අද ටෙලිනාට්‍ය බලන්න ‘ටී.වී.’ තිබුණට තාක්‍ෂණය දියුණු නැති ඒ කාලේ අසන්නෝ ලෙස මිනිසුන් පුටු තියාගෙන රේඩියෝ එක ළඟට වටවුණේ ගුවන්විදුලි නාට්‍ය රසවිඳින්නටයි. රූප නොපෙනුණාට ඒ ගුවන්විදුලි නාට්‍ය කලාව අසීමිත ජනප්‍රියත්වයකට බඳුන්ව තිබුණා. ජනප්‍රියත්වයට පත් ඒ නාට්‍ය අතර ආනන්ද සිරිසේන නිර්මාණය කළ ‘වජිරා’ නාට්‍යයද ප්‍රමුඛයි. පාසල් යන තරුණ කෙල්ලන්, කොල්ලන් විශේෂයෙන්ම ‘වජිරා’ ළඟ පෙළගැසුණා. වසර කිහිපයකට පසුව ඒ අපූරු ගුවන්විදුලි නාටකය චිත්‍රපටයකට ගෙන එන්නට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුනිල් ආරියරත්නට ඕනෑ වුණා. ඒ ඕනෑකමට අනුව තිර පිටපත සකස් කළේද ආනන්ද සිරිසේනම තමයි. යොවුන් සිත් පෙමින් මුසපත් කළ පෙම් යුවළගේ චරිතයෙහි නිමල් ලෙස රඟපාන්න අමරසිරි කලංසූරියට ආරාධනා ලැබෙන කොට ‘වජිරා’ වෙනුවට සුනිල් ආරියරත්නගේ හිතේ තිරපිටපත ලියන්නටත් පළමුව ලැගුම් අරන් හිටියේ නදීකා ගුණසේකර නම් යොවුන් නිළියයි. ‘බොක්ස් ඔෆීස්’ වාර්තා බිඳ හෙළමින් තිරගත වූ ‘වජිරා’ ගැන තොරතුරු කතා කරන්නට ඊට අවුරුදු 40කට පසු නදීකා ගුණසේකරව හොයාගෙන අප පැමිණි අලංකාර පිළිසඳරක විනාඩි කිහිපයයි මේ ගෙවී යන්නේ.
මතකයිද නදීකා, ‘වජිරා’ චිත්‍රපටයේ තිරපිටපත අතට ලැබුණු මොහොත?
හොඳට මතකයි. ඒ හැත්තෑව දශකයේ අගභාගය. එතකොට මට වයස දහනවයක් වාගේ මං හිතන්නේ. විශ්වවිiාල අධ්‍යාපනයේ පළමු වසර, එතකොට මම කාචංනා, තනිතරුව එහෙම රඟපාලා තිබුණු කාලේ.
ප්‍රේක්‍ෂකයනට සමීප ජනප්‍රිය චරිතයකට ආරාධනා ලැබුණු එක ගැන සතුටක් දැනුණද?
අවංකවම මම ‘වජිරා ගුවන්විදුලි නාට්‍යය ගැන එතරම් දැනගෙන සිටියේ නැහැ. මම එයට සවන්දුන් බවක්වත් මට මතක නැහැ. නමුත් සුනිල් ආරියරත්න නම් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ඔහුගේ චිත්‍රපටයකට මා වැනි නවක නිළියක් තෝරා ගැනීම ගැන නම් මම දැඩි සතුටට පත්ව සිටියා. ඒ වගේම ගෝතමී එක්ක මැණික් කුරුකුලසූරියත් මේ චිත්‍රපටයේ ඉන්නවා කීවම ඒ සතුට දෙගුණ තෙගුණ වුණා. ඒ මොකද එකම කාලයක සිනමාවට ආව අපි තුන්දෙනා එක දිගට චිත්‍රපට කිහිපයකට රඟපාලයි තිබුණේ. ඒ වගේම අපි තුන්දෙනා හොඳ යාළුවෝ විදියටයි ඇසුරු කළේ.
කොහොමින් හරි මම ‘වජිරා’ චිත්‍රපටයට බොහෝ තෘප්තිමත්ව එකතු වුණා.
‘වජිරා’ ගුවන්විදුලි නාට්‍ය ගැන ඔබ දැනුවත් නැති බව සුනිල් ආරියරත්න මහතා දැන සිටියාද?
ඔවුන් මගෙන් එවැන්නක් ඇහුවෙ නැහැ. අනෙක එය ගැටලුවක් වූයේද නැහැ. එයට හේතුව ආනන්ද සිරිසේන මහතා තිර පිටපත ගැන අප සමඟ කළ අධ්‍යයනයයි. ඒ කාලේ චිත්‍රපට කරන විට තිර පිටපත ගැන නළු නිළියනට ලොකු අවබෝධයක් ලබා දෙනවා. රූගත කිරීම් නිම වනතුරුම එය අපේ ඔළුවේ තියෙනවා. අනෙක තිර පිටපත ලැබෙන්නේද, චිත්‍රපටය රූගත කිරීමට මාසයක පමණ කාලයක් තියලයි. අන්න ඒ හින්දා ගුවන්විදුලියේ ‘වජිරා’ ගැන දැනුමක් තියෙනවද, නැත්ද කියන කාරණය ඒතරම් වැදගත් වූයේ නැහැ කිව්වොත් හරි. හැබැයි ආනන්ද සිරිසේන මහතාගේ සාර්ථක පැහැදිලි කිරීම සහ උපදෙස් තුළ මම වජිරාව ඔහු වෙතින් ඉතා හොඳින් දුටුබව ගැන තද විශ්වාසයක් මා තුළ එදා තිබුණා.
