පසුගියදා පැවති මංගල පාර්ලිමේන්තු සැසි වාරයේදී නව කතානායකවරයාට සුබ පතන්නට මුඛය විවර කළ සී.වී. විග්නේෂ්වරන් යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරයා පැවසුවේ හරි පුදුම කතාවකි. “ගරු කතානායකතුමනි, මා ඔබට සුබ පතන්නේ ලොව ඇති පැරණිතම භාෂාවෙන් සහ මේ රට නිජබිම කරගත් පළමු ජාතියේ භාෂාවෙන්” යන්න ඔහු පැවසූ ඒ “අපූරු” වචන කීපයයි. මේ මොහොත වන විට සමාජයේ බොහෝ දෙනා විග්නේෂ්වරම් කරන මේ අරුම පුදුම කතාව ගැන කතා කරති. විවිධ අදහස් පළ කරති. එනමුත් ඒ කිසිවක් සිදුවන්නේ ශාස්ත්‍රීය මට්ටමකින් නොවේ.
විග්නේශ්වරන්ගේ කතාවට ශාස්ත්‍රීය පිළිතුරක් සැපයීම මේ ලිපියේ අරමුණයි. විග්නේෂ්වරන් පිට කළ ඒ වචන සමූහයට දෙන්නට ශාස්ත්‍රීය මට්ටමේ නමක් ඇත. එය නම් “ද්‍රවිඩ නිජබිම් වාදයයි”. මොකක්ද මේ දෙමළ නිජබිම්වාදය? එල්.ටී.ටී.ඊ. යටත් වඩා පැරණි ඉතිහාසයක් ඇති මේ දෙමළ නිජබිම් වාදය ගැන සරලවම පැවසුවොත් එය මෙසේය. “ද්‍රවිඩයන් වනාහි මෙරට ජනාවාස කර ගත් ප්‍රථම ජන කොටසයි.අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ මෙරට සිටියේ ද්‍රවිඩයන්ය. සිංහලයන් මෙරට බෝ වුණේ විජයාගමනයෙන් පසුවය. පසු කාලීනව රජකම් කළ තේවානි පිය තීසන් (දේවානම් පියතිස්ස), මුත්තුසිවම් (මුටසිව), කාසියප්පා (කාශ්‍යප) පමණක් නොව වසර 5000කට කලින් රජකම් කළ රාවණන් (රාවණ) ඔහු ගේ පුත් මේඝනාදන් (මේඝනාද) ආදී සියල්ලන්ම ද්‍රවිඩයෝමය. අවසන් කාලයේදී උතුරේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක්ද තිබිණි. ඒ ආර්ය චක්‍රවර්ති රජවරුන්ගේ පාලනයෙනි. මෙලෙසින් තිබූ ලංකා ද්‍රවිඩ නිජබිම ම්ලේච්ඡ සිංහලයා විසින් පැහැර ගත් අතර අප, අපෙන් උදුරා ගත් ඒ දෙමළ නිජබිම යළිත් වරක් දිනා ගත යුතුය”. මේ දෙමළ නිජබිම් සංකල්පය,එනම් පසුගියදා විග්නේෂ්වරන්ගේ කතාවට පාදක වූ මතවාදය පිළිබඳ සාතිශය සරල පැහැදිලි කිරීමකි. ඇත්තටම මේ කතාව ඇත්තක්ද? මේ රටේ මුලින්ම හිටියේ දෙමළ මිනිස්සුද? මේ රජවරු දෙමළද? මේවාට සාක්ෂි සාධක තිබේද? අපේ අයට මේවා අද ලොකු ප්‍රශ්නය. අප විග්නේෂ්වරන්ට තුති පිදිය යුත්තේද ඒ නිසාය. මෙතෙක් කල් දෙමළ නිජබිම්වාදී සංකල්පයක් ගැන තබා එහෙම එකක් තිබෙනවා දැයි වත් නොදැන සිටි අපේ උන්දැලාට මේ ප්‍රශ්නය මතු කර පෙන්නුවේ විග්නේෂ්වරන්ය. එයම මේ රට බෙදන මතවාදයේ අවසානය සනිටුහන් කිරීමට අවස්ථාවක් කර ගැනීමේ වගකීම අප සතුය.
