මේ දවස්වල ‘ධරණි’ ටෙලිනාට්‍ය හරහා සුවිශේෂී චරිතයක් අපට හමුවෙනවා. ඒ විනුලි. ඇත්තට කවුද මේ විනුලි කියලා ඔබ හිතනවා ඇති. මොකද ඇයගේ සටන් දකින විට ඔබට මැජික් එකක් කියලා අපි දන්නවා. ඇය තමයි දිලුෂි හංසිකා. ‘2020 දෙරණ’ අවුරුදු කුමාරියන් අතර තුන් වැනි ස්ථානය හිමිකර ගැනීමට ඇයට හැකි වුණා. ඉතින් දැන් රටක් දැනහඳුනන විනුලි පුවත්පතකට කතා කරන පළමු අවස්ථාව තමයි මේ.
දිලුෂි දැන් චණ්ඩියෙක් වෙලා නේද?
දිලුෂිව ගොඩදෙනෙක් දැන හඳුනගත්තේ ‘ධරණි’ ටෙලිනාට්‍ය හරහා තමයි. ඒ ‘විනුලි’ චරිත තුළින්. දිලුෂි දඟකාර වුණාට විනුලි තරම් චණ්ඩියෙක් නෙවේ ඉතින්.
ඔබේ පළමු රංගන තමයි අපි මේ දකින්නේ. නිළියක් වීමේ අවස්ථාව ලැබුණේ කොහොමද?
‘2020 දෙරණ’ අවුරුදු කුමරිය තරගාවලියේ තුන් වැනි ස්ථාන කිරුළ හිමිවුණේ මට. ඒ හරහා තමයි ‘ධරණි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ. මම කවදාවත් හිතුවෙ නැහැ මට කලා ක්ෂේත්රයේ මේ වගේ තැනකට එන්න ලැබෙයි කියලා.
ඔබට ඒ පාර හැදුණේ ‘විනුලි’ නිසා. ඉතින් ඒ ගැන කතා කළොත්?
මේ මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. ඒ විතරක් නෙවේ මේ මම පුවත්පතකට කතා කරන පළමු අවස්ථාව. ඉතින් මේ අවස්ථාවන් දෙකම මට විශේෂයි. කිවයුතු බොහෝ දේවල් තිබුණත් මම හිතන්නේ නැහැ ඒ තරම් ඉඩකඩක් මම වෙනුවෙන් වෙන් වෙයි කියලා. ‘විනුලි’ වැනි සුවිශේෂී චරිතයකට මාව තෝරා ගැනීම ‘දෙරණ’ අධ්යක්ෂ මණ්ඩලයට වගේම ධරණි ටෙලිනාට්‍ය කණ්ඩායමට මුලින් ස්තුතිය පුදකරනවා. හරිම අලුත් අත්දැකීමක් වුණා මට විනුලිගේ චරිතය. ඒ වගේම ටිකක් කුතුහලයක් ඇති චරිතයක් පළමු වරට කරන්න ලැබීම සතුටක්.
දිලුෂි මේ තරම් හොඳට සටන් ඉගෙන ගත්තේ කොහොමද?
මම සටන් කලාව හදාරලා නැහැ. ‘ධරණි’ ටෙලිනාට්‍ය වෙනුවෙන්ම මට එය පුරුදු පුහුණු වීමට සිද්ධ වුණා. ඔසද බණ්ඩාර මාස්ටර් තමයි අපිට සටන් පුරුදු, පුහුණු කළේ. ඉතින් ඉතා කැපවීමෙන්, උනන්දුවෙන් ‘විනුලි’ චරිතය වෙනුවෙන් මහන්සි වෙන්න සිද්ධ වුණා.
මෙවැනි සටන්කාමී චරිතයකට ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
අනේ නැහැ… ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර ප්‍රේක්ෂකයන්ගේ විවිධ අදහස් තිබුණා. මම හිතනවා මම චරිතයට සාධාරණයක් කරලා තිබෙන නිසා තමයි මෙවැනි ප්‍රතිචාර ලැබෙන්නේ කියලා.
සටන් කරන අතුරතුර මොන වගේ ප්‍රශ්නවලටද මුහුණ පෑවේ?
මට මෙය අලුත් අත්දැකීමක්. ඉතින් සියල්ල අවබෝධ කරගෙන තමයි වැඩ කරන්න සිද්ධ වුණේ. අනෙක කැමරාවක් ඉදිරිපිට සටන් කරන කොට ඒ ප්‍රේම් එක ගැන අවබෝධයක් තිබිය යුතුමයි. පුහුණු වීම අතරතුර තුවාල වීම් පවා සිද්ධ වුණා.
ඉතින් ආදරය දිනාගැනීමට සටන් කළ යුතුමද?
ආදරය මට නුහුරු දෙයක්. නමුත් මම හිතන විදියට ජීවිතය ජයගන්නට සටන් කළ යුතුමයි.
ඔබේ මේ චණ්ඩි නිරූපණය ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මැජික් වගේ නේද?
මම අලුත් කෙනෙක්. මෙය කලින් මාව දැකලා නැහැ නිර්මාණවල. ඉතින් ගොඩදෙනෙක් පුදුම වුණා කවුද මේ කෙල්ල කියලා. ඒ විතරක් නෙවේ ගොඩාක් නිර්මාණවල සටන් කරනවා දකින්නේ පිරිමි අයනේ. කලාතුරකින් අංගම්පොර සටන් කලාවත් එක්ක කාන්තාවන් සටන් කරනවා දකිනවා. ඉතින් කෙල්ලෝ දෙන්නෙක් ‘ධරණි’ තුළ සටන් කරන නිසා විශේෂ ආකර්ෂණයක් වුණා.
වසන්ත විතාරණගේ