‘වජිරා’ ලෙස ඔබ සාර්ථක වුණේ ඒ විශ්වාසය හරහා වෙන්නැති?
බොහෝ විට එයද හේතු වන්නට ඇති. ඒ වගේම සුනිල් ආරියරත්න මහතාගේ හැසිරවීමද එයට ඉවහල් වුණා.
එය හරිම අපූරු පාසල් ප්‍රේමයක කතාපුවතක්?
අනේ ඔව්… මතක් කර කර රස විඳින්නට තරම් එය සුන්දරයි. වජිරා නිමල් ළඟට ගිහින් කොස්ස ටිකක් දෙන්න පුළුවන්ද? කියලා අහන තැන ඉඳන්ම ඇදී යන ඔවුන්ගේ ප්‍රේම කතාව හරිම සුන්දරයි. අද කාලේ පෙම් කතා වගේ නෙවෙයි. ටිකක් හිතන්න, බලන්න, අද ප්‍රයිවට් චැනල්වල යන බාල පෙම් කතා කොයිතරම් අශෝභනයිද? කිසිම සීමාවක්, තහනමක් නැති පහත් මට්ටමේ දර්ශන පවා එයට නිදහසේ ඇතුළත් කරනවා. නිමල්ගෙයි, වජිරාගෙයි, ප්‍රේමය එයට හාත්පසින්ම වෙනස්. සුවිශේෂීව එය සෙලියුලයට හෝ අඳුරු මුල්ලක සැඟවෙන ප්‍රේමයකට සීමාවූවක් නෙවෙයි. ඒ මුණගැසීම්, ඒ කතාබහ හරිම අලංකාරයි. එවකට පාසල් යන දරුවකුට පවා තමන්ගේ අම්මා, තාත්තා එක්ක ගිහින් වජිරා නරඹන්නට පුළුවන්කම තිබුණා. ඒ තරමට නිමල්ගෙයි, වජිරගෙයි ප්‍රේමය සංවරයි. ‘වජිරා’ කියන්නේ කළු – සුදු චිත්‍රපටයක්. කිසිදු බාහිර ආටෝපයක් එහි තිබුණේ නැහැ. ප්‍රේක්‍ෂකයෝ ආශා කළේ ඒ සරල බවටයි. මියුරු සංගීතය, කන්කලු දෙබස්, සිත්කලු, රූපරාමු හරහා ‘වජිරා’ ජනතා ආකර්ෂණය දිනාගත්තා.
පාසලක් තුළ රූගත කිරීම් සිදුකරන විට අපහසුතා ඇතිවුණේ නැද්ද?
සුනිල් ආරියරත්න මහතා දින යොදා ගත්තේ පාසල් නිවාඩු සමයකයි. හංවැල්ල පැත්තෙ පාසලක කළ එම රූගත කිරීම් සඳහා එම පාසලේම ළමයින් පිරිසක් විශේෂ අවසරයක් සහිතව ඒ සඳහා සහභාගි කරගත්තා.
‘දෙනෝ දාහක් ගුවන් තෙරේ ගීතයට කඳුළු සලා හඬන්නට ගත්තේ ඔවුන්ද?
ඔව්නේ… ඒක නම් හරිම සංවේදී සිදුවීමක්. සින්දුව රූගත කරන කොට නන්දා මාලිනිය එය ගයන හද කම්පා කරවන තාලයට කාටද කඳුළු නොඑන්නේ.
ගීතයට පසුබිම්ව තිබුණේ මම ගේට්ටුවට මුහුණ ඔබාගෙන සිටින දර්ශනයත්, ගීතය අවසානයේ ඔළුව උස්සලා බලන කොට මගේ කම්මුල්වලින් කඳුළු වැක්කෙරෙනවා… සීන් එක රූගත කරනවා බලන් හිටිය උසස් පෙළ කොල්ලො, කෙල්ලො ටික හොඳටම අඬනවා. සුනිල් ආරියරත්න මහත්තයා ඒ දිහා බලලා පොඩි එකෙක් වාගේ හිනා වෙන්න ගත්තා. ඇත්තටම ‘වජිරා’ රූගත කිරීම් තුළ තිබුණෙ හොඳ චමත්කාරජනක ස්වභාවයක් මට දැනුත් දැනෙනවා. ඒ ආස්වාදය.
සෝමසිරි දෙනිපිටිය ඔබේ මූණ ඉදිමෙන්න ගහපු කම්මුල්පාර මතක නැද්ද?