1736 දී මයිල්වානගම් පුවළර් නැමැත්තා රචනා කර ඇති “යාල්පානම් වෛපමාලෙයි” ග්‍රන්ථය ඊනියා නිජබිම්වාදීන්ගේ මිථ්‍යාව මතුකර පෙන්වීමට හොඳම මූලාශ්‍රයකි. යාල්පානම් වෛපවමාලෙයි වනාහි දෙමළ නිජ බිම සනාථ කිරීමට මොවුන් පෙන්වන එක් ප්‍රධාන මූලාශ්‍රයකි. එනමුත් මෙය ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස ගැනීමට තරම් පාරිශුද්ධ සහ ශක්තිමත් එකක් නොවන බව එහි අන්තර්ගතයම සනාථ කරයි. විජය රජු පිළිබඳ විස්තරයකින් අරඹා විවිධ සිංහල සහ දෙමළ පාලකයින් (සිංහල රජවරුන් පස් දෙනෙකු ගැන පමණි) විසි දෙනෙකු ගැන අද්භූත සහ කිසිසේත්ම පිළිගත නොහැකි තොරතුරු ගහනයක් මෙහි සටහන්ය. හාස්‍යෝත්පාදයට කරුණ නම් එය නොව, මෙයට අනුව පසුගිය පසුගිය වසර 2500ටම රජකම් කර ඇත්තේ රජවරුන් විසි දෙනෙකු පමණි. (ආර්ය චක්‍රවර්ති රජ පරපුර). ඒ රජ පරපුර සංකිලිගෙන් අවසන් වේ. කෙසේ නමුත් මෙම මූලාශ්‍රයේ අපට අතිශය වැදගත් කරුණුද නැතුවාම නොවේ. ඇත්තම කතාව නම් ඊනියා දෙමළ නිජබිම්වාදය බිඳ හෙළීමට යාල්පානම් වෛපවමාලෙයි කෘතිය වුවද ප්‍රමාණවත් බවය. අතීතයේ පටන් අද දක්වාම යාපනයේ ජීවත් වූයේ ද්‍රවිඩයන් බවත්, සිංහලයා එහි බෝ වුණේ පසුව බවත් පවසමින් රටේ නැති බොරු බේගල් ඇදබාන නිජබිම්වාදීන්ට දිය හැකි හොඳම පිළිතුර ඇත්තේ මයිල් මයිල්වාගනම් පුවලර්ගේ මේ කෘතිය තුළය. යාපනයේ සිංහලයාට අත්වූ ඉරණම එහි බොහොම අපූරුවට දක්වා ඇත.
බුද්ධාගම ඇදහූ සියල්ලෝම සිංහලයෝ වූ බවත්, සංකිලි විසින් ඔවුන් සියලු දෙනාවම යාපනයෙන් පන්නා දැමූ බවත්, බොහෝ බෞද්ධ වෙහෙර විහාර විනාශ කළ බවත් එහි සඳහන්ය (22 පිටුව). මෙලෙසින් ආර්ය චක්‍රවර්තී පාලනයේ මුල සිට අග දක්වාම යාපනයේ සිංහලයන් ජීවත් වූ බව සුපැහැදිලිය. ඒ බව පවසන්නේ අප නොවේ. ඔවුන්ගේම මූලාශ්‍ර රචකයන්ය. එය එසේ නම් යාපනයේ සිංහලයාට කිසිදු උරුමකමක් නැති බවට විග්නේෂ්වරන්ලා කියන්නේ කටින් දැයි අප මුලින්ම සොයා බැලිය යුතුය. මේ තරම් දුරදිග යාමට අවශ්‍ය වන්නේද නැත. යාපනයේ ආර්ය චක්‍රවර්ති පාලනය වුව ද්‍රවිඩ පාලනයක් නොවන බව සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ හැක.දෙමළ ඉතිහාසඥයන් සහ උගතුන් පවා තම ජාතිය හඳුන්වන්නේ “අනාර්ය” ජාතියක් ලෙසය.එසේ නම් යාපා පටුනේ “ආර්ය” චක්‍රවර්ති පාලනය දෙමළ වන්නේ කෙසේදැයි අප නිජබිම්වාදීන්ගෙන් ප්‍රශ්න කරන්නෙමු. එපමණක් නොව ෆර්නාවෝ ඩී. ක්වේරෝස් නම් වූ පෘතුගීසි දේවගැතිවරයා පවා සිය වාර්තාවල සඳහන් කොට ඇත්තේ ආර්ය චක්‍රවර්තීන්ගේ ප්‍රථමයා ගුජරාටයෙන් පැමිණි බ්‍රාහ්මණයකු බවයි. එමෙන්ම ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ හාථිගුම්පාහි පිහිටුවා ඇති සෙල් ලිපියකට අනුවද පැහැදිලි වන්නේ ආර්ය චක්‍රවර්ති දෙමළ නොවන බවය. මේ සියලු සාධකවලින් තහවුරු වන්නේ 1619 දී සිදු වූ පෘතුගීසි ආක්‍රමණයෙන් කිසිවෙකුටවත් දෙමළ නිජබිමක් නම් අහිමි නොවූ බවමය (නිජබිම්වාදීන් පවසන්නේ 1619 දී පෘතුගීසීන් යාපනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යාපන දෙමළ නිජබිම තමන්ට අහිමි වූ බවයි). ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කපනවාක් මෙන් මේ අයගේ මූලාශ්‍රවලින්ම මේ අයගේ නිජබිම්වාදී මතවාදය මිථ්‍යාවක් බවට තහවුරු කළ හැක.
