ටෙලිනාට්‍ය කලාව තුළ ඉමහත් වූ යශෝරාවයක් නැංවූ ‘යශෝරාවය’ ටෙලිකතාව ඔබට මතකදැයි ඇසීමද එක්තරා විහිළුවකි. ඒ තරමට ප්‍රේක්ෂකයන්ට සමීප වූ යශෝරාවයේ හිතුවක්කාර එකම දුව වූ රංජනීද එපමණටම සෑම රසික සිතක් තුළම ලැගුම් ගත්තාය.
රංජනී ගැන මතකය නැවැත අවුලවාලීමක් කරන්නටත්, එයට කදිම රංගනයක් එකතු පාද කළ අති විශිෂ්ට වේදිකා නිළියක වූ රත්නා ලාලනී ජයකොඩි ගැන කතාබහ කරන්නටත් ‘හාට්’හි මේ ඉඩ වෙන් කරන්නේ ඉතා ගරු සිතිනි.
මේ දනවල ඔබ වේදිකාව සමඟ ඉතා කාර්යබහුලය කියා දැනගන්නට ලැබුණා?
තොරතුර ඉතාම නිවැරැදියි. පසුගිය දින කිහිපය ගෙවුණේ වේදිකාව සමඟම තමයි. හැබැයි ඒ කාර්යබහුල බව ගැන දැනෙන හැඟීම හරිම සුන්දරයි. ඒ නිසා වෙහෙස මහන්සියක් දැනුණේ නැහැ හිතට හෝ ගතට.
‘සුන්දරය’ යන වචනය ආවේ අලුත් වේදිකා නාට්‍යයක තවත් ලස්සන චරිතයකට ඔබ එක්ව සිටින නිසාද රත්නා?
නැහැ. නැහැ. මේක අලුත් වේදිකා නාට්‍යයක් වෙනුවෙන් වූ කාර්යබහුල වීමක් නෙමෙයි. හැබැයි ඔබ කීවා සේම ඉතාම සොඳුරු කර්තව්‍යයකට තමයි මා ඇතුළු සියලුමදෙනා එලෙස මැදිව සිටියේ.
ඒ සොඳුරු කර්තව්‍ය ගැන අහන්න කැමැතියි?
උත්තරයද ඉතාම කැමැත්තෙන් දෙන්නම්. එතරම් ඈත නොවූ නුදුරු දවසක වේදිකා නාට්‍ය කලාව නොහිතපු ජනප්‍රියත්වයකට බඳුන් වෙමින් තිබුණා. ඒ අතර තමයි නොසිතූ ලෙස කොරෝනා උවදුර පැමිණියේ. එයින් පසුව වේදිකාව නැවැත පාළු වෙන්න ගත්තා. ඒ අතර තමයි ටවර් රඟහල පදනමෙහි අධ්යක්ෂ ජනරාල් වූ ඩග්ලස් සිරිවර්ධන මහත්තයා නාට්‍ය උළෙලක් සංවිධානය කරන්නට ඉදිරිපත් වුණේ. එහි තේමාව වූයේ ‘ප්‍රේක්ෂකයන් නැවැත රඟහල කරා පැමිණීම’ යන්නයි. අඩු මුදලක ප්‍රවේශපත්‍ර යටතේ නාට්‍ය 14ක් එල්ෆින්ස්ටන් සහ ටවර් යන රඟහල්වල රඟදැක්වුණා.
ප්‍රේක්ෂකයන්ගේ නැවැත පැමිණීම එහිදී සිදුවුණාද රත්නා?
කියන්නට සතුටුයි. අතුරු සිදුරු නැතිව ප්රේක්ෂකාගාර
පිරීගියා. ඇත්තටම ඒ සුහද පරිශ්රමයට සහ වෑයමට පංගුකාරියක් වීමට ලැබීම ගැන දස දහස් වර මම සතුටු වෙනවා. එයට පසු වේදිකාව මත නැවැත නැවැතත් කාර්යබහුල වන්නට වූයේ ජලයත් මනෝරත්නයන්ගේ උපහාර නාට්‍ය උළෙල වූ ‘මනෝ සොඳුරු රඟපබා’ සහ සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය උළෙල වෙනුවෙනුයි. එතැනදීද ප්රේක්ෂකයනට වේදිකාව අතහැර දමන්නට හිතන තරමට පහසු නැතැයි යන හැඟීම අපට ලොකු සතුටක් ගෙනදුන්නා.
නැවත ඔබ ටෙලිතිරයට අවතීර්ණ වෙලා?
ඔව්. එය සිදුවූයේ සනත් අබේසේකර මහතාගේ සුහද ආරාධනය මතයි.
ඔබ දිගු කාලයක්ම නිහඬව සිටි බවක් හැඟෙන්නෙ නැතිද ටෙලි කලාව තුළ?
නිහඬවම හිටියා කියන්නම බැහැ. මොකද ශාන්ත සොයිසාගේ ‘සදා’ සහ කුමාර සිරිවර්ධනයන්ගේ ‘කොන්කළ දෝණි’ ටෙලිඩ්‍රාමාවල මම විටින් විට රංගනයෙන් දායක වුණා.
