ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම (John Keels Holdings PLC-JKH) අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම් කිරීමට LMD සඟරාවේ නවතම ‘Most Respected Entities’ කලාපය කටයුතු කර තිබේ. මේ සඳහා අදාළ වූ ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ 10 අතරින් කාණ්ඩ 5ක, එනම් තත්ත්වය පිළිබඳ දක්වන සැලකිල්ල, කළමනාකරණ පැතිකඩ, ගතිකත්වය, ආයතනික සංස්කෘතිය සහ දැක්ම යන කාණ්ඩවල පෙරමුණට පැමිණීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමත් වී ඇත. මෙම ඇගයුම සඳහා LMD හි සංකල්පයක් අනුව නීල්සන් විසින් පවත්වන ලද ඡන්ද විමසීමකදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් (1,125) ලබාගනිමින්, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස සිය ස්ථානය නැවැත වරක් තහවුරු කරගැනීමට සමාගමට හැකියාව ලැබී, ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ දැක්ම අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම් මොනවාද යන්න සහ ඔවුන් එසේ සිතන්නේ කුමන හේතූන් නිසාද යන්න හඳුනාගත හැකි වන ආකාරයට මෙම ඡන්ද විමසීම සැලසුම් කර තිබූ අතර, ලැයිස්තුගත සමාගම්වල සාමාජික සාමාජිකාවන් අතරින් කළමනාකාර මට්ටම් සහ ඊට ඉහළ මට්ටම්වල සේවයේ නියුතු පුද්ගලයෝ 800 දෙනෙක් මේ සඳහා දායක වූහ.
2020 වසරේදී සිය 150 වැනි සංවත්සරය සමරන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය, 2005 වසරේදී LMD සඟරාව මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් ශ්‍රේණිගත කිරීම ආරම්භ කිරීමේ සිට මේ දක්වා වසර 15ක් එම ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ රැඳී සිටීමට සමත් වී තිබේ. 2020 අගෝස්තු මාසයේ LMD කලාපය සඳහා සංවාදයකට එක්වෙමින් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවැසීය.
අපගේ ප්‍රධානතම ලක්‍ෂණය වන්නේ, අපගේ මූලික වටිනාකම් වන අව්‍යාජත්වය, දයාව, විශ්වාසනීයත්වය, නවෝත්පාදනය හා විශිෂ්ටත්වය යන ගුණාංග යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අප තුළ ඇති කැපවීමයි. අපගේ ශක්තිමත් ආයතනික පාලන ව්‍යුහය, වෘත්තීය කළමනාකරණය සහ තිරසාර සංවර්ධන ක්‍රියාවලීන් උපත ලබන්නේ මේ වටිනාකම් තුළිනුයි. එමෙන්ම අපගේ වසර 150ක ප්‍රෞඪ ඉතිහාසය අපට සෑම විටම යහපත් දේ කිරීමටත්, අපගේ සාමාජිකයන් වෙනුවෙන් යහපත් රැකියා පරිසරයක් තහවුරු කිරීමටත්, ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, ජනතාව සවිබල ගැන්වීමටත් අවශ්‍ය පන්නරය අපට ලබා දී තිබෙනවා. අප ව්‍යාපාර සිදුකරන ආකාරය සහ ඒ ඔස්සේ රටේ උන්නතියට දක්වන දායකත්වය අගයමින් නැවැත වරක් මෙසේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස ඇගැයීමට ලක්වීමට හැකිවීම අපට මහත් සතුටක්.’