මොවුන්ගේ ද්‍රවිඩ නිජබිම යැයි කියන යාපන ප්‍රදේශය අතීතයේ දී පැහැදිලි ලෙසම “සුද්ද සිංහල” බල ප්‍රදේශයක් බව තහවුරු කළ හැකි මූලාශ්‍රයන් තවත් ඕනෑ තරම්ය. කේ.වේලුපිල්ලේ නම් ද්‍රවිඩ ජාතික උගතාගේ “යාල්පාන වෛබව කන්මදු” නම් කෘතිය ඒ අතරින් වෙසෙස් තැනක් ගනී. යාපනය ක්‍රමානුකූලව ද්‍රවිඩිනීකරණය වූ අයුරු ඒ මහතා මනා ලෙස සිය කෘතියේ පැහැදිලි කර තිබේ. යාපනය ප්‍රදේශයේ ග්‍රාම නාම ඇති වූ ආකාරය පිළිබඳ විස්තර කරන මෙතුමා, එය සිදු වූ විධි ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වයි. ඒ ජා මිනිසුන් නිසා ඇති වූ ගම්, සිංහල මිනිසුන් නිසා ඇති වූ ගම්, ලන්දේසින් නිසා ඇති වූ ගම් සහ දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ මිනිසුන් නිසා ඇති වූ ගම් ආදී වශයෙනි. පුත්තූර්, තිරුන්නවේලි, සුලිපුරම්, මන්තාර් වැනි ග්‍රාම නාම මෙලෙස දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජනයා නිසා නාමකරණය වූ ඒවාය.යාපනයේ ග්‍රාම නාම අතරින් හැට දෙකක් පමණම සිංහලයන් නිසා ඇතිව, පසුව ද්‍රවිඩීය මුහුණුවරකින් විකාශනයව තිබෙන බව වේලුපිල්ලේ මහතා පෙන්වා දෙයි. එපමණක් නොව ද්‍රවිඩ ජනයා මෙරටට දකුණු ඉන්දියාවෙන් පැමිණියා මිස, පෙර සිට මෙහි සිටි ජන කොටසක් නොවන බව පැහැදිලි ලෙසම මෙතුමා දක්වා තිබේ. මෙයින්ද නිශ්චිතවම නිගමනය කළ හැක්කේ දකුණ පමණක් නොව උතුරත් පුරාණ කාලයේ පටන්ම සිංහලේ නිජ බිමක් වූ බවය. යාපාපටුනේ මුල් වැසියන් සිංහලයන් බව පෙන්වීම සඳහා වේලුපිල්ලේ මහතා තවත් උදාහරණ රැසක් තම කෘතියේ දක්වා ඇත. යාපනයේ දෙමළ ජනතාව භාවිතා කරන සිංහල වචන, දෙමළ බවට හැරී ඇති සිංහල නම් (සමරසිංහම්, සේනාරත්නම් ආදී), තැනින් තැන මතු වන බෞද්ධ පුරාවස්තු, දෙමළ බවට හැරවුණු සිංහල කුල නාම, නම් පොතේ ඇති බෞද්ධ විහාර (කඳුරුගොඩ – කන්දරෝඩෙයි) ආදී කී නොකී අනන්ත අපරිමාණ වූ සාධකයන් තව තවත් තහවුරු කරන්නේ ද්‍රවිඩ නිජබිම්වදයේ මිථ්‍යාවම මිස අනෙකක් නොවේ. ද්‍රවිඩ උගතුන්ගේ සහ වියතුන්ගේම මතය මෙය නම් විග්නේෂ්වරන්ලාට, සිවාජිලිංගම්ලාට මේ ගල් පැළෙන මුසාබස් ඇද බාන්නට ඇති හිමිකම කුමක් දැයි අප ප්‍රශ්න කරන්නෙමු. ඔවුන්ගේ මතවාදය ඔවුන්ගේ මූලාශ්‍රවලින්ම බිඳිය හැකි බව මේ වන විට සනාථ කර හමාරය. කෙසේ නමුත් මේ මතවාදයේ ඇත්ත නැත්ත අප තවදුරටත් විමර්ශනය කොට බැලීම වටී. එහි බොරුව හෙළි කර ගත හැක්කේ එවිටය. ලංකාදීපය අතීතයේ දී ද්‍රවිඩ නිජබිමක් නම් ඒ මතවාදය සනාථ කරන පුරාවිද්‍යාත්මක සාධක යන්තම් හෝ තිබිය යුතුය. එසේ වුවත් 1930 දී වඩමාරච්චි ප්‍රදේශයෙන් සොයාගන්නේ ද්‍රවිඩ නිජබිම්වාදී මතයට හාත්පසින්ම විරුද්ධ අදහසක් මතු වන ආකාරයේ සාධකයකි.
ඉතිරි කොටස ලබන සතියේ…
රෝසොන් දිල්සර











