• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ස්වර්ණමාලී මහා සෑයට පළිඟු මැණිකක් සොයා බුරුමයට ගිය ගමන

July 11, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ස්වර්ණමාලී මහා සෑයට පළිඟු මැණිකක් සොයා බුරුමයට ගිය ගමන
Share on WhatsAppShare on Facebook

ලෝක සත්වයාට පාපයේ දුක අවබෝධ කරවා දහම් මඟ පහදවා නිවනෙහි මඟ පෙන්වා දුන් අමාමෑණී සම්මා සම්බුදු පියාණන්ගේ පරිනිර්වාණයෙන් වසර තුන්සිය දෙකක් ගෙවී ගිය තැන ලංකා දේශයේ කිරුළ දැරූ දුටුගැමුණු මහ රජු අනුරාධපුර දක්ෂිණ දිශාවෙහි පිහිටි මහමෙවුනා උයනේ රුවන්වැලි මහ සෑය ඉදිකරවූයේ කෝටි දහසක් ධනයක් කැප කරමිනි.

උසින් අඩි 180ක් වූ මේ මහා චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 1000කි. ජනප්‍රවාදයේත් ඉතිහාසය කතාවන්හීත් සඳහන් වන ආකාරයට ස්වර්ණමාලි සෑ රදුන් ඉදිකරන්නට පිඹුරුපත් සකසන මොහොතේ එම පින් බිමෙහි පිහිටි රන්තෙලඹු ගසක සිය විමානය සාදවාගෙන රුක් දේවතාවියක් වැඩ වාසය කර තිබේ. චෛත්‍යයක් ඉදිකරන්නට සිය විමානය පිහිටි වෘක්ෂය ඉවත් කරන්නට යනවාය කියන ආරංචිය ලද දේවතාවිය රහතන් වහන්සේලා මුණගැසී සිය විමානය පිහිටි රන් තෙලඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා ඇත. එවිට රහතන් වහන්සේලා මැදිහත්ව එම දේවතාවියට චෛත්‍යයක් සෑදීමේ ආනිශංස පහදා දී වෙනත් විමානයක් තනවා ගන්නට සුදුසු වෘක්ෂයක් පෙන්වා දී ඇත. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීමෙන් සිත පහදවාගත් දේවතාවිය රන්තෙලඹු ගසින් ඉවත්ව වෙනත් වෘක්ෂයකට ගොස් ඇත්තේ ඉන් පසුවය. එසේ යන්නට ප්‍රථම ඇයගේ එකම ඉල්ලීම වී ඇත්තේ ඉදිකරන්නට යෙදෙන ඒ මහා සෑය තමාගේ නමින් නම් කරන ලෙසටයි. ඇගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලි යන නාමය සහිතව මහා ස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු මහරජතුමාට දැනුම්දී තිබේ. ඊට සිත සතුටින් එකඟ වූ රජු මහා සෑය එනමින්ම නම් කරමු යැයි එකඟව ඉදිකිරීමේ කටයුතු ඇරඹූ බවත් ජනප්‍රවාදයන්හි කියැවෙයි.

එලෙස දුටුගැමුණු මහරජ වැඩ ආරම්භ කොට සද්ධාතිස්ස කුමරුන් අතින් වැඩ නිමවූ රුවන්වැලි මහා සෑය එතැන් පටන් ඒ ඒ යුගයන්හි රාජත්වයට පත් රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය වෙමින් පැමිණියද පසුකාලීනව අනුරාධපුර ප්‍රදේශය ජනශූන්‍ය වී පැවැතීමත් සමඟින් රුවන්වැලි සෑ රජුන්ද නටබුන් තත්ත්වයට පත්ව ඇත. එවකට චෛත්‍ය මත මහා ගස්වැල් වැඩී සමතලා බිම මත පිහිටි උස් කන්දක් ලෙසින් දිස්විය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ එලෙස පැවැතියද පසු කලෙක පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක එහි වැඩම කළහ. ඒ නාරන්ඕවිට සුමනසාර තෙරුන් වහන්සේය. උන් වහන්සේ මේ මහා වනය මැද පිහිටි චෛත්‍ය හෙළි පෙහෙළි කරන්නට මුල් පියවර තැබූහ. එසේ කාලාන්තරයක් මුළුල්ලේ කළ එළි පෙහෙළිවලින් පසුව 1884දී පමණ චෛත්‍ය බඳවන්නට පටන් ගත්තද උන්වහන්සේට එය අවසන් කරන්නට ලැබුණේ නැත. එලෙස කාලයක් මුළුල්ලේ උන්වහන්සේ විසින් බැන්දවූ බැම්ම ශක්තිමත්භාවය ගිලිහී 1912 දී බිඳී ගියේය.

