකටද? ඔහු හා සුහද පිළිසඳරකට මෙසේ ආරම්භය තබමු.
ඉතින් බිමල් පසුගිය දවස්වල ඔබ බොහෝ කාර්යබහුලව සිටි බව ආරංචියි?
ඔව්. රූගත කිරීම් බොහොමයකට සහභාගි වුණා. මේනක රාජපක්ෂ නම් අපේ තරුණ රංගනවේදියාගේ පළමු අධ්‍යක්ෂණය තුළත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අලුත් ටෙලිනාට්‍යය දෙකකත් වැඩ කටයුතු නිම වුණා. සුවිශේෂීම සිදුවීම වූයේ ප්‍රසන්න ජයකොඩිගේ ‘කොරෝනා කාලේ ආලේ’ චිත්‍රපටයෙහිද රඟපෑම් කටයුතු සඳහා සහභාගි වුණා.
‘කොරෝනා කාලේ ආලේ’ ගැන කතා කරන්න අකමැති නැතුව ඇති ඔබ?
අනිවාර්යෙන්ම එය කතා කළ යුතුම සංසිද්ධියක්. ‘මව්රටෙහි’ කතිකාවක් සඳහා ආරාධනා ලැබෙනකොටත් මගේ හිතට ආවේ ‘කොරෝනා කාලේ’ ආලේ ගැන අනිවාර්යෙන්ම කතා කළ යුතුය කියන සිතුවිල්ලයි. කොරෝනා කාලෙහි පිටපත ප්‍රසන්න ජයකොඩි කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා වෙතින් නිර්මාණය වූයේ පළමුවැනි කොරෝනා රැල්ල පැමිණීමත් සමඟමයි. ඔහු ඒ පිළිබඳව මා සමඟ කතාබහ කළා. එහි මට හිමි චරිතය ගැන පවා මට පැහැදිලි කිරීමක් කළා.
‘කොරෝනා කාලේ ආලේ’ ගැන කෙටි හැඳින්වීමක්, නිර්මාණයෙහි කුතුහලයට හානියක් නොවන ආකාරයට විග්‍රහ කරනවා නම් එය ආදරයේ මිහිරියාව සමඟ දිවෙන කතාවක්. එහි මට අයඅතිව තිබෙන්නේ ‘රවී’ කියන තරුණ මිනිසකුගේ චරිතයයි.
කොරෝනාව මිනිසුන් අතරට පැමිණි ආකාරය, එහි පීඩාකාරී ආගන්තුක බවට ඔවුන් මුහුණදෙන ආකාරය, සමාජයට කොරෝනාව දැනෙන විදිය, ඔවුන් එය බාරගත් සහ එයට මුහුණදුන් ආකාරය, තරාතිරමත් නැතිව හැම සමාජ මට්ටමකම එය විහිද ගිය ස්වභාවය ගැනද ප්‍රසන්න ජයකොඩි හරිම අපූරු විග්‍රහයක් කර තිබෙනවා.
‘කොරෝනා කාලේ ආලේ’ තුළ ඉන්නේ චරිත තුනයි. එහි මම රඟපාන රවීගේ චරිතය දිවයන්නේ විනාඩි 15ක් වැනි කාලයක් තුළ වුවද ‘රවී’ කියන පුද්ගලයා හරහා තමයි කතා තේමාව කේන්ද්‍රගත වන්නේ.
ඔබ බොහොම තෘප්තියෙන් ‘රවී’ ගැන කතා කරනවා බිමල්?
සත්තකින්ම කියනවා නම් මම ඉතාම ආශ්වාදජනක සතුටක් ‘කොරෝනා කාලේ ආලේ’ චිත්‍රපය නිසා අත්වින්ඳාය කිව්වොත් එය ඉතාම නිවැරැදියි. පැය එකහමාරක ධාවනයකින් යුතු මේ අපූරු කතා පුවතෙහි මා සතු චරිත නිරූපණය විනාඩි 10ක් 15ක් වුවද ඒ කාලය තුළ මා ලද මානසික වින්දනය අති විශාලයි. ප්‍රසන්න ජයකොඩි කියන ප්‍රවීණ කලාකරුවාට මම ස්තුති කරනවා එවැනි භාග්‍යයක් වාසනාවක් මට උරුම කර දුන්නාට.