මොකද නැත්තේ. හොඳට මතකයි ඒක.
අද වාගේ තාක්‍ෂණය දියුණු නැති ඒ කාලේ ඩිජිටල් ටි්‍රක්ස් තිබුණේ නැහැ. කම්මුල් පාර ඇත්තටම ගහන්න ඕනෑ. අද නම් අත ළං කරල ගන්න විදිය පෙන්නනවා විතරයි.
හැබැයි අර සජීවී රූගත කිරීමෙහි හොඳ සාර්ථකත්වයක් තිබුණා. සෝමසිරි මහත්තයගේ කම්මුල් පාර විතරක් නෙවෙයි ඇක්සිඩන්ට් එක, ගෙදරින් පැනලා යන්න ඇවිදින් වජිරා බැල්කනිය හරහා ඇවිත් පනින එක. ඉස්කෝලෙට ආපු අලුත නිමල්ට, කොල්ලො වටකරගෙන ගහන එක පවා සජීවීව ඉතා තාත්ත්විකව රූගත කරන්න සුනිල් ආරියරත්නයන්ට ඕනෑ වුණා. ඔහු සෝමසිරි මහත්තයට කිව්වා, නදීකට රිදුණාට කමක් නැහැ. හොඳට රිදෙන්න කම්මුලට ගහන්න කියලා.
ඒ පහරට ඔබට කඳුළු පැන්නලු ඇස්වලින්?
ඇත්තටම ඇඬුණා. නමුත් රූගත කිරීම සාර්ථක වුණා. ඒකට ලොකු සතුටක් දැනුණා.
වැල්ලවත්තේදි කෝච්චියට යටවෙන්න ගියේ අවසාන රූගත කිරීමේදීද?
නැහැ. එය රූගත කිරීමක් නෙවෙයි. වජිරා ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වෙමින් සිටියදී තමයි ඒක වුණේ. මමයි, මැණිකුයි, ගෝතමීයි රටකජු කකා වැල්ලවත්ත රේල්පාර දිගේ යනවා. කියවිල්ල කොයිතරම්ද කියනව නම් පැත්තක හිටපු මිනිස්සු කණ්ඩායමක් කෝච්චිය, කෝච්චිය කියල කෑගහන්න ගත්තමයි අපි කෝච්චියක් එනවා කියලා දැනගත්තෙ.
වජිරා නරඹන්නට වැඩිපුර රැස්වුණේ ඉස්කෝලේ යන ළමයින්ලු?
එක පාරක් නෙවෙයි දෙපාරක්, තුන්පාරක්ම ඔවුන් එය නරඹා තිබුණා. රාගය, කාමය නැති, ඒත් සිප වැලඳගැනීමක් හෝ නැති ඒ ආධ්‍යාත්මික පාසල් ප්‍රේම කතාවට කදිම ප්‍රතිචාරයක් ලැබුණා.
කැම්පස් එකේ සිසු සිසුවියන් අතර ඉන්පස්සෙ ඔබ වජිරා නමින් ජනප්‍රිය වුණා?
කැම්පස් එකේ විතරක් නෙවෙයි, යන හැම තැනකම මට වජිරා කියා කවුරුත් ප්‍රතිචාර දැක්වූවා.
හොඳම නැඟී එන නිළි සම්මානය ගන්නට එය හේතුවක් වුණා කිව්වොත් හරිද?
හරියටම හරි. හොඳම නැඟී එන නිළිය ලෙස සම්මාන ගත්තා විතරක් නෙවෙයි ජනප්‍රියම නිළි සම්මානයට මාලිනී අක්කාට වැඩිය මට අඩුවට තිබුණේ ලකුණු කිහිපයක් පමණයි.
මුහුදු කූඩැල්ලන් ගැන කියන්නේ නැද්ද?
හානේ, මතක් කරනකොටත් අප්‍රසන්නයි. ඒ සීන් එක කළේ කල්පිටියෙ වෙරළෙයි. මමයි කලං අයියයි මුහුදු වෙරළෙ අත්අල්ලාගෙන ඉන්න කොටසක් තමයි කරන්න තිබුණේ. සීන් එක පටන් ගන්නත් කලින් මුහුදු කූඩැල්ලන් මගේ කකුල්වල එල්ලුණා. කරන්න කිසි දෙයක් තිබුණෙත් නැහැ. රූගත කිරීම අවසන් වන තුරුම ඉඳලා කෑගගහා දුව දුව කූඩැල්ලො ටික ගැලෙව්වා.
තවමත් ෆේස්බුක් මිතුරු මිතුරියෝ අතර ඔබ ‘වජිරා’ ලෙස ජනප්‍රියයි?
ඇත්තටම සතුටුයි. ඔවුන් ඉඳහිටල කමෙන්ට් කරනවා. ‘නදීකා, වජිරාට අපි ප්‍රේම කරපු තරම ඔයාවත් තවම දන්නේ නැහැ’ කියලා. ඒ වචන මට සතුටක්, ලොකු අගයක්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











