සුළු පරිමාණ කුකුළු ගොවිපළ හිමියන්ගේ දැනුම සහ අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම පසුගියදා පියවර ගන්නා ලදී. කෘෂි කර්ම, මහවැලි, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය මගින් දියත් කර ඇති කුඩා කුකුළු ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහයෝගීතා (SAPP) වැඩසටහන සමග සම්බන්ධ වෙමින් මෙම වැඩමුළුව පැවැත්වූ අතර මේ සඳහා ඌව පළාතේ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් 60 දෙනෙක් පමණ සහභාගි වූහ.
මේ සඳහා සම්පත්දායකයින් ලෙස ක්‍රිස්බ්‍රෝ සහ බැංකුවේ නිලධාරීන් පිරිසක් එක් වූ අතර මෙම වැඩමුළුව තුළදී ගොවිපළ පවත්වාගෙන යෑමේදී ඇති වන සත්ව පාලන ගැටලු, අලෙවිකරණ ගැටලු, ණය සහ මූල්‍ය ගැටලු සඳහා සම්පත්දායකයින් විසඳුම් ලබා දෙන ලදී. මේ සඳහා සහභාගි වූ ඌව සහ නැඟෙනහිර පළාතේ කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් ඇතුළුව ගොවිපළ හිමියන් 100 දෙනෙකු මෙම වැඩසටහන සමග සම්බන්ධ වෙමින් මෙම කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහයෝගීතා (SAPP) වැඩසටහනේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටී. රජය විසින් ක්‍රියාත්මක කර ඇති මෙම (SAPP) වැඩසටහන මගින් කුකුළු ගොවිපළ හිමියන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය කරමින් ලාභදායීව ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරයි.