නමුත් ඔබ බොහෝ විට චරිත බාර නොගෙන සිටි බවටයි තොරතුරු ලැබුණේ?
මම වෘත්තීය වශයෙන් ගුරුවරියක්. ගුරුවරියකගේ කාර්යභාරය සතු වගකීම් සුළුකොට තකන්නට අපහසුයි. ඒ නිසා මම චරිත තෝරා ගන්නේ රූගත කිරීම්වල පහසුකම් අනුවයි. අනික මගේ පවුල ගැන සහ මගෙන් ඔවුනට ඉටුවිය යුතු යුතුකම්වලටද මම මුල්තැන දෙනවා.
ඔබ යශෝරාවයේ රංජනී තුළින් ආලින්දයේ සිනමාව හරහා කතාබහට ලක්වුණා?
රංජනී කියන්නේ රසික සිත්වලට තදින් දැනුණු චරිතයක්. එහි ‘තරු’ ස්වභාවයක් තිබුණේ නැහැ. රංජනී විතරක්ම නෙමෙයි බලදේව, සුදු හාමිනේ, රංජනීලාගේ තාත්තා සුනිමල්, පොඞ්ඩා යන අපි හැමෝම යශෝරාවය තුළ ජීවත් වුණේ ඇත්තම පවුලක් විදියටයි. රංගනයක් එතැන තිබුණු බව අපට හැඟුණේ සෙට් එකේ වැඩ කටයුතු ඉවර කරන වෙලාවටයි.
වේදිකාව තුළ ඒ වාරණය නොතිබුණු නිසාද ඔබ බාර්කාරියක ලෙස රඟපෑවේ?
මෙහෙමයි. බාර්කාරියක ලෙස රඟපෑ ඒ චරිතය මට ලැබුණේ අනුර ඒකනායක නම් තරුණ අධ්යක්ෂවරයා කළ පරිවර්තනයක් අනුසාරයෙනුයි. එය හරිම අපූරු චරිතයක්. එය නම් කළේ ‘මිස් ටුයිනි’ යන නමිනුයි. නිතර මත්පැන් බොන සිගරට් බොන පටි සහිත ඇඳුම් අඳින මිස් ටුයිනිගේ චරිතය ගැන බොහෝ විචාරක ප්‍රශංසා මට ලැබුණා. ඒ වගේම ඇතැම් පිරිස් මගේ මූණටම කිව්වා ‘රත්නා ඒක ඔයාට ගැළපෙන චරිතයක් නෙමේ’ කියලා.
ඔබ එතැනදී කම්පා වුණාද ඒ ගැන?
ඒ චරිතය මට සුදුසු නැතය කියන අයගේ අදහසට මම ගරු කළා. හැබැයි මිස් ටුයිනිගේ සාර්ථකත්වය ගැනද මම තෘප්තියට පත්වුණාය කිව්වොත් එය තමා ඇත්ත.
එම චරිතය අතහැර දැමුවෙ තෘප්තිය යටපත් කරගෙනද?
චරිතය අතහැර දැමීමක් සිදුවූයේ නැහැ. නාට්‍ය අධ්යක්ෂ අනුර විදේශගත වීමෙන් එය ගිලිහී ගියා.
රංගනවේදීන් වූ ඔබ දෙපළගේ පුතණුවන් ගැන කතා කරමුද ටිකක්?
ඔව්. ඔහු මන්ජිත ලංකේෂ් තෙන්නකෝන්. වැඩි අවධානයක් දෙන්නේ සංගීතයට. ‘ඕමි’ නම් සංගීත කණ්ඩායමක බෙස් ගිටාර් වාදකයා ලෙස ඔහු කටයුතු කරනවා. දැන් දැන් පුතාගේ වෙනසක් මටයි, සම්පත්ටයි පෙනෙන්න අරන් තියෙනවා. ඒ ඇයිද? මෑතකදී ඔහු ප්‍රසන්නජිත් අබේසූරියගේ වැඩමුළුවකට සහභාගි වුණා. දින තුන හතරක් පුරා එය පැවැත්වුණා. අවසානයේදී මට ප්රසන්ජිත්ගෙන් මැසේජ් එකක් ආවා ෆෝන් එකට. එහි සටහන්ව තිබුණේ, ‘කොල්ලගේ දැක්ම හොඳයි. කවද හරි හොඳ නළුවෙක් වෙන්න ඉඩ තියෙනවා’ කියලයි. ප්‍රසන්නජිත්ගේ අදහස ඉටුවෙනව නම් පුතා කලාවට පිවිසේවි. මගේ අයියගේ පුතා විමල් ජයකොඩිත් රඟපෑමට යොමුවුණේ එතරම් කැමැත්තකින් නෙමෙයි. හැබැයි නිරායාසයෙන්ම බිමල් ඉතාම දක්ෂ නළුවකු වුණා. මන්ජිත්ටත් එවැනි හාස්කමක් සිදුවන්නට පුළුවන් කියලා හිතනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











