අපි මේ හදලා තියෙන්නේ පොඩි මිනිස්සුන්ගේ ආණ්ඩුවක්. ආණ්ඩුවේ තනතුරු දරන්නෙත් පොඩි මිනිස්සු. ඒගොල්ලන්ගේ කොලිටි එකත් මේ පොඩි මිනිස්සු නියෝජනය කරන්න දන්න එක. පොඩි මිනිස්සුන්ගේ දුක, වේදනාව, ප්‍රශ්න මේ ඔක්කොම මේගොල්ලෝ දන්නවා. ඉතින් ඒ නිසාම පොඩි මිනිස්සුන්ට මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න හරි පහසුයි. ඇත්තටම කාලයක් මේ රටේ දේශපාලනය කළේ පොඩි මිනිස්සුන්ගේ දුක නොදන්න අයනේ. ඕක තමයි අපිට තිබුණු තර්කය. ඒත් දැන් නෝනාවරුනි මහත්වරුනි, මේ ප්‍රශ්නය උඩුයටිකුරු වෙලා කියලා අපිට හිතෙනවා. මේවා මේ අපි කිව්වට කවුරුවත් පිළිගන්න එපා. මොකද ඒකට හේතුව ඔයාට ඕනෙ තරම් අවස්ථාව තියෙනවා අපිව විශ්වාස කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඒත් අපි නිකන් මෙහෙම කියන්නේ හිතේ හුරුවට. අපිට දැනෙන දේවල්වලට අපිට පේන දේවල්වලින් තමයි අපි මෙහෙම කියන්නේ.
ලංකාවේ කවුරු කොහොම කිව්වත් මේ දේශපාලන වෙනස සිද්ධ කරන්න ගොවියා, එහෙම නැත්නම් සාමාන්‍ය මිනිහා පදනම් වුණා. අපි ගොවියා කියලා කිව්වම ඒගොල්ලන්ට කියන්නේ ‘මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි’ කියලා. ඇත්තටම එහෙම කියන එකට හොඳම උදාහරණය තමයි මේ වෙලාවේ ලංකාවේ ජනාධිපතිවරයා. ඒගොල්ලන්ට කුඹුරු තියෙනවා. ඒගොල්ලෝ ගොවිතැන් කරනවා. ඒගොල්ලෝ ගොවි ගම්මානවල. ඒගොල්ලන්ට ගොවියෙක් විදිහට ජීවත් වෙන මිනිහෙක්ගේ හෘද සාක්ෂිය පිළිබඳ යම් දැනුමක් තියෙනවා. Sri Lanka Latest News
මොකද කොළඹ ඉපදිච්ච රනිල්ටවත්, හම්බන්තොට මුල නොවෙච්ච, හම්බන්තොට ජීවිතයට කිසිම වගකීමක් අයිතිවාසිකමක් නැති සජිත්ටවත්, ඊළඟට එහෙම්ම හම්බන්තොට හයිකාරයෙක් විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්න මහින්ද රාජපක්ෂටත් වඩා, ගොවිතැන ගැන කෘෂිකර්මය ගැන සාමාන්‍ය මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය ගැන අවබෝධයක් තියෙන්නේ මේ අනුර කුමාර දිසානායක වගේ අයට.
එහෙම පිලක ලාල්කාන්ත මහත්තයා වගේ කට්ටියගේ සමහර ප්‍රකාශ දැක්කම චුට්ටක් ඇඟ හිරිවැටෙනවා. දැන් මේගොල්ලෝ කියන්නේ ගොවියාට ඒ ‘මඩ සෝදාගත් කළ රජකමටයි සුදුසු’ කියන කතාව දැන් පරණ කතාවක් කියලා. ඒ අස්සේ එක මහත්තයෙක් කියනවා කටේ දිවේ නොගෑවී මේ ගොවියෝ නෙමෙයි කසිප්පුකාරයෝ කියලා.
