ලංසුපතිනියෝ ටෙලිනාට්‍ය සමාප්ත විය. කොටස් සියයකින් ඔබ්බට ගියද ලංසුපතිනියෝහි සමාප්තිය බොහෝ විට බොහෝදෙනකු අනුමත නොකරන්නක් බවට ප්‍රේක්ෂකයන් අතර යම් කසුකුසු ඇතිවිය. එකී කසුකුසු අතර ප්‍රධානම මතය වූයේ ලංසුපතිනියෝ ටෙලියට කවුරුන් හෝ ප්‍රබලයකු විසින් බාල්දියක් පෙරලූ බවය. මෙහි සත්‍යතාවය කුමක්දැයි එහි නිෂ්පාදක සාරංග දිසාසේකරගෙන් අසා දැනගන්නට අපට තිබූ ඕනෑකම කතිකාවට පෙරළන්නට සාරංග ඉතාම සුහදව එක්වූයේ මෙලෙසය.
ලංසුපතිනියෝ අවසානය හිටිඅඩියේ සිදුවූවක් බවට තිබෙන කසුකුසුව ඇත්තක්ද සාරංග?
ඇත්තෙන්ම පළමුව කියන්නට ඕනෑ ප්‍රේක්ෂකයන් අතර තිබෙන ඒ කසුකුසුව අපට සතුටක්. ඒ කියන්නේ ලංසුපතිනියෝ ඉදිරියේ රාත්‍රි නවයට තවදුරටත් අසුන්ගන්න ඔවුන් බලාපොරොත්තුව ඉඳලා තියෙනවා. ඔබ ඇසූ ප්‍රශ්නයට උත්තර දෙවනුව දෙන්නම්. ලංසුපතිනියෝ කතාව තවදුරටත් ගෙනයන්න අප බලාපොරොත්තුව හිටියා. වැඩිදුර රූගත කිරීම් සඳහා පවා සැලැසුම්සහගතව දවස් වෙන් කරන්නට කල්යල් බලා උන්නාය කිව්වොත් තමා හරි.
සිදුවූයේ කුමක්දැයි ඇහුවොත් ඔබ උත්තරය දෙනවාද?
අනිවාර්යෙන්ම සැඟවිය යුතු කිසිවක් එතැන නැහැ. කෙටියෙන් කියනවා හේතු කිහිපයක්ම තිබුණා. එකක් ස්වාධීන රූපවාහිනි ආයතනය විසින් අපෙන් ඉල්ලීමක් කළා මෙය අහවල් කොටස් ගණනට සීමා කරන්න යැයි කියා. ඒ වගේම කල්තොට වගේ දුර බැහැර ප්‍රදේශයක රූගත කිරීම් සඳහා කොරෝනා දෙවැනි රැල්ල සමඟ යෑමෙහි අවදානමත් එතැන තිබුණා. හැබැයි මොන විදියේ ගැටලු තිබුණත් ස්වාධීන රූපවාහිනි ආයතනය අපට මෙය ඔවුන් කී කොටස් ගණනට සීමා කරන්න යැයි නොකීවා නම් ලංසුපතිනියෝ තවමත් රාත්‍රි නවයට විකාශනය වෙන්නට තිබුණා.
එවැනි ඉල්ලීමක් කරන්නට හේතුව කුමක්ද?
අනෙකුත් ටෙලි නිර්මාණ සඳහා කාලය අවැසි බව තමයි ඔවුන් කියා සිටියේ.
හැබැයි ප්‍රමිතියක් නැති සමහර නාට්‍ය සඳහා ඔවුන් කාලවේලාව වෙන්කර තිබෙනවා නේද?
සත්තකින් ඔව්. ඇත්තෙන්ම සමාජයට යම් පණිවුඩයක් දිය හැකි මෙවැනි ටෙලි කතාවකට එලෙස සිදුවීම ගැන කලාකරුවකු ලෙස මම කනගාටු වෙනවා. අනික ලංසුපතිනියෝ නාට්‍ය හොඳින් ලාබ ඉපැයූ නිර්මාණයක්.
ලංසුපතිනියනට වෙනස්කමක් සිදුවූ බවද ඔබේ අදහස?
ඔව්. ලන්සුපතිනියනට යම් වෙනස්කමක් සිදුවූවා. මොකද ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන බොහෝ ජනප්‍රිය නාට්‍ය සඳහා කටවුට් එකක් ඉදිවීම සාමාන්‍ය දෙයක්. හැබැයි ලංසුපතිනියෝ වෙනුවෙන් එවැනි කටවුට් එකක්වත් ඉදිවූයේ නැහැ. එතැනදි වුවද ඒ වෙනස්කම නිදසුන් වෙනවා.
මෙය දේශපාලනමය වශයෙන් සිදුවූ යම් අතදැමීමක් වන්නට බැරිද?
බොහෝ විට එයද හේතුවක් විය හැකියි. ලංසුපත්නියෝ ආරම්භක පියවරේදී තිබූ රජය එහි විකාශනයත් සමඟ වෙනස් වූවා. ආණ්ඩු පෙරළිය නිසා ඇතිවූ කළමනාකාරීත්වයද බොහෝ දේට හේතු විය හැකියි. ඒ වගේම මෙවැනි සිදුවීම් බොහෝ නිර්මාණයන් හරහා සිදුවන බැවින් කිසිවකුට ඇඟිල්ල දිගු කිරීම සදාචාරාත්මක නැති බවයි මගේ හැඟීම.
නමුත් සාරංග ඔබ සිත් තැවුලෙන් බවයි පෙනෙන්නේ?
මම විතරක් නෙමෙයි, අධ්‍යක්ෂ ශිවගුරුනාදන් තිර රචක රසික සුරවීර වගේම මෙයට එක්වූ විශිෂ්ට ගණයේ සෑම කලාකරුවෙක්ම යම් සිත් තැවුලක් මත තමයි මෙයට මුහුණ දුන්නේ.
ඒ හැමෝම සමඟ එක්වී මේ වෙනුවෙන් ඔබට යමක් කරන්නට තිබුණා?
මෙවැනි දේ බොහෝ තැන්වල සිදුවෙනවා. ලංසුපත්නියෝ කියන්නේ එහි පළමුවැන්න හෝ අවසානය නෙමෙයි. ඒ නිසා කලබල විය යුතු නැහැ. හැබැයි සතුටට කාරණය වන්නේ සමාජ ජාලා මාෆියාව නිසා තම දූ දරුවන්ට සිදුවන විනාශය ගැන ටෙලිනාට්‍යයක් හරහා මේ ආකාරයට කතා කිරීම ගැන අදටත් බොහෝදෙනා අපට ප්‍රශංසා කරනවා. ඒ අතර අම්මලාත්, තාත්තලාත්, සහෝදර, සහෝදරියන්, පෙම්වතුන් වාගේම යුවතිපතීන්ද සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











