නිවෙසක් ගත් විට එය කොටස් කිහිපයකට බෙදිය හැකිය. සාලය, නිදන කාමරේ, මුළුතැන් ගෙය සහ වැසිකිළිය ආදී ලෙසයි. මෙම එක් එක් අංගය තුළ තිබිය යුතු භාණ්ඩ නියමිත ස්ථානවල දිශාගත කළ යුතුය.
නිවෙසක සාලය දකුණු දිශාවට දිශාගත විය යුතු අතර, දුරකතනය නිරිත දිශාවට හෝ වයඹ දිශාවට වන්නට තැබිය යුතුය. රූපවාහිනිය නැඟෙනහිර දිශාවට වන්නට තැබිය යුතු අතර, සෝෆා සෙට් ආදිය සාලයේ තැබූ විට එහි ඉඳගන්නා කෙනා උතුරට හෝ නැඟෙනහිර මුහුණලා සිටිය යුතුය. රූපවාහිනියට සවිර කරන ඇන්ටෙනාව ගිනිකොන දිශාවේ විය යුතුය. බිත්ති ඔරලෝසුව දකුණු දිශාව හැර වෙනත් ඕනෑම දිශාවකට තැබිය හැකිය. නිදන කාමරයේ තිබෙන ඇඳ නිරිත දිශාවේ තැබිය යුතුය. අල්මාරිය බටහිර හෝ දකුණු දිශාවේද, කණ්ණාඩි මේසය උතුරු හෝ බටහිර දිශාවේද සුදුසුයි. අල්මාරිය දකුණු දිශාවේ තැබුවද පියන දකුණට විවෘත නොවන ලෙස විය යුතුයි. ඡායාරූප නිරිත දිශාවේ තබන අතර, ලියන මේසය ඊසාන දිශාවේ තැබිය යුතුයි. ලිපි ගොනු තබන කබඞ් එක නිරිත දිශාවේ තැබිය යුතුයි.
මුළුතැන්ගෙයි ඇති සින්ක් එක ඊසාන දිශාව හෝ නැඟෙනහිර දිශාව හෝ උතුරු දිශාවේ විය යුතුයි. ශිතකරණය බටහිර දිශාවේද, වතුර ටැංකිය දකුණු හෝ බටහිර දිශාවේද තැබිය යුතුය.
බෙහෙත් පෙට්ටිය ඊසාන දිශාවේද, අටුව නිරිත දිශාවටද, කුණු කූඩය නිරිත දිශාවටද තැබිය යුතුය. මීට අමතරව සත්ව කූඩු නිවෙසින් පිට නිරිත හෝ වයඹ දිශාවට වන්නට තැබිය යුතු අතර, මුර කුටිය වයඹ දිශාවේද, සේවක කාමරය ගිනිකොන හෝ වයඹ දිශාවටද සෑදිය යුතුය. වාහනය නැවැතීමට තනන ගරාජය ගිනිකොන හෝ නිරිත දිශාවේ විය යුතුය.
නාන කාමරයේ සවි කරන කොමොඞ් එක නිරිත හෝ දකුණු දිශාවේ තැබි යුතුය. රෙදි සෝදන යන්ත්‍රය, වායුසමීකරණ යන්ත්‍රය නැඟෙනහිර දිශාවේ විය යුතුය. මීට අමතරව පොළොව යට කාමරයක් සාදන්නෙ නම් එය ඊසාන දිශාවේ සෑදිය යුතුය. විවෘත ආලින්දයක් නිවෙසට එක් කරන්නේ නම් එය ඊසාන දිශාවේ හෝ උතුරු දිශාවේ හෝ නැඟෙනහිර දිශාවේ සෑදිය යුතුය. නිවෙසේ ඉදිකරන සක්මන් මළුව හෙවත් ටෙරස් එක උතුර හෝ නැඟෙනහිර දිශාවේ විය යුතුය. නිවෙස තුළ රෝගියකු සිටී නම් ඔහු හෝ ඇය වෙනුවෙන් හෝ වෙන් කරන කාමරය නිරිත දිශාවේ හෝ වයඹ දිශාවේ විය යුතුය. නිවෙසට ඇනෙක්ස් එකක් එක්කර සාදන්නේ නම් නිවෙසේ නැඟෙනහිර බිත්තිය හා උතුරු බිත්තිය හැර අනෙක් බිත්තියකට යාබදව ඇනෙක්ස් එක සෑදිය යුතුය.
ලියන මේසය ඊසාන දිශාවට තැබුවද එහි පුටුවක් තබා වාඩි වූ විට දොර දෙසට වාඩි වන්නාගේ මුහුණ යොමු විය යුතුය. එම මුහුණ දෙන දිශාව අනුව පලාපල පුරාණ පොත පතේ සඳහන් වෙයි. මුහුණ නැඟෙනහිර දිශාවේ වුණි නම් අදාළ ජන්මියාට සාමකාමී සිතුවිලි ඇතිවන අතර, ගිනිකොන දිශාවට වේ නම් අලස සිතිවිලි ඇති වෙයි. දකුණු දිශාවට මුහුණ යොමු වූ විට එම පුද්ගලයා තුළ වැරැදි ආකල්ප, වැරැදි කල්පනා ඇතිකරවයි. බටහිර දිශාවට මුහුණ යොමු වේ නම් ක්‍රියාකාරකම් ඉහළ යන අතර, වයඹ දිශාවේ නම් ආවේගශීලී වෙයි. උතුරු දිශාවට මුහුණ යොමු වේ නම් ආධ්‍යාත්මය සංවර්ධනය වෙයි. ඊශාන දිශාවට මුහුණ යොමු වේ නම් අසුබ සිතුවිලි ඇති කරයි.
