හදවතට දැනෙන වචන පද කළ ඔහු, කවියෙන් ගීත ලෝකයට පැමිණි අපූරු නිර්මාණකරුවෙකි. දීප්තිමත් තාරකාවකගේ ආලෝකයත් සමඟ ඔහුගේ නිර්මාණ ගමන තවත් බැබළෙන්නට වූ අතර, ඔහු නමින් ආසී නොහොත් ආසිරි පෙරේරා නම් තරුණ ගී පද රචකයායි. මව්රට ‘හාට්’ හමුවේ ඔහු ඔහුගේ කතාබහ අපත් සමග මෙසේ ආරම්භ කළා. Sri Lanka Latest News
කවුද මේ ආසී?
ආසී කියන්නේ පුංචි ගී පද රචකයෙක්.
පුංචි කියලා කිව්වට හරිම නිර්මාණශීලී?
අද වෙනකොට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා සහ ලැබෙමින් පවතිනවා. මම හැමදාම උත්සාහ කරන්නේ නිර්මාණයක් ඇතුළේ මතක සටහනක් ඉතුරු කරන්න. ඒ වගේම බොහෝ දෙනාගේ ජීවිතයේ වචන කිරීමට නොහැකි බොහෝමයක් සිද්ධි තමයි මගේ ගීතවල පද නිර්මාණයට පසුබිම් වෙලා තියෙන්නේ.
ආසී, ඔබ ගී පද රචනයට ඇවිත් කොපමණ කාලයක් වෙනවද?
දැනට අවුරුදු 8ක් වෙනවා. ඊට කලින් මම ලිව්වේ ගොඩක්ම නිසඳැස් සහ පුංචි කවි. දැන් ගී පද රචනය කළාට තාමත් හිතේ පැල් බැඳගෙන ඉන්නේ කවිකාරයෙක්.
ඒ කවිකාරයාට යොහානි ද සිල්වා වගේ ප්‍රසිද්ධ චරිත සමග වැඩ කරන්න ලැබුණා. ඉතින් ඒ ගැන කතා නොකරම බැහැ නේද?
ඔව්. යොහානි සහ දිලංජන් තමයි මගේ සංගීත ජීවිතයේ පළවෙනිම පියවර තියන්න මට අවස්ථාව ලබාදෙන්නේ. ඇයගේ ප්‍රථම ඇල්බමයේම ගීත රචනා කරන්නට මට ලැබෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර තලයේ ගීත රචනා කිරීමටත් ඒ හරහා අවස්ථාව හැදෙනවා. ඊට පස්සේ තමයි මම මේ වෘත්තීමය පද රචනයට එකතු වෙන්නේ..
ඔවුන් ඔබට ඒ අවස්ථාව ලබා දුන්නේ ඔබ සමාජ මාධ්‍යයට එකතු කරපු නිර්මාණ දැකලද?
ඔව්. මෙඩූසා කියන්නේ මම ලියපු නිසඳැසක්. මේක ගීතයක් කරමු කියන අදහස එන්නේ වරුණ අයියගෙන්. එතනදී තමයි යොහානිව මුණගැහෙන්නේ. ඊට පස්සේ දිලංජන් සෙනෙවිරත්නගේ ආරාධනයකින් තමයි ඔවුන් සමඟ වැඩ කරන්න එක්වෙන්නේ. ඒ ලැබුණු ආරාධනාව තමයි මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ.
මේ හැකියාව ලැබුණේ ඔබේ පවුලේ අයගෙන්ද?
ගී පද රචනය නම් මගේ පවුලේ කිසිම කෙනෙකු කරලා නැහැ. නමුත් මගේ පියා, ඔහු විශ්‍රාමික පාසල් ගුරුවරයෙක්. ඔහුට ගායනා කිරීමේ හැකියාවක් හොඳින්ම තියෙනවා. මේ ළඟකදී තිබුණු සිගින්ග් ස්ටාර් කියන ගායනා තරඟයකින් ඔහු ශූරතාවය පවා දිනා ගනු ලැබුවා. ඉතින් ඒ ආභාෂය මට දායකත්වයක් වෙන්නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අම්මාගේ සහ තාත්තාගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා කියලා නම් මම හොඳටම දන්නවා.
