සොෆ්ට්ලොජික් කැපිටල් සමූහයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය රු. බිලියන 1.9ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව කොටස්හිමියන් විසින් දරනු ලබන සෑම කොටස් පහකට නව කොටස් අටක් නිකුත් කිරීමට එම සමාගම තීරණයකර ඇත.
මෙම හිමිකම් නිකුතුවත් සමගම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට එහි නවෝත්පාදනය මූලිකකර ගත් නව ව්‍යාපාරික සැලසුම බලගැන්වීමට හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා තවදුරටත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ පූර්ණ වෙනසක් පසුගියදා සිදු කෙරිණි. ඒ අනුව, එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර මහතා පසුගිය මාර්තු මස වැඩ බාරගත් අතර ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට අත්දැකීම් රැසක් එක්කරමින් නව ගමනට ශක්තියක් විය හැකි තවත් ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහාද නව පත්කිරීම් සිදුකෙරිණි.
ඩිජිටල්කරණය සමඟින් ශීඝ්‍රයෙන් වෙනස්වන මූල්‍ය සේවා වෙළෙඳපොළට ඔබින පරිදි පද්ධති සහ ක්‍රමවේද අනුකූල කිරීම මේවන විට ද ආරම්භ කර ඇති අතර ඒ හරහා සිය පාරිභෝගිකයන් හට වඩාත් පහසු සහ පරිපූර්ණ සේවා පෙළක් පිරිනැමීමට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය අපේක්ෂා කරයි.











