බාධක කම්කටොළු මැද්දේ ජීවිතය විඳිමින් කලා ලොවේ දිගු ගමනක් යන සුන්දර මිනිසෙක් අපට හමුවුණා. ඔහු ඔබ, අප දන්නා නව පරපුරේ රංගන ශිල්පී සංගීත් සතරසිංහ. ඉතින් ඔහු අප සමග කතාකලේ මේ විදියට ඒ ගමනේ සුන්දරත්වය ගැන.
සංගීත් මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම දකිනවා. ඒ අතර ‘ජේමිස්’ ගැන කතා කළොත්?
චහික පෙරේරා අධ්‍යක්‍ෂණය කරන ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ ‘ජේමිස්’ ලෙසට තමයි මම රඟපාන්නේ. මම රඟපාපු නිර්මාණ අතර, විශේෂ චරිතයක් විදියට ජේමිස් චරිතය මම දකිනවා. මොකද මම ගොඩාක් ආශාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක් තමයි ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යය. ඒත් මම හිතුවේ නැහැ මේ ටෙලිනාට්‍යට මට සම්බන්ධ වීමට ලැබෙයි කියලා. ආරම්භයේදී ජේමිස්ට ගොඩදෙනෙක් ආදරය කළා. හැබැයි දැන් ඉතින් ඒ හැමෝම බනින එක තමයි කරන්නේ. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර මම සතුටින් බාර ගන්නවා. එයට අමතරව ‘අමාලියා’ සහ ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍ය විකාශ වෙනවා.
‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍ය වෙනස්ම කාල හෝරාවක විකාශය වන නිසා ඔබේ ප්‍රේක්‍ෂකයන්ට එය මගහැරෙන්නට ඇති?
මමත් මුලදි හිතුවේ එහෙම තමයි. මොකද ‘මුතුලෙන් දොර’ දිනපතා උදෑසන විකාශය වන ටෙලිනාට්‍යක් නිසා. නමුත් ගොඩදෙනෙක් එය නරඹන බව දැනෙනවා.
කාලෙකට පස්සේ තමයි තාත්තයි, පුතයි එකට රඟපාන්නේ, කොහොමද ඒ අත්දැකීම?
ඔව්. මම හිතන්නේ ‘නාටක මාරයි නවයාමාරයි’ ටෙලිනාට්‍යයෙන් අවුරුදු පහකට පස්සේ තමයි මට තාත්තා සමඟ එකට රඟපෑමට අවස්ථාව උදාවුණේ. එහෙම ඉතින් කිසිම වෙනසක් නැහැ. තාත්තගේ තිර රචනයක් නිසා තවත් පහසු වුණා රඟපෑමට.
ඔබේ පියා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු නිසාමද ඔබ නළුවෙක් වුණේ?
තාත්තා කවදාවත් මට බලපෑම් කරලා තිබුණේ නැහැ මේ ක්‍ෂේත්‍රයට එන්න කියලා. නමුත් පොඩි කාලේ ඉඳලා මගේ ආශාවක් තිබුණා නළුවෙක් වෙන්න. ඉතින් මම මුල් කාලවකවානුවේ නිවේදන ශිල්පියෙක් ලෙසට තමයි කටයුතු කළේ. සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කළ ‘සඳ හාමි’ ටෙලිනාට්‍යයේ තමයි මම මුල්වරට රඟපෑවේ. ඉතින් මගේ ආශාව දක්‍ෂතාව දැනහඳුනාගෙන තාත්තත් මට උදවු කරනවා.
පසුගිය කාලේ ඔබ සිනමාව පැත්තටත් ඔබේ දායකත්වය සපයා දුන්නා නේද?
මගේ පළමු සිනමා රංගනය නුදුරු දිනයකදී ‘අග්නි’ චිත්‍රපටය හරහා දැකගන්නට පුළුවන් වෙයි. මගේ ලොකුම ආශාව තියෙන්නේ පුංචි තිරයේ වීරයෙක් වෙන්න තමයි. මගේ වාසනාවකට මට විවිධ චරිත මේ වන විට ලැබිලා තිබෙනවා. ඉදිරියටත් මගේ දායකත්වය සුවිශේෂී නිර්මාණ සදහා ලබාදෙන්න අදහසක් තිබෙනවා.
සංගීත්ගේ ජීවිතයේ එක්තරා කාලවකවානුවක කඩාවැටීම් ඇති වුණා නේද? එය ගැන තවමත් විඳවමින්ද කාලය ගෙවන්නේ?
දුක, සතුට කියන දේ අපි කාටත් පොදු දෙයක්. එය මට විතරක් නෙවේ, කවදාවත් එකම දෙයක් ගැන හිතමින් පසුතැවෙන කෙනෙක් නෙවේ මම. මම කාට වුණත් කියන්නේ, ජීවිතයම අලුතින් දකින්න, අලුතින් හිතන්න, සරලව ජීවත් වෙන්න. එතකොට ජීවිතයම සුන්දරයි.
අලුත් ජීවිතයේ අලුත් රහසකුත් ඇති අපිට නොකිව්වාට?
මගේ ජීවිතයේ රහස් නැහැ. මම ඒ හැම දේම කාලයට බාර දීලා තියෙන්නේ. කාලයත් එක්ක ඒ හැම දෙයක්ම සුන්දර ලෙසට විසඳෙයි.
වසන්ත විතාරණගේ