ආසිටත් තාත්තාට වගේ ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්?
මගේ ගීත කිහිපයක් මම එළිදක්වලා තියෙනවා. තව කිහිපයක් එන්නත් තියෙනවා. ඒක ඇත්තටම මම විනෝදාංශයක් විදිහටයි කරන්නේ. මම කැමතියි ඇත්තටම ගී පද රචකයෙක් විදිහට ඉදිරියටම යන්න.
ඒ කියන්නේ ඔබට ගායකයෙක් වෙන්න අදහසක් නෑ?
ඉස්සර නම් අදහසක් තිබුණා. මම හිතන්නේ දැනටත් මම ඒක කරනවා. පොඩි කවයක් ඇතුළේ මගේ ගීත අහන ආදරණීය පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් මම පොඩ්ඩක් ගීත ගායනත් කරනවා නැතුවම නෙවෙයි. හැබැයි මම අර කිව්වා වගේ මම කැමතිම ලියන්න. අදහස් එක්ක, හැඟීම් එක්ක ගනුදෙනු කරන්න.
සම්මානනීය ගී පද රචකයෙක් වෙන්න අදහසක් ඇති…
සම්මානයක් කියන්නේ ඇගයීමක්. ඉතින් දැනටමත් මට බොහෝ දෙනෙක්ගේ ආදරය ලැබෙනකොට තවත් සම්මාන මොකටද. ආදරණීය මිනිසුන්ගේ ආදරය නොඅඩුව ලැබෙන එක. ඒකම සම්මානයක් විදිහට මම දකිනවා.
ඒ කියන්නේ ආසි මිනිස්සුන්ගේ ආදරය සම්මානයක් විදිහට බාර ගත්තත් ඔබ වෙනත් සම්මාන බාර ගන්නේ නෑ? ඔබව සම්මාන උළෙලවල දැක ගන්න බැරි වෙයි කියන එකද?
සම්මාන උළෙලකදී මම ඉඳීවි. නම නිර්දේශ වුණොත් මම ගිහින් සම්මානයක් ගනීවි. නමුත් කිසිම දවසකදී සම්මානයක් නොලැබුණාය කියලා මම මේ කරන කිසිම දෙයක් නවතින්නේ නෑ. මොකද සම්මානය දෙන්නේ ප්‍රේක්ෂකයෝ නිසා නම් ඒ අයගේ ආදරය නොඅඩුව ලැබෙනවා නම් ඒ ඇති. උළෙලකින් නොලැබුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය සම්මානයක් විදිහට නිරන්තර හිමිවෙන එක ගැන කලාකරුවෙක් විදිහට මම සතුටු වෙනවා.
දැනට ඔබේ කලා කටයුතු කොහොමද?
මේ දිනවල වැඩ කිහිපයක් කරගෙන යනවා. ළඟදීම නිකුත් කළේ රහල් අල්විස් ගායන ශිල්පියාට මම සහ රවීන් එකතු වෙලා කරපු ‘බොහෝ කල්’ ගීතය. ඒ වගේම ආලවන්ත හීනය ගායනා කරපු නිසල් සත්සරගෙත් අලුත්ම වැඩක් මේ දවස්වල කරගෙන යනවා. තවත් විශේෂ කෙනෙක්ගේ වැඩක් මේ දවස්වල කරගෙන යනවා. ඒ ගැන ඉස්සරහට කියන්නම්.
ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි පතන ගමන් මව්රට හාට් වෙනුවෙන් ගී පද පේළියක් කරන ගමන් කතාව නිමා කරමු…
මතක දිගේ..
පා නඟනා නුඹ හට..
සුබ වේවා සැමදිනයේ
මව්රට..
බොහෝම ස්තූතියි මේ කතාබහට මාව සම්බන්ධ කරගත්තට.