අනික මම විතරක්ම නෙමෙයි. මෙයට සහභාගි වූ සෑම කලාකරුවෙක්ම මූල්‍යමය කොන්දේසි ගැන පවා කිසිම ආකාරයක තැකීමක් නොකර තම කාර්යභාරය ඉටුකළේ විශාල කැප වීමක් තුළයි. ඇත්තටම කියනවා නම් ‘කොරෝනා කාලේ ආලේ’ චිත්‍රපටය සිනමා පටයක් විදිහට හෝල් එකක පෙන්වන්නට අවස්ථාව නොලැබුණත් වෙනත් කුමක් හෝ මාධ්‍යයක් හරහා එය ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එන සුබවාදී හැඟීම තුළ තමයි අපි හැමෝම ඉන්නෙ.
‘කොරෝනා කාලේ ආලේ’හි ‘රවී’ගේ චරිතය ඔබට ලැබුණේ ප්‍රසන්න ජයකොඩිගේ මනසෙහි මැවුණු යම් ස්වරූපයක් හරහාද?
ඔව්. ප්‍රසන්න ජයකොඩි මට කිව්වා ඔහු නිර්මාණය කළ රවීගේ අංග චලනය, බැල්ම, හැසිරීම සහ වයසෙහි පෙනුම මට සමානය කියා. ඒ ප්‍රතිරූපයට අනුව තමයි ඔහුගේ ආරාධනය ලැබුණේ.
ඔබේ සාර්ථක රංගන ජීවිතයෙහි නිර්මාතෘ ප්‍රසන්න ජයකොඩි නම් ප්‍රවීණයාය කිව්වොත් එය නිවැරැදිද?
සම්පූර්ණයෙන්ම එය නිවැරැදියි. සුවිශේෂීව ‘හදවිල සක්මන’ ටෙලි නිර්මාණය හරහා ප්‍රසන්න මට දුන් ආරම්භය ඉතාම අද්විතීයයි. චරිතයක් තේරුම් ගැනීම, එයට ප්‍රවිශ්ඨ වීම, ඒ තුළ දිගු ගමනක් යෑම සහ එහි අවසන් පියවර සාර්ථක කර ගැනීම යන සිදුවීම් තුළ ඔහු මට මඟපෙන්වූ ආකාරය කිසි විටෙකත් මට අමතක වන්නේ නැහැ. ඔහුගේ නිර්මාණවලට දායක වීම තුළ මම විශාල සතුටක් අත්විඳිනවා. හැබැයි අවාසනාවකට වාගේ කාලය වෙන්කර ගැනීමේ අපහසුතාවය මත ඔහු කළ සමහර ආරාධනයන් මා වෙතින් ගිලිහී ගියා. ‘කොරෝනා කාලේ’ ආලේ සමඟ නැවැතත් මම ප්‍රසන්න ජයකොඩි සමඟ එක්වුණේ මතක හැටියට අවුරුදු 15කට පමණ පසුවයි. ඒ වගේම ප්‍රවීණ නිර්මාණකරු ආනන්ද අබේනායක ගැනද මෙහිදී සිහි නොකළහොත් එය අසාධාරණයක්. බිමල් ජයකොඩි කියන රංගවේදියා අද සාර්ථක තැනක ඉන්නවා නම් ඒ සාර්ථකත්වයට උරදුන් සුවිශේෂී පුද්ගලයන් දෙදෙනා අතර ප්‍රසන්න ජයකොඩි වගේම ආනන්ද අබේනායකත් ස්ථීරවම සිටිනවා. ඒ වාගේම මා වටා රැඳෙමින් රංගනය යන විෂය ගැන යම් අත්දැකීමක් දුන් රංගන ශිල්පීන් අතර මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, අසෝක අතාවුදහෙට්ටි, ප්‍රියන්ත සිරිකුමාර සහ පාලිත පෙරේරා යන පිරිස ගැනද අමතක නොකර මෙහිද කිවයුතුමයි. රංගන ජීවිතය තුළ මම දිගු ගමනක් ඇවිත් තියෙනවා නම් ඒ පැමිණියේ ප්‍රවීණයන්ගේ මෙහෙයවීම මත මිසක ඇකඩමියකින් ලබාගත් දැනුම හරහා නොවේ.
ප්‍රේක්ෂකයන් අතර රංගනවේදියකු ලෙස ඔබ ජීවමාන වූයේ ‘ජීවිතයට ඉඩදෙන්න’ නිර්මාණය තුළිනුයි?
ඉතාම හැඟීම්බර චරිත නිරූපණයක්. එදා වාගේම අදටත් බොහෝදෙනකු ඒ ගැන කතා කරනවා.