දැන් ඇත්තටම ලංකාවේ ගොවියා කසිප්පුකාරයාගේ ලෙවල් එකට දාලා, ඔය කසිප්පුකාරයෝ කියන කතා ගණන් ගන්න එපා කියලා ගොවියාගේ ප්‍රශ්න අමතක කරලා දාන ලෙවල් එකට මේ රට එනවා කියලා කියන්නේ මරු. එහෙම එක එක කයිකතන්දර අපි දැක්කා එක එක්කෙනා කියනවා. මේ කසිප්පු කතාවට නම් අපි දැක්කා මේගොල්ලෝ උත්තරත් දීලා තිබුණා.
සමහරු කියනවා දැන් මේ කතාකරන්නේ ගොවියෝ නෙමෙයි, මේ කතාකරන්නේ ගොවියන්ගේ වෙස්වළාගත්තු ආර්ටිෆිෂල් කට්ටිය, ඒගොල්ලන්ට ගොවිතැන සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් දැන් ගොවියන්ගේ ප්‍රශ්න කතාකරන්න ගියාට පස්සේ ඒ මිනිස්සුන්ට එක එක දේවල් අහගන්න වෙලා. ඇත්තටම රටකට ගොවියා කොච්චර වැදගත්ද කියන එක කියලා තමයි මේගොල්ලෝ බලයටත් ආවේ. අන්තිමට ගොවියාට යන එන මං නැතිවෙලා. ඕක තමයි ඇත්ත තත්ත්වය.
ඒ අස්සේ මේ ආණ්ඩුව, මෙහෙම කිව්වට තරහ වෙන්න එපා, ඔයාලා ගොඩක් කට්ටියගේ අමාරුව හොඳ කළා කියලා නම් අපිට දැන් තේරෙනවා. ගුරුවරුන්ගේ අමාරුව හොඳ කළා. ගුරුවරුන්ට දැන් ආයේ ප්‍රශ්න කරන්න විදිහක් නැහැ. ගුරුවරයාට ළමයෙක් ඔළුව තියාගෙන ඉන්නවා දැකලා උට ඔළුව උස්සන්න කියන්නවත් බැරි විදිහට ඒගොල්ලන්ගේ අමාරුව හොඳ කළා. බොහෝ ක්ෂේත්‍රවල අමාරුව හොඳ කරලා අලුත් දේශපාලන ප්‍රවාහයක් හදලා දුන්නා. දැන් එක එක්කෙනාගේ නම් ගම් කියලා අර ක්ෂේත්‍රය මේ ක්ෂේත්‍රය කියලා කියන්න අවශ්‍ය නැහැ. කොහොමත් අපිට එකපාරම කියන්න පුළුවන් වෙන කාරණය තමයි ‘අමාරුව හොඳ කළා’ කියන එක. ඒ වගේම උසස් පෙළ ළමයින්ගෙත් අමාරුව මට පේන්නේ හොඳ වෙයි වගේ. රැල්ලට ඡන්දෙ දුන්නු කට්ටියට මේ වැඩෙන් පස්සේ තේරෙන්න ඉඩ තියෙනවා මේ ආණ්ඩුව නම් ලේසි නැහැ කියන එක. ඇත්තටම අපි මේ කියන්නේ නරකයිම කියන එක නෙමෙයි. සමහර තීන්දු තියෙනවා, සමහර තීරණ තියෙනවා ගතයුතු. සමහර තීරණ තියෙනවා නොගත යුතු. ගතයුතු තීරණ සහ නොගත යුතු තීරණ අතර තියෙන ගැටුම තමයි අපි දකින්නේ.
