සෙලාන් බැංකුව දිවයින පුරා ව්‍යාප්ත සිය පූර්ණ ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර (CDK) ජාලය තවදුරටත් පුළුල් කරමින් 50 වැනි යන්ත්‍රය ජා-ඇළ ශාඛා පරිශ්‍රයේදී පසුගියදා ස්ථාපනය කළේය. ඩිජිටල් පරිවර්තනය සහ අසමසම පාරිභෝගික පහසුව සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙමගින් තවදුරටත් පිළිබිඹු වේ. 2017 වසරේදී මෙරට පළමු වරට ස්වයංක්‍රීය චෙක්පත් තැන්පතු යන්ත්‍ර ජාලයක් ස්ථාපනය කිරීමේ පුරෝගාමියා වූයේ ද සෙලාන් බැංකුවයි. එතැන් සිට මෙරට ජනතාවට ස්වයංක්‍රීය මූල්‍ය සේවා රැසක් ලබා දීම සඳහා සෙලාන් බැංකුව වසර දෙකක කාලයක් තුළ එම ජාලය යන්ත්‍ර 50 ක් දක්වා පුළුල් කිරීමට සමත්ව සිටී.
පූර්ණ ස්වයංක්‍රීය (CDK) යන්ත්‍ර ජාලය පාරිභෝගික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ආයතනික පාරිභෝගිකයන් හට සෙලාන් බැංකුව හෝ වෙනත් ඕනෑම බැංකුවක් නිකුත් කරන චෙක්පත් තැන්පතු පත්‍රය පිරවීමෙන් තොරව ඕනෑම දිනයක ඕනෑම මොහොතක පහසුවෙන් තැන්පත් කිරීමේ පහසුව උදා කර ඇත. සියලුම පාරිභෝගිකයන් හට පහසුවෙන් පරිහරණය කළ හැකි ලෙස මෙම යන්ත්‍රවල උපදෙස් භාෂා ත්‍රිත්වයෙන්ම දර්ශනය කෙරේ. තැන්පතුවල උපරිම ආරක්ෂාව සහ වලංගුතාව තහවුරු කර ගැනීම සඳහා චෙක්පත් තැන්පත් කළ වහාම පාරිභෝගිකයාට මුද්‍රිත රිසිට්පතක් ද යන්ත්‍රය හරහා ලබාගත හැකිය.











