නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත තල්වත්ත මහතා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස 2020 ජුනි 19 දින සිට පත් කරනු ලැබූ බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් පසුගියදා නිවේදනය කළේය.
ප්‍රියන්ත තල්වත්ත මහතා වසර 17ක් පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ අතර ඔහු 2020 අප්‍රේල් 02 වන දින ප්‍රධාන විධායක නිලධාරී ලෙස වැඩ භාරගන්නා ලදී.
පාරිභෝගික බැංකුකරණ කටයුතුවලට නායකත්වය දෙමින් එහි අධීක්ෂණ කටයුතුවල යෙදුණ ඔහු බැංකුව තුළ සේවා හා විකුණුම් මත පදනම් වන ව්‍යාපාරික රටාවක් ස්ථාපිත කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. එපමණක්ද නොව, ඔහු බැංකුවේ ශාඛා ජාලය ශක්තිමත් කිරීමට සහ ඩිජිටල් බැංකුකරණ සේවාවන්ට අදාළව ස්වකීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙමින් ආයතනයේ තිරසර වර්ධනය උදෙසා කැපවීමෙන් යුතුව කටයුතු කළ නිලධාරියෙකි.
ශ්‍රී ලංකාවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් සන්නාමය පිහිටුවීමේලා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පාර්ශ්වය නියෝජනය කරමින් මූලිකත්වය ගෙන කටයුතු කළ නිලධාරියෙකු ලෙසින්ද ප්‍රියන්ත තල්වත්ත මහතා හඳුන්වා දිය හැකිය. එමෙන්ම ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් නිකුත් කිරීමේ සහ අත්පත් කර ගැනීමේ අංශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරියෙන් තැබීමට ඔහු අතින් සිදු වූ මෙහෙයද අතිවිශිෂ්ට වේ.