නිවෙස තුළ ඇති භාණ්ඩ සුබ දිශාවගත කළ යුතුයි. ඒ අනුව බුදුමැඳුර ඊසාන දිශාවේද ඉදිවිය යුතු අතර, ගබඩා කාමරය, සේප්පුව සවි කරන කාමරය උතුරු දිශාවේ සෑදිය යුතුය. නාන කාමරය නැඟෙනහිර දිශාවේද, මුළුතැන්ගෙය ගිනිකොන දිශාවේද, නිදන කාමරය දකුණු දිශාවේද, උදලු, ගල්ඉනි, කැති, පිහි තබන ආයුධ ගෙය නිරිත දිශාවේද, ඉදිකරයි. කෑම කාමරය, ශාස්ත්‍රීය කටයුතු සඳහා යොදා ගන්නා කාමරය හා කාර්යාල කාමරය බස්නාහිර දිශාවේ සාදාගත යුතුය. වැසිකිළිය නිරිත දිශාවේද, විසිත්ත කාමරය වයඹ දිශාවේද ඉදිකළ යුතුය.
උතුර හා ඊශාන දිශාව අතර ඖෂධ ගෙයද, ඊශාන හා නැඟෙනහිර දිශාව අතර සියලු සුබ කටයුතු සඳහා කාමරයද, නිරිත හා බටහිර දිශා අතර පුස්තකාලයද, වයඹ හා උතුරු දිශාව අතර නව විවාහක යුවළකට නිදා ගැනීමට කාමරයද සුදුසුයි.
නිවෙසේ මේ අංග හා නිවෙස තුළ තබන භාණ්ඩ දිශාගත කිරීමට ගෘහ දිශා චක්‍රය අතීතයේ සිටම භාවිතයට ගන්නා දෙයකි. මෙම දිශා චක්‍රයේ ප්‍රධාන දිශා අටට අමතරව ප්‍රධාන දිශා දෙකක් අතරට අනු දිශාව බැගින් තවත් දිශා 8ක් ඇත. ඒ අනුව මුළු දිශා 16ක් ඇත.
ආහාර ගැනීම, නිදා ගැනීම ආදී කාර්යයන් සිදුකිරීමේදීද නියමිත සුබ දිශාවට මුහුණ යොමු කර සිදුකිරීම තුළින් බොහෝ සුබ ප්‍රතිඵල ගෙනදෙනු ඇත. එමෙන්ම අසුබ දිශා බලා කාර්යයන් කිරීම හෝ හිස තැබීම තුළින් නොයෙකුත් අසුබ ප්‍රතිඵල ඇති වන බව ඍෂි මතයයි.
ඒ අනුව උතුරට හිසලා නිදා ගැනීම තුළින් දූදරුවන් රෝගී වන අතර, තම කුල පරම්පරාවට නින්දා, අපහස ලැබෙනු ඇත. බටහිරට හිසලා නිදා ගැනීම නිසා විකාර සිතුවිලි ඇති වීම, නපුරු සිහින පෙනීම, ආයුෂ කෙටි වීම ආදිය සිදුවෙයි. නැඟෙනහිරට සහ දකුණට හිසලා නිදා ගැනීම නිසා සතුට, සමගිය මෙන්ම සියලු යසඉසුරු ලැබෙන බව ඍෂි මතයයි. එමෙන්ම නැඟෙනහිරට මුහුණලා ආහාර ගැනීම තුළින් ආයුෂ වැඩි වන බවත්, දකුණ බලා ආහාර ගැනීම නිසා ධනවත් වන බවත්, බටහිර බලා ආහාර ගැනීම නිසා යස ඉසුරු ලැබෙන බවත්, උතුරු දිශාව බලා ආහාර ගැනීම නිසා දුක්පීඩා ඇති වන බවත් ඍෂි මතයයි. ඊට අමතරව පාඩම් කිරීම, ලියුම්කියුම් කටයුතු ආදිය කාමරයේ දොරට මුහුණලා සිදුකිරීම ඉතා සුබයි.
මෙලෙස ඔබත්, ඔබේ නිවෙස තුළ සාදන ගෘහාංග එම ගෘහය තුළ තබන බඩු බාහිරාදිය හා ගෘහය තුළ සිදුකරන ක්‍රියිකාරකම් ආදියට සුබ දිශාව සංතුවක් හෙවත් මාලිමාවක් ආධාරයෙන් සොයා සිදුකරන්න. එවිට ඔබටත් ඔබේ පවුලේ අයටත් සැපෙන්, සතුටෙන්, නිරෝගීව ජීවිතය ගතකළ හැකිවෙයි. මෙලෙස ඍෂි මතයට අනුව සුබ දිසාගත කළ ගෘහයකට දේව බැල්ම, ශ්‍රීයා කාන්තාවගේ බැල්ම ආදිය නොඅඩුව ලැබී දිනෙන් දින දියුණු වී සශ්‍රීක වනු ඇත.
ජ්‍යෙෘතිෂවේදිනි මංජුලා පුෂ්පරාංගනී











