ඒ ජෝති කියපු ඔහුගේ තවත් ෆේමස් සින්දුවක රසය ගැන නම් නෙවෙයි. මේක වෙනමම කතාවක්. බොහෝ විට හුඟ දෙනෙක් අහලා නැති කතාවක්. එච්.ආර්. ජෝතිපාල කිව්වම අපි හැමෝම දන්නේ මියගියත් අවුරුදු තිස් ගණනක් ගියත් තවමත් ඔහු ගීත ලෝලීන් අතර ජනප්‍රිය ගායකයෙක් කියන එක විතරයිනේ. ඒක ඇත්ත. ඔහුගේ ගීත රසය හැමදාමත් අමරණීයයි. ඒ අමරණීය ගායකයා ක්‍රිකට් ක්‍රීඩාවට අසීමිතව ලොල්ව හිටපු ක්‍රිකට් පිස්සෙක් කියන කාරණය ගැන කවුරුත් වාගේ අහලා තිබුණේ නැහැ.Sri Lanka Latest News
මේ කතාවට පසුබිම් වන්නේ 1974-75 කාලය. ජෝති ඒ කාලේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ හිටපු ප්‍රබල සාමාජිකයෙක්. ඒ දවස්වල කෝල්ට්ස් ක්ලබ් එකට ජෝති නැතුවම බැරි ක්‍රීඩා ලෝලී සාමාජිකයෙක් වුණාලු. ‘සින්දු කියන’ එක තමන්ගේ ජීවිතය කරගත්ත ඔහු ඒ දවස්වල සංගීත සංදර්ශනත් මිස් කරලා තමයි මැච් බලන්න ආවා කියන්නේ. දිනන මැච්වලට චියර් කරන්න වගේම මැච් එකක් පරාද වුණාම ක්‍රීඩකයන්ව ‘මෝටිවේට්’ කරන්නත් ඔහුට තිබුණේ පුදුම දක්ෂකමක්ලු. දවස් ගානක් ග්‍රවුන්ඩ් එකේ කාලය ගෙවන ජෝති ක්‍රීඩකයන්ට කන්න බොන්න දෙන්නත් ඔහුගේ පසුම්බිය විවෘත කරපු අවස්ථා ඕනෙ තරම් තිබුණලු. මැච් එකක් දින්නම ක්ලබ් එකේ තමා සමග එකට ඉන්න යාළුවන්ට රසම රස බයිට් එක්ක බෝතල් පාටියක් දෙන එක තරම් විනෝදයක් ජොලියක් ඔහුට තවත් තිබුණෙ නැහැලු. එහෙම පාටිය ඕගනයිස් කරන ජෝති පාටියට සෙට් වෙන්න එන්නේ ලස්සන කෙල්ලන්වත් එකතු කරගෙනලු.
තවත් රසවත්ම සිදුවීමක් මෙතැනදී නොලියාම බැහැ. ශ්‍රී ලංකා ටීම් එකේ හිටපු ජනප්‍රියම ක්‍රීඩකයෙක් කසාද බැන්දෙ ජෝති කෝල්ට්ස් ක්ලබ් එකත් එක්ක සමීපව ගනුදෙනු කරන දවස්වල තමයි. ඔහු දීර්ඝ කාලයක් ටීම් එකේ කැප්ටන් වෙලා හිටපු ජනප්‍රියම දක්ෂ ක්‍රීඩකයෙක්. වෙඩින් එකට ජෝතිටත් ආරාධනා ලැබුණා. වෙඩින් එකට කලින් දවසේ ජෝති එයා ඒ දවස්වල ගමන් බිමන් ගිය බෙන්ස් කාර් එක මේ කියන ක්‍රීඩකයාට දීලා. ඒ කාලේ හැටියට තරමක මුදලකුත් දීලා. ‘හනිමුන් එක හොඳට එන්ජෝයි කරපන්. වෙහිකල් එක දෙන්න හදිසි වෙන්න ඕනෙ නැහැ හොඳේ…’ කියලා හදවතින්ම කිව්වලු. මේ සිදුවීම සම්පූර්ණයෙන්ම ඇත්තක්. ක්‍රිකට් කැප්ටන්ගෙ නම නොලිව්වේ ඒක ඒ තරම් විනයගරුක නොවන හින්දයි. මොකද කියනවා නම් ජෝති වුණත් ජීවත්ව හිටියා නම් ඔහු කළ කී දේ ගැන පාරට්ටු කියනවට කැමැති වෙන එකක් නැති හින්දයි.
සින්දුවලටත් වැඩිය ක්‍රිකට්වලට ඇලිලා හිටපු ක්‍රිකට් පිස්සෙක් වුණු ජෝති 1982 අවුරුද්දෙ ලංකාවේ මංගල ටෙස්ට් මැච් එක බලන්න සරවනමුත්තු පිට්ටනියට ආවේ ඔහු තරමටම ක්‍රිකට් පිස්සෙක් වෙච්ච තවත් ජනකාන්ත ගායකයෙක් වුණු මිල්ටන් මල්ලවාරච්චි එක්කලු. දෙන්නා ඉතින් ගෙදර යනකොට යන්නේ පදමට සූර් වෙලාලු.
මේ රසවත් කතාව නොලියා බැරි තරම් සුන්දර වෙනස් එකක් නිසයි මුහුණු පොතෙන් උපුටා ගත්තේ. පින්තූරේ ඉන්නේ ජෝතිපාල, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ෆ්‍රෙඩි සිල්වා සමග සුසිල් මුණසිංහ යන මහත්වරුයි. කට්ටිය මැච් එකක් ගහනවා. කඩුලු රකින්නේ අපේ ජෝති.
මල්මි කෞශල්‍යා











