ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා විදෙස්ගතව සැඟව සිටි පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් 58 දෙනකු දිවයිනට රැගෙන ඒමට කටයුතු කොට ඇත. Sri Lanka Latest News
මෙහිදී ජාත්‍යන්තර රතු නිවේදනවලට අනුව පිටරටින් අල්ලාගෙන ආ අපරාධකරුවන් සංඛ්‍යාව 23ක් වේ. රතු නිවේදන නොමැතිව පිටරට සැඟව සිටි අපරාධකරුවන් 14 දෙනකු ලංකාවට රැගෙන ඒමට පොලිසිය මේ දක්වා කටයුතු කොට තිබේ.
එමෙන්ම තවත් පාතාල අපරාධකරුවන් 95 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කිරීමටද වත්මන් ආණ්ඩුව යටතේ කටයුතු කොට ඇත. ඔවුන්ගෙන් කිහිප දෙනකු මේ වනවිට ඩුබායි, රුසියාව සහ ඉන්දියාව යන රටවල අත්අඩංගුවේ පසුවෙමින් සිටින බව දැනගන්නට ඇත.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ලබාදුන් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ රටට මහා පිළිලයක්ව පවතින පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට කටයුතු කරන බවකි.
මීට පෙර බලයට පත්වූ ජනාධිපතිවරුන් කිහිප දෙනකුම මෙම ප්‍රතිඥාව රටට ලබාදුන්නද එය සාර්ථක අවසානයක් කරා ගෙන යෑමට ඔවුන්ට හැකියාව ලැබී තිබුණේ නැත.
ඒ අනුව, 2015 බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය යටතේ රටින් පලාගොස් සිටි ප්‍රබල පාතාල නායකයන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබිණි.
ඉන් අනතුරුව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කිසිදු පාතාල නායකයකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබුණේ නැත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන සිටි පාතාල නායකයන් 11 දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබිණි.
මේ සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක් රැගත් ලිපියක් 5 වැනි පිටුවේ පළවේ.










