දන්නා කියන හැම දෙවියකුටම කිව්වත්, පූජා තිබ්බත්, වැඳුම්-පිදුම් කළත් කිසිදු සහනයක් නොලැබූ බව කියන බොහොමයක් මිනිසුන් ප්‍රසිද්ධයි කියන දේවාල අසලදී වුවද අනන්තවත් හමුවෙයි. ඇතැම් අය එසේ පුදපූජා කළ දේවාල ගණන අතේ ඇඟිලි ගණනටත් වැඩිය. එසේ බැලූ කල දෙවියන් පිදීම පල රහිත දෙයක් ලෙස කෙනකුට සිතෙන්නටද බැරි නැත. එහෙත් ඇත්ත කතාව ඔය කියන කිසිවකු හරියට තේරුම් ගෙන නැත. බොහෝ දෙනෙක් දෙවියන්ට පුදපූජා තබන්නේ ඇපෙන් ගැලවෙන්නට මෙනි. ඔන්න මං පූජා වට්ටිය තිබ්බා, දැන් ඉතින් කරලා දෙන එක ඔබ වහන්සෙගේ වැඩක් යැයි සිතමින් දෙවියන් වඳින, පුදන පිරිසකුත් සිටිති. එහෙත් ඕනෑම දෙයකින් නිසි ප්‍රතිඵල ලබන්නට නම් ඒ දෙය හරියට කළයුතුය. එසේම දෙවියන්ට පුදපූජා තැබිය යුතු වෙලාව පිළිබඳවත් බොහෝ දෙනකුට ඇත්තේ අඩු අවබෝධයකි.
අතීතයේ ජීවත් වූ වැඩිහිටියන් දේව ඇදහීම මෙන්ම පුදපූජාත් නිසි වෙලාවට, නිසි පිළිවෙලට කළ අතර ඒ අය දෙවියන්ගේ පිහිටද නිසි ලෙස ලබාගත් බව රහසක් නොවේ. එකල වැඩිහිටියන් දේවාලයට ගියේ පඬුරු කාසි පවා කහවතුරෙන් සෝදා සුදු රෙදිකඩක ඔතාගෙනය. එසේම රුපියල් ලක්‍ෂ ගණනක් වියදම් කර නවීන වෛi විiාවෙන් සුවපත් කරගන්නට බැරි බොහෝ ලෙඩදුක් පත්තිනි මෑණියන් වෙනුවෙන් ගැටගැසූ පඬුරකින් සුවකර ගන්නට අතීත මුතුන් මිත්තන්ට හැකියාව ලැබුණු බව ද රහසක් නොවේ. එයින්ම පැහැදිලි වෙනවා දෙවියෝ පිහිට වෙන්නේ දෙවියන්ට භක්තිය ඇති අයට බව. ඒ වගේම ගහක්, ගලක් වුණත් විශ්වාසයෙන් අදහනවා නම් එයින් සෙතක් සිදුවන බවටත් කතාවක් තියෙනවා. එනිසා තමන් කරන දේ හරියට කිරීමයි වැදගත් වෙන්නේ.
බොහෝ දෙනෙක් දෙවියන් වෙනුවෙන් කරන්නේ සුදුසු දෙය නෙවෙයි. අපේ ඇතැම් දැහැමි දෙවි දේවතාවුන් වහන්සේලාට මස්-මාංශ, බිත්තර වැනි වැරැදිදේ තැබීමට ඇතැම් හොර ගුරාලගෙ උපදෙස් අනුව කටයුතු කරන අවස්ථාත් තිබෙනවා. එයින් සිදුවන්නේ විශාල අනර්ථයක්. ඊළඟට ප්‍රධානම දේ වෙන්නේ පූජා වට්ටියට තබන මුදල් නෝට්ටුව. ඇත්තටම එම මුදල් නෝට්ටුව තියන්නෙ දෙවියන්ටද? නැහැනේ. දෙවියෝ මුදල් භාවිතයක් නැහැනේ. එහෙනම් එය තබන්නෙ දෙවියන්ගෙ ආවතේව කරන කපු මහතාටයි එනිසයි ඔහු ලොකු නෝට්ටු කොළ උඩින්ම පේන්න තියෙන පූජා වට්ටිය මුලින්ම අතට ගන්නේ. හැබැයි එතැනදී කපු මහත්තයත් කරන්නේ වරදක්. ඒ කියන්නේ දෙවියන්ව මුදලට පාවා දීම. ඊළඟ කාරණය තමයි මේ මුදල් නෝට්ටු හරිම අපිරිසුදුයි. ආගිය තැනක් හරියට දන්නෙ නැහැ. කිලිටිවෙලා, කිලිවලට අහුවෙලා තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් දෙවියන්ට පුදන පූජා වට්ටියේ තිබ්බාම, පූජා වට්ටියත් කිලිටි වෙනවා. එනිසා කපු මහතාට දෙන මුදල් නෝට්ටුව ඔහුට දීලා දෙවියන්ට දෙන පූජාව දෙවියන්ට දුන්නානම් නොවෙයිද හොඳ.