යම් චරිතයකට ප්‍රවිෂ්ඨ වීමට පළමුව ඔබ ඒ ගැන අධ්‍යයනය කරනවාද?
මෙහෙමයි. සමහර චරිත නිරූපණයන් සඳහා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඒ සඳහා අපව යොමුකරවනවා. නිදසුනක් ලෙස සුනාමි චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරන්නට පළමුව අප එවැනි අත්දැකීම්වලට මුහුණදුන්නා. වතුරට හුරු වන ආකාරය ගැන වතුර යට අපට කොයි තරම් වෙලා ඉන්න පුළුවන්ද කියන අවස්ථාවක් ගැන එහි රඟපෑ සෑම රංගනවේදියෙක්ම යම් පෙරහුරුවක් ඇතිකර ගත්තේ පුරා දවසක්ම වාගේ ස්විමින්පූල් එකක බැහැගෙනයි.
‘ගාමණී’ චිත්‍රපටය තුළද ඔබ එවැනි පෙරහුරුවක් ලබාගත්තා?
ඔව්. ‘ගාමණී’ කියන්නේ දක්ෂ වෙඩික්කාරයෙක්. ගාම්භීර නිලධාරියකු සතු හැසිරීම් සැලියුට් එකේ ඉඳලම ඉගෙනගන්න අප හමුදා කඳවුරු වෙත ගියා. පුහුණුව ලැබුවේ සජීවී උණ්ඩවලින් බොහොම පරෙස්සමට. කර්නල් රත්නප්‍රිය බන්ධු අපට දුන් සහාය තුළ ආචාර්ය සරත් වීරසේකර හමුදා නිලධාරියකුගේ මනස හැසිරවීම ගැන කියාදුන් යම් පාඩම් තුළ දක්ෂ චරිත නිරූපණයකට අවැසි පන්නරය මම ලබාගත්තා. ඉතින් මම හිතනවා එවැනි අධ්‍යයනයන් හරහා අපට තව තව දෑ අලුතින් ඉගෙන ගන්න පුළුවනිය කියා.
ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ඔහුගේ නිර්මාණයකට ඔබව බොහෝ විට දායක කර ගන්න හේතුව කුමක්ද?
ඔහු මට කියනවා ඔහු මවන සමහර චරිතයන් ඉදිවන්නේ මගේ ස්වරූපය හරහා කියා. ඉතින් රසික සුරවීර අතින් ලියැවෙන පිටපතක යම් චරිත සඳහා ශිවා කරන ආරාධනයක් මම සතුටින් බාර ගන්නවා.
රංගන කලාවෙන් බැහැරට ගිය ඔබේ පුද්ගලික තොරතුරු දැනගන්න කැමැතියි?
මමත් සුජානිත් හරිම අපූරු පවුලක්. අවබෝධය, පරිත්‍යාගශීලී බව තුළ අපි සතුටින් ජීවත් වෙනවා. රංගනයත්. පෞද්ගලිකය කියන ජීවිතය තුළත් මම සාර්ථක තැනක සිටිනවාද? ඒ තැනට ඒම සඳහා මට සුජානි දුන් අත්වැල ඉතා ආදරණීයයි. ඉදිරියට කරන්නට තිබෙන නිර්මාණ කිහිපයක් ගැන මමත් ඇයත් යම් සැලැස්මක සිටිනවා. බාලසූරිය මහතා සමඟ ආරම්භ කිරීමට නියමිතව තිබූ එම චිත්‍රපට නිර්මාණය කොරෝනා උවදුර නිසා අතරමඟ දැනට නතරව තිබෙනවා.
ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට පණිවුඩයක් දෙනවා නම්?
‘කොරෝනා කාලේ’ ආලේ තුළින් කොරෝනා උවදුරට මුහුණදිය යුතු ආකාරය ගැන මා බොහෝ දේ ඉගෙන ගත්තා. මගේ දයාබර ප්‍රේක්ෂකයන්ට කියනවා පරිස්සමෙන් ඉන්න. අන් අයගේ පරෙස්සම ගැනද හිතන්න. නීතියකට යටත් වෙනවාට වඩා මානුෂිකත්වය තුළ අපි හැමෝම අපේ සිතුවිලි මෙහෙයවනවා නම් කොරෝනාව පරාජය කිරීම හිතන තරම් අපහසු නැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