මේ වෙලාවේ ගොවියාට හොඳවයින් දෙකක් කියන්නෙත් කෘෂිකර්ම ඇමැතිලා, කෘෂිකර්මයට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය. ඒ කාලේ මේගොල්ලෝ ගොයම් කෑවා. මේ ගොවියාගේ ප්‍රශ්න දැකලා වේදනාව දරාගන්න බැරුව ඉවසාගන්න බැරුව ගිය තැන කුඹුරුවලට ගිහිල්ලා ඇඬුවා. හැබැයි කුඹුරුවලට ගිහිල්ලා ඇඬුවට පස්සේ අපේ කුඹුරුවල හිටපු ගොවියෝ මොකද කළේ? අනේ මඩ හෝදාගෙන එළියට බැහැලා ඡන්දෙ දුන්නා. දැන් අද පෝර ටික නැහැ, අද කුඹුරු ටික අස්වද්දගන්න විදිහක් නැහැ, වී ටිකට මිලක් නැහැ. මේ වගේ එක එක ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා.
ඉතින් ඒ නිසා අපි කිසි වෙලාවක කියන්නේ නැහැ මේ මොහොත ලංකාවේ දේශපාලනයේ තියෙන නරකම මොහොත කියලා. අපි කියන්නේ නැහැ මේ ක්‍රමය හොඳ නැහැ කියලා. හැබැයි අපිට එක දෙයක් තේරෙනවා මේගොල්ලෝ මිනිස්සුන්ව නම් තඹේකට මායිම් නොකරන බව. මිනිස්සුන්ව තඹේකට මායිම් නොකර සමහර ප්‍රකාශ නිකුත් කරන බව.
මේ ආණ්ඩුවේ ඉන්න මහපොළොව ගැන තේරෙන දේශපාලකයන්ගෙන් එක්කෙනෙක් තමයි ලාල්කාන්ත. ලාල්කාන්තගේ නරක වැඩ ගැන විවිධ චෝදනා එල්ල වෙලා තිබුණා. හැබැයි ඒ මිනිස්සු කරන වැරදි. මිනිස්සු කරන වැරැදි නොකරන දේශපාලකයෝ ඉතාම භයානකයි. ඒකට හේතුව මිනිස්සු නොකරන වැරදි කරන දේශපාලකයොනේ වැඩියෙන් ඉන්නේ. ඒ නිසා ලාල්කාන්ත වගේ මහපොළොවේ දේශපාලනය තේරෙන, මහපොළොවේ ජීවත්වෙන, සාමාන්‍ය මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ අවබෝධයක් තියෙන, මේ ආණ්ඩුවේ ඉන්න හොඳම සාමාන්‍ය මිනිහත් මේ විදිහේ ප්‍රකාශ කරනවා නම් මේ ආණ්ඩුව ගැන අපිට දැනෙන්නේ බයක්. ඒ බය බොහොම නරකයි. ඒකට හේතුව කවදා කොහොම මේ ක්‍රමය නිමා වෙයිද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් තමයි මේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ.
රටකට ඕනේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න දන්න දේශපාලකයෝ. සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න දන්නවා කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටනවා කියන එක නෙමෙයි. අපි දැක්කේ පහුගිය කාලෙම මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටන දේශපාලනයක්. දැන් සාමාන්‍ය මිනිස්සු රවට්ටන දේශපාලනයක් වෙනුවට සාමාන්‍ය මිනිස්සුත් එක්ක සුහදව කටයුතු කරන්න පුළුවන් දේශපාලන ක්‍රමයක් නිර්මාණය වෙලා, මිනිස්සු එහෙම කණ්ඩායමක් බලයට ගෙනල්ලා අවසාන වතාවේ බලාපොරොත්තු වුණු දේ තමයි දැන් හරියයි කියලා. හැබැයි දැන් අපිට තේරෙනවා ඒත් හරියන්නේ නැහැ කියලා. ඇත්තටම අපිට විකල්පයක් තියෙනවද? ඕක තමයි ඉතිරි වෙච්ච ප්‍රශ්නය. බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් නැහැ.

ජීවන පහන් තිළිණ