ඊළඟට තවත් වරදක් කරනවා. ඒ තමයි දෙවියන්ට පලඳන්න ගන්නෙ වැඩි හරියක් ඉටිරෙදි මල්මාලා. මේකත් නොහිතා කරන බරපතළ වරදක්. දෙවියෝ කියන්නෙ එහෙම රවටන්න පුළුවන් පිරිසක් නෙවෙයි. දෙවියන්ට පූජා කරන්න පලඳන්න ඕනෑ පිවිතුරු ස්වාභාවික මල්මාලා පමණයි. එවිටයි දෙවියෝ සතුටට පත්වෙලා තමන්ට පුදපූජා කරන අය දෙස බලන්නෙ. ඔවුන්ට පිහිට වෙන්නේ.
හැබැයි අද වෙද්දි ගොඩක් දේවාලවල පූජා වට්ටියවත් මල්මාලාවත්, එතරම් හොඳට පිළිවෙළට අවශ්‍ය වෙන්නෙ නැහැ. තියෙන්න ඕනෑ කපු මහතාට දෙන නෝට්ටු කොළේ වැඩි වටිනාකම විතරයි. ලොකු නෝට්ටු කොළයක් තිබ්බාම කපු මහත්තයා වැඩිපුර කන්නලව් කරනවා. අර හොඳ පලතුරු වට්ටියක් තියලා පොඩි පඬුරක් තියපු අයව නොසලකා හරිනවා. එතකොට බලාගෙ ඉන්න අය හිතනවා කපු මහත්තයා අටුවා ටීකා නම්ගම් කියලා කන්නලව් කරපු ලොකු නෝට්ටු කොළය තියපු අයට දෙවියන් වැඩිපුර බලනවා කියලා. ඒත් වරද්දාගන්න එපා. එහෙම වෙන්නේ නැහැ. සල්ලි කොළේට කපුවා බැලුවට දෙවියො බලන්නෙ භක්තිය, ගෞරවය, පිරිසුදුකම දිහා. එනිසා ඔබේ පඬුර ලොකු නැති වුණාට කපු මහත්තයා විස්තර නොකිව්වට දෙවියෝ ඔබ දිහා බලනවා. ඒක ස්ථිරයි. අවශ්‍ය වෙන්නේ ඔබ ඔබේ පැත්තෙන් භක්තියෙන්, ගෞරවයෙන් දෙවියන් ඇදහීම පමණයි.
දෙවියන් සිහි කරලා පිහිට, ආරක්‍ෂාව පැතීමේදී වගේම තමන්ගෙ නම කොඩිවල ලියලා විවිධ පුදපූජා ස්ථානවල එල්ලද්දීත් තරමක් හිතාමතා කටයුතු කළොත් හොඳයි. මොකද ඒ නමේ අක්‍ෂර අසුබ නම් වැඩිපිරිසක් කියවද්දී එයින් සිදුවන්නෙ අයහපතක්. එනිසා එවැනි දේ කිරීමත්, සිතන දෙයට වඩා වෙනස් ප්‍රතිඵල ලැබීමට හේතුවක් වෙන්නත් පුළුවන්.
මේ වෙද්දි ජයටම දෙවියන්ව විකුණගෙන මුදල් උපයන කපුවෝ වැහිවැහැලා ඉන්න බවකුත් පෙනෙනවා. ඇත්තම කිව්වොත් එයින් සිද්ධ වෙන්නේ දෙවියන්ට වුණත් කිසිවකුට පිහිට නොවී ඉන්නට සිතීමයි. අනෙක දෙවියන් විකුණන අයට සිදුවෙන්නේ පසුකාලීන මහා විපත්වලට මුහුණ දීමටයි. මේ නිසා රැල්ලට දේවාලවලට නොයා ඔබට විශ්වාසයි කියලා හිතෙන ඔබට සමීප ඔබ අදහන දෙවියන් වැඩසිටින දේවාලයට හෝ එවන් පූජනීය තැනකට පමණක් යෑමට සෑම කෙනකුම වගබලා ගතයුතු කාලයක් මේක. අමතක කරන්න එපා යන්ත්‍ර-මන්ත්‍ර සහ දෙවියෝ කියන්නේ බොරුවක් නෙවෙයි. ඇත්තක්. හැබැයි වෙලාතියෙන්නේ බොරුකාරයෝ වැඩි වීමයි. එනිසා කලබල නොවී ඔබේ දෙවියන් ඔබම තෝරාගන්න. දෙවියන්ට වඳින, පුදන කොට එය හරියට කරන්න. එවිට පිහිට ආරක්‍ෂාව නිසැකවම ලැබේවි.
ජ්‍යොතිෂවේදී එස්.කේ. බණ්ඩාර











