කොහොමද මේ ෆොටෝ එක? හරිම ලස්සනයි නේද? හරිම ලස්සනයි කියන වචනෙත් එතැනට හරියන්නේ නැහැ. එහෙම නම් අපි කියමු ‘ඒක සුපිරියක්’ කියලා. ඔව් ඇත්තටම ඒ ෆොටෝ එක නම් සුපිරියක්.Sri Lanka Latest News
ඒ සුපිරියට කාරණා දෙකක් තියෙනවා. එකක් සිංහල සිනමාවේ සුපිරිම තරු තුනක් ජැන්ඩි පහට ඇඳලා ඊට මුහුණ දුන්න එක. අනෙක් කාරණය තමයි ගැහැනු ළමයි ෆිල්ම් එකේ නිමල් සතුරුසිංහයි, පද්මිණී සේනාරත්නයි එහි අහිංසක පරාජිත පෙම්වතිය වූ කුසුම් එක්ක මේ කාලෙකට පස්සේ ෆොටෝ එක කැමරාවට මුහුණ දුන්න එක.
මෙතැනදී දෙවැනි කාරණය හුඟක්ම විශේෂයි. ‘ගැහැනු ළමයි’ දොරට වැඩියේ 1978 අවුරුද්දේ. කාන්තාව මුල්කොට තැනෙන චිත්‍රපට කලාවට අත්පොත තියපු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුමිත්‍රා පීරිස් එයට ආරම්භය දුන්නේ ගැහැනු ළමයින්ගෙන්. ගම්පහ හෝලි ක්‍රොස් කොන්වන්ට් එකෙන් වසන්ති චතුරාණිව හොයාගත්ත ඈ, මඩොල් දූව ෆිල්ම් එකෙන් පස්සේ ‘ජින්නා’ විදියට නම තියාපු අජිත් ජිනදාසවයි, චණ්ඩි චරිත රඟපාලා ජනප්‍රියම තරුවක් වෙච්ච ශ්‍යාමා ආනන්දවයි ප්‍රධාන චරිතවලට තෝරාගත්තා. ‘ගැහැනු ළමයි’ කියන්නේ සිංහල සිනමාවේ ඉතා විචිත්‍රවත් සන්ධිස්ථානයක්. ජාත්‍යන්තරව පවා විචාරයට ලක්වුණු චිත්‍රපටයක්. ගැහැනු ළමයි ෆිල්ම් එක තිරගත වෙලා අවුරුදු 47ක් පහුවුණත් එහි තුන්කොන් පෙම් පලහිලව්වකට මැදිවූ කුසුම්, නිමල්, පද්මිණී තුන් කට්ටුව තවමත් එහි මතක සමරනවා. මිතුරුකම් අලුත් කරනවා.
චිත්‍රපටයේ රූගත කිරීම්වලදී සිදුවූ අමතක නොවන සොඳුරු මතකයන් පවා මේ තුන් හවුල එකතු වුණාම සමරනවා. විදේශගතව සිටියත් කතාබහ කරනවා. නිමලුයි, පද්මිණීයි දෙන්නා කතාබහ කරගෙන නිවාඩුවට ලංකාවට ආවාම කරන වැදගත්ම වැඩ අතර එකක් වෙන්නේ කුසුම්ව බලන්න එන එකයි. ඒ හමුවීම තුළ ඔවුන් අත්විඳින ආශ්වාදය සතුට අප්‍රමාණයි. අනිවාර්යයෙන් මේ වාගෙ ෆොටෝ එකකටත් සමීපව මුහුණ දීලයි සමුගන්නේ.
බලන්න එයාලා ඉන්න සතුට. සත්තකින්ම එය අපූරු හමුවීමක්.
මල්මි කෞශල්‍යා











