වර්තමාන ටෙලි තිරයේ ආදරණීය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක වන ඇය, මේ දිනවල ස්වර්ණවාහිනි ඔස්සේ විකාශය වන “සින්ටෝ“ ටෙලිනාට්‍යයේ ජගත්මාගේ චරිතයට පණපොවන නේහා බාලසූරිය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා සිටින්නීය. අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු මැද ඇය තම අලුත් තොරතුරු අප සමග මෙලෙස බෙදාගත්තාය.
නේහා, මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
ඇත්තටම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. “සින්ටෝ“ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් වගේම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් සමග කාලය ගත කරනවා. විශේෂයෙන්ම මගේ විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ දිනවල සිදුවෙනවා. ඒ හැම දේම මැද සාමාන්‍ය විදිහට සතුටින් කාලය ගතකරනවා.
“සින්ටෝ“ ටෙලිනාට්‍යයේ ජගත්මාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
දැන් “සින්ටෝ“ ටෙලිනාට්‍යයේ අවසන් කොටස් කිහිපය තමයි රූගත කරන්නේ. තව දින කිහිපයකින් නාට්‍යයේ වැඩකටයුතු අවසන් වේවි. නාට්‍යය ආරම්භ කළ දවසේ ඉඳන් අද වෙනකම්ම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ඒ විදිහටම තියෙනවා. “ජගත්මා“ කියන්නේ මගේ රංගන ජීවිතේ මට කවදාවත් අමතක නොවන, අත්දැකීම් රාශියක් ලැබුණු චරිතයක්. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.
ඔබ රංගනය පිළිබඳ හදාරන ශිෂ්‍යාවක් නේද?
ඔව්, මම රංගනය හදාරනවා. මම මේ වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලබනවා. මගේ විෂය වන්නේ රංගනයයි.
ඉගෙනීම් කටයුතු සහ රංගනය සමබර කරගන්නේ කොහොමද?
ඇත්තටම මේ ක්ෂේත්‍ර දෙකම සමබරව පවත්වාගෙන යන්න මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ යාළුවොත් මට ගොඩක් උදව් කරනවා. ඒ නිසා අධ්‍යාපනය වගේම රංගනයත් ගැටලුවකින් තොරව කරගෙන යන්න මට හැකියාව ලැබිලා තියෙනවා.
වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන නව පරපුරේ ශිල්පිනියක් විදිහට ඔබ දකින්නේ කොහොමද?
විශේෂයෙන්ම මම ලංකාවේ සිනමාවේ කැපීපෙනෙන වෙනසක් දකිනවා. විවිධ ශානරයේ ගුණාත්මක නිර්මාණ දැන් බිහිවෙනවා. එවැනි සිනමා නිර්මාණයකට අවස්ථාවක් ලැබුණත් ඒක ලොකු සතුටක්. මේ සිදුවන වෙනසත් එක්ක දිගටම කලාව තුළ රැඳී සිටිය යුතුයි කියන හැඟීම සහ වුවමනාව මට ඇතිවෙනවා.

ක්ෂේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම බලාපොරොත්තු වෙන ඉලක්කයට මම තවම ගිහින් නැහැ. ඒ වෙනුවෙන් මම කැපවීමෙන් වැඩ කරනවා. මගේ එකම බලාපොරොත්තුව කවදාහරි කලා ක්ෂේත්‍රය තුළ හොඳ සලකුණක් තියලා, ප්‍රේක්ෂකයන් අතර ගෞරවනීය මතකයක් ඉතිරි කරලා යන එකයි.
මේ වසරේ ලැබී ඇති අලුත් ආරාධනා මොනවාද?
දැනට මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. පසුගිය කාලේ මම සම්පූර්ණයෙන්ම වගේ “සින්ටෝ“ එක්ක තමයි සම්බන්ධ වුණේ. ඉදිරියේදී ටෙලිනාට්‍යයකින් මට ගැළපෙන, මම කැමැති චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. හිතේ සැනසීමෙන් යුතුව, ජීවිතයට එන දේවල් දරාගෙන ඉදිරියට යෑම තමයි මගේ අරමුණ.
හිමාෂා නෙත්මිණි











