පියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම සාධාරණය ඉටුකරන ඇය, ව්‍යාපාරික ලෝකය තුළද ‘මිස් පියුමි‘ නමින් පෙරළියක් කරමින් සිටිනවා. මේ, ඇගේ ආදරය, ජීවිතය සහ කලාව ගැන ‘හාට්’ අපි කළ කතාබහයි.
පියුමි මේ දිනවල බෝල්ට් ඇණේ හොඳටම තදයි වගේ? Sri Lanka Latest News
මේ දිනවල බෝල්ට් ඇණේට හිරවෙලා මමත්. තද වැඩි තරමට ප්‍රතිචාර ගලාගෙන එනවා. වෙනස්ම විදියේ ටෙලිනාට්‍යයක් විදියට බෝල්ට් ඇණේ ටෙලිනාට්‍යය මම දකින්නේ. ජෙනට් ඇන්තනීගේ රංගනය ඉතා තාත්විකයි. ගොඩ දෙනෙක් මේ නිර්මාණය රසවිඳින බව පේනවා. මේක බ්ලැක් කොමඩි කතාවක්.
ඔබේ මේ චරිතය තුළ ලිමිට් තියෙනවද?
ස්පාවලට යන ගැහැනු ළමයි තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් මම. මා සමග පියුමි, ශෙහානි අනෙක් චරිත දෙක නිරූපණය කරනවා. විවේචනයක් නෙවෙයි යන්නේ ඒ කතාව තුළ. ඔවුන්ගේ ජීවිතය තුළ විඳින දුක් කම්කටොලු, ගැහැනු ළමයි ඇයි මේ තත්ත්වයට පත්වෙන්නේ වගේ කතාවක් තමයි ගලාගෙන යන්නේ. මට ලිමිට් තියෙනවා. මොන වගේද කරන්න තියෙන්නේ කියලා මම බැලුවා. රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. රංගනයක් නිසා මම චරිතය ගැන ලොකුවට හිතන්නේ නැතුව උපරිම සහාය දෙනවා.
චරිත ලැබෙනකම් පියුමි බලාගෙන ඉන්නවද?
මම රඟපාන්නේ නැතුව කාලයක් ඉන්නවා. එකම විදියේ චරිත රඟපාන්න මම කැමැති නැහැ. හැබැයි එකම චරිතය රඟපෑවත් ඒ චරිතය තුළ වෙනසක් තියෙන්න ඕනේ. සමහර විට ප්‍රේක්ෂකයන් හිතනවා ඇති මම ක්ෂේත්රයෙන් ඈත්වෙලා ඇති කියලා. මට මේ දිනවල වෙනස්ම විදියේ චරිත දෙකක් ආවා. ඒ නිසා මම භාරගත්තා. ‘තාල මණ්ඩිය’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මම රඟපාන්නේ. විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ඕනෙ නිසා තෝරා බේරාගෙන වැඩ කරනවා. අපේ දක්ෂතාව එළියට දාන්න විදියක් නැහැ. එහෙම වුණාම ඒකාකාරී වෙනවා. එහෙම වුණාම ප්‍රේක්ෂකයන්ට වගේම අපිටත් එපා වෙනවා.

අමායා වගේමද ඔබත් සාමාන්‍ය ජීවිතයේදී?
අමායාට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි අමායා කැමැති නැහැ එයා ගැන හොයලා බලනවට අමායාගේ පෙම්වතා. හැබැයි පෞද්ගලිකව මම කැමැති ඒ වගේ නිරන්තරයෙන් මම ගැන හොයලා බලනවට. අද කාලේ එහෙම හොයලා බලන්න ඕනෙ. මම දැන් ආදරවන්තියක්. ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ. පියුමි ශ්‍රීනායක වධකාර ආදරයට කැමැතියි. මට ඒ ආදරය ලැබෙනවා.
කොහොමද ඔබගේ ව්‍යාපාර කටයුතු?
‘මිස් පියුමි’ කියලා මගේම ආයුර්වේද හෙයාර් ඔයිල් බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒකට දැන් ලංකාවේ වගේම පිටරටවලින් පවා ඇණවුම් එනවා. ඉතින් ඒ වැඩකටයුතු වෙනුවෙන් උපරිම කාලය යොදවනවා රංගනයට අමතරව.
ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ ලබපු කටුක අත්දැකීම් ගොඩයි. ඒ කටුක ජීවිතය සුන්දරත්වයක් වාසියක් වුණා. විවිධ ප්‍රශ්න ආවේ අපිව ශක්තිමත් කරන්න. ඉතින් මම ඒ දේවල් සතුටින් භාරගන්නවා. මම ගොඩක් සතුටින් ජීවිතය ගතකරන කෙනෙක්. අහිමි වුණු දේවල් ගැන පසුතැවෙන කෙනෙක් නෙවෙයි මම.
වසන්ත විතාරණගේ











