‘බොහිමියානුවා’ නාට්‍යයෙන් කලා ලොවට පිවිසි ඔහු, ‘කළු කුරුල්ලා’, ‘මෙඩිසිනා’, ‘වර්ණ’, ‘හාර කෝටිය’, ‘කෝටිපතියෝ’, ‘සිල්ලර සමනල්ලු’, ‘ලංසුපතිනියෝ’, ‘නීල පබළු’, ‘රොන් සොයා’ වැනි ටෙලිනාට්‍ය රැසක විවිධ චරිතයන්ට ජීවය ලබා දුන්නේය. එමෙන්ම ‘කොළඹ සන්නිය’, ‘පහ සමත්’, ‘ෂෙලීනා’ යන චිත්‍රපටවලට මෙන්ම ‘සුදු ඇඳගෙන හොරු ඇවිදින්’, ‘කක්කුට්ටා’, ‘හොරු නැතුවත් බෑ’ වැනි වේදිකා නාට්‍ය නිර්මාණ රැසකට ද සිය දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂක සිත් දිනාගැනීමට සමත් විය. විශේෂයෙන්ම ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ ‘කානු ගෙදර රංජි’ චරිතය හරහා පුළුල් ප්‍රේක්ෂක ආදරයක් සහ ජනප්‍රියත්වයක් දිනාගත් ඔහු, වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම සිය දක්ෂතා විදහා දැක්වූ රංගන ශිල්පියෙකි. ඔහු නමින් රොහාන් විජේතුංගයි. Sri Lanka Latest News
රොහාන්, අපි පාසල් කාලයෙන් කතාව පටන් ගමු?
මම හිග්ගස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් වුණා. මට ඒ කාලයේ ලොකු හීනයක් තිබුණා රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න. ඉස්කෝලේ තිබුණු කලා දිනයක ප්‍රධාන ආරාධිතයා විදිහට ප්‍රවීණ රංගධර තුමිඳු දොඩන්තැන්න සහභාගි වෙනවා. ඒ උත්සවයේදී ඔහු කරන දේශනය නිසා ඇති වූ ලොකු ආසාව නිසා ඔහුගේ ශිෂ්‍යයකු විදිහට නාට්‍ය හා රංග කලාව හදාරන්න උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව හදාරා උපාධිය ලබාගන්න මට හැකි වුණා.
පාසල් කාලයේ පටන් ඔබ කලාවට ළැදීයි නේද?
පාසල් කාලයේදී නිවේදකයකු, කථිකයකු විදිහට තමයි මාව හඳුනාගත්තේ. පාසලේ සාමාන්‍ය පෙළ හදාරන කාලයේ මම නර්තනය හදාරලා තියෙනවා. වෙස් නර්තන ශිල්පියෙක් විදිහට කලඑළි බසින්නත් හැකි වුණා.
ඔබ ගුරුවරයෙක්. ගුරු වෘත්තිය එක්ක ඔබ කලා කටයුතුවලට ඉඩකඩ වෙන් කරගන්නේ කොහොමද?
ප්‍රමුඛතාව ඉස්කෝලෙට සහ දරුවන්ට තමයි ලබා දෙන්නේ. කොච්චර කාර්යබහුල වුණත් කලා කටයුතු සඳහා මම කාලය වෙන්කර ගන්නවා. ඒ කටයුතු වෙනුවෙන් මගෙ පාසලේ හැමෝම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ නිසා ගැටලුවක් නැතුව ඉස්කෝලෙ වැඩයි කලා කටයුතුයි දෙකම කරගෙන යනවා.
මේ තරම් දුරක් එද්දී බාධක කම්කටොලුවලට මුහුණ දෙන්න ඇති?
බාධක නම් ඕනෙ තරම් සිදුවෙලා ඇති. ඒත් ඒ හැම වෙලාවකම මාව රැකගෙන ඉස්සරහට ගෙනියන්න කවුරු හරි මට උදව් කරලා තියෙනවා. විශේෂයෙන් පාසල් කාලෙදි රමණි වන්නකු, රංජිත් ප්‍රේමතිලක, නන්දසෝම මුතුගල, පූර්ණා මංගෙදර, කුමාර අබේවික්‍රම, ධම්මී තොරණගොඩ වගේ ගුරුවරු එහෙම හයියටම ළඟ හිටපු අය. විශ්වවිද්‍යාල කාලෙදි කන්න, බොන්න අඳින්න ඉන්න මේ හැමදේම දුන්න හොරණ ජයවර්ධන පවුලේ හැමෝමත් එහෙම ළඟම ඉඳන් හයියක් වුණු අය. වටේ ඉන්න පිරිස් නිසාවෙන් ජීවිතේ කඩාවැටුණු අවස්ථාවන් ඇති වුණේ නෑ.

සම්මාන ගැන බලාපොරොත්තුවක් නැද්ද?
ඇයි නැත්තෙ? මම වේදිකාවේදී බොහෝ අවස්ථාවල සම්මානයට සහ ඇගයීමට ලක්වෙලා තියෙනවා. නමුත් ටෙලිනාට්‍ය රංගනයේදී නම් සම්මානයට ලක්වෙලා නෑ. මම ජනප්‍රිය නළුවාට සහ නැගී එන නළුවාට නිර්දේශ වෙලා තියෙනවා. ඒ හැර ටෙලි සම්මානයක උස, බර, හැඩයවත් මම දන්නෙ නැහැ. ලැබෙනවා නම් ලැබේවි. නමුත් මට රසිකයන්ගේ ආදරය කියන සම්මානය ලැබිලා තියෙනවා. ඒක හැමදාටම තියේවි. අමාරුම සම්මානය ඒකනෙ. ඒක ලැබිලා තියෙනවා ඉතින්. ඒ ඇති.
ආදරණීය බිරිඳ සහ පුංචි දෝණි සමග ගතකරන ජීවිතේ කොහොමද?
අපි තුන්දෙනා හැම වෙලාවකම වගේ එකට ඉන්නේ. දුව තාම පොඩියි. ඉතින් එයාගේ හුරතල් වැඩ බල බලා තුන්දෙනත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?
ජීවා සහ මේඝ වර්ෂා කියන චිත්‍රපට දෙක ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ඊට අමතරව කක්කුට්ටා සහ හොරු නැතුවත් බෑ කියන වේදිකා නාට්‍ය දෙකේ වැඩකටයුතු කරනවා. රූගත කරපු ටෙලිනාට්‍ය කිහිපයක් ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා.











