‘කාපු කට්ට’ මෙවර විශේෂාංගය සඳහා අප සමග එකතු වෙන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් චාමර ගමාරච්චිගේ. කලා ලොවට පිවිසීමට ‘කාපු කට්ට’ ගැන චාමර මතකය අවදි කළේ මේ විදියට .Sri Lanka Latest News
ඉතින් කොහොමද චාමර?
හොඳින් ඉන්නවා. මේ දවස්වල ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්ෂවරයකු ලෙස වැඩකරගෙන යනවා.
ඔබ ගැන මුලින්ම සඳහන් කළොත්?
මගේ ගම් පළාත මාතර මොරවක. මම පාසල් ගියේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලට. මම දැන් විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඒ කාලේ කාපු කට්ට කොහොමද?
මම ඒ කාලේ කොළඹට එන්නේ නළු නිළි වරම් තිර පරීක්ෂණයක් සඳහා. සුදර්ශියට ඇවිල්ලා ඒ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වෙලා කොළඹ කොහේ හරි ෂූටින් එකක් තියෙනවා කියලා දැනගත්තොත් මම යනවා ඒක බලන්න. ඒ කාලේ මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්. මම කල්පනා කළා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ජොබ් එකක් හොයාගත්තොත් මගේ හීනයට යන්න පුළුවන් වෙයි කියලා. මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල් කාලේ නේරංජනා, මහරජ ගැමුණු, මායා රාජිනී ටෙලිනාට්‍යවල සුළු චරිත රඟපෑවා.
එතකොට කලා අධ්‍යක්ෂණයට පිවිසුණේ?
මම ඒ කාලේ දැන හඳුනාගත්ත කිහිප දෙනකු හරහා වෘත්තීය මට්ටමෙන් සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කරන්න අවස්ථාව සලසා ගත්තා. ක්‍රිෂාන්ත රත්නසිරි මගේ ගුරුවරයෙක් හා සමානයි. ඔහු මට ගොඩක් දේවල් කියලා දුන්නා. මම අරුණ ජයවර්ධනගේ සක්කාරං, නේත්‍රා, නේරංජනා ටෙලිනාට්‍යවල සහාය කලා අධ්‍යක්ෂණය කළා. සරත් ධර්මසිරි, සමන් කුමාර ලියනගේ කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගෙන් මගේ මේ වෘත්තිය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පසුකාලීනව මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා සම්පත් වන්නිනායක සමග. ඔහු යටතේ සහාය කලා අධ්‍යක්ෂණ කටයුතු කළා. පසුව මේ වැඩකටයුතුවල තියෙන කාර්යබහුලත්වය වගේම වගකීම් වැඩි නිසා රංගන කටයුතු මගහැරුණා.
ඔබේ ගමනට ලොකු කාලයක් ගියත් වැඩ කරපු නිර්මාණ ප්‍රමාණය අඩුයි නේද?
එයට හේතුව මම වැඩකට සම්බන්ධ වුණොත් ඒ නිර්මාණයේ වැඩ අවසන් වෙනකම් එක දිගටම වැඩ කරනවා. එක නිර්මාණයක ටික කාලයක් වැඩ කරලා තව නිර්මාණයකට ගිහින් වැඩ කරන්න යන්නේ නැහැ. විශාල නිර්මාණ ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව නොලැබුණේ ඒ නිසයි.

තිරයෙන් පිටුපස ලොකුම කට්ට කන්නේ කලා අධ්‍යක්ෂවරුන්?
අපේ වෘත්තිය වගේම අනෙකුත් ශිල්පීන් ගොඩ දෙනෙක් මහන්සි වෙනවා. හැඩට වැඩට ඇඳලා වැඩ කරන්න අමාරුයි මේ වෘත්තිය ඇතුළේ. ඒ වගේම දහඩිය මහන්සිය නොබලා වැඩ කරන්න වෙනවා නිරවුල් මනසකින්. රූගත කිරීම පටන් ගන්න කලින් ලෝකේෂන් එකට ඉස්සෙල්ලාම යන්නෙත් අපි. අවසානෙට යන්නෙත් අපි. මුළු දවසම ඇවිදලා දුවලා පැනලා සමහර වෙලාවට හිටගෙන ඉන්නවත් බැරි විදියට කකුල් කැක්කුමයි. සමහර දවස්වලට පාන්දර ෂූටින් ඉවර වෙලා ගිහින් වොෂ් එකක් දාගෙන පසු දින රූගත කිරීම් සඳහා යන්න වුණු අවස්ථා තිබුණා. හරි නින්දක් පවා නැති වෘත්තියක් තමයි මේක. කාපු කටු එමටයි. මේක ලේසි පහසු රැකියාවක් නම් නෙවෙයි.
කාපු කට්ටේ අමතක නොවන සුන්දර මතකත් ඇති?
ෂූටින් ඉවර වෙලා ගෙදර යනකොට කොළඹ කොටුවේ අනන්තවත් නිදාගෙන ඉඳලා තියෙනවා. මට එතකොට වයස අවුරුදු 20ක් විතර ඇති. මම මාතරින් මොරවකට යන්න ඕනේ නිසා ගමට යන බස් එක අල්ලගන්න පාන්දරින් තමයි කොටුවට යන්නේ. ඒ ගෙවපු කාලය අමතක කරන්න බැරි තරම්. ඒ කාලේ මම දන්න කියන කවුරුවත් හිටියේ නැහැ කොළඹ.
වසන්ත විතාරණගේ