එහෙත් මේ මහා සෑයේ අනුහස නිසාම එම වසරේම ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරි වෙද රාළහාමිගේ මූලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවා සමිතියේ මැදිහත් වීමෙන් චෛත්‍ය බඳවන්නට පටන් ගත්තේය. එහිදී දක්ෂ ඉන්ජිනේරු මහතුන්ගේ සහාය ලබාගන්නට සමිතිය ක්‍රියා කළේ පෙර වතාවේ මෙන් නොබිඳි ශක්තිමත්ව චෛත්‍ය බැඳවීමේ ප්‍රමුඛ අදිටනින් යුතුවය. බැඳීමේ කටයුතු වේගයෙන් සිදුවී ඇති අතර එම කටයුතු අවසන් වෙත්ම චෛත්‍යයට පැලඳවීමට ලෝහමය කොතක්ද නිර්මාණය කරවා තිබේ. එය බරින් ටොන් හයකට ආසන්න එකක් වූ බවද සඳහන්වේ. එහෙත් කොත් කැරැල්ලේ අවසන පැලඳවීමට චූඩා මාණික්‍යයක් සොයා ගැනීම එදවස මහත් දුෂ්කර කාර්යයක් වී ඇත. අවසානයේ විවිධ පුවත්පත්වල දැන්වීම් දමමින් ප්‍රචාරය කරමින් මහත් පරිශ්‍රමයක් දරන්නට සමිතියට සිදුවී තිබේ. කොතරම් වෙහෙස වුවද වසර ගණනක් ගතවුවද චෛත්‍යයට ගැළපෙන පළිඟු මැණිකක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

අවසානයේ මේ ආරංචිය කොළඹ දෙමටගොඩ මහා මකුටාරාමාධිපති ගරු ශ්‍රී විනයාලංකාර බුරුම නායක ස්වාමීන් වහන්සේ වෙත රැගෙන යන්නට සමිතියට සිදුවිය. උන්වහන්සේ මේ කාලයේ දළදා මාලිගාවේ කටයුතු මෙහෙයවමින් මහනුවර වැඩ වාසය කර තිබේ. කෙසේ නමුත් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකට චූඩා මාණික්‍යයක් සොයා සපයා දීම දළදා මාලිගයේ ඉදිකිරීම් මෙන්ම අගනේ යැයි සිතා ටික කලකට මාලිගයේ කටයුතු වෙනත් හිමිනමකට පවරා 1933 මැයි මාසයේ 17 දින කොළඹ වරායෙන් නැව් නැඟ ඇත්තේ බුරුමයේ රැන්ගුන් නගරයට යෑමේ අදහස පෙරදැරිවය.

දින කිහිපයක් රැන්ගුන් නුවර පුරා සංචාරය කරමින් දන්නා කියන මහා තෙරුන් වහන්සේලාගෙන් සහ රටතොට ගැන අවබෝධය ඇති පුද්ගලයින්ගෙන් චූඩා මැණික්‍යය ගැන පුවත අසමින් යම් හෝඩුවාවක් හෙව්වද ඊට සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නැත. අවසානයේ රැන්ගුන් නුවරින් තම අදහස ඉෂ්ට සිද්ධ නොවන බව වටහාගත් උන්වහන්සේ අමරපුරය නම් වූ උඩබුරුමයෙහි මැණික් සඳහාම ප්‍රසිද්ධ මෝගොක් නගරයට වැඩම කර ඇත. මෝගොක් නගරය යනු මැණික් ආකර සහිත මැණික් ව්‍යාපාරිකයන් නිර්මාණකරුවන් ඇතුළු මැණික් සඳහාම සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්ද්‍රස්ථානයකි. එනිසාම නායක හිමියන් එහි සිටින මැණික් සම්බන්ධ ප්‍රවීණයන්ට තමා පැමිණි කාරණාව පිළිබඳව දැන්වීය. ඒ අනුව ඔවුන් හිමියන්ගේ තොරතුරු විමසා චූඩා මාණික්‍යයට අදාළ ගණන් මිනුම්වලට තමන් සතු මැණික්වල ප්‍රමාණ සසඳා බලා ඇත්තේ ඉතා උනන්දුවෙන් සහ ඕනෑකමිනි. පසුව චූඩා මාණික්‍යයට සරිලන මැණිකක් සොයා දීමට වෙළෙන්දන් කටයුතු කර ඇත. එකල එහි වටිනාකම රුපියල් 6000ක් බවත් පැවැසේ. මෝගොක් මැණික් ආකාරවලින් සොයාගත් එම මැණික ඉතා අලංකාර දීප්තිමත් පළිඟුවක් වීමෙන් හිමියන් ඉතා සතුටට පත්ව ඇත.

ඉමහත් සතුටට පත් බුරුම හිමියන් 1938 අගෝස්තු මාසයේ ආපසු ලංකාවට එන්නේ එම මැණිකත් රැගෙනය. රුවන්වැලි චෛත්‍ය වර්ධන සමිතියේ නියෝජිත මහතුන්ට එම මැණික දැකීමම ඉමහත් සතුටට කාරණයක් වූයෙන් ඔවුන් හිමියන්ට අනේක වාරයක් ස්තුති කොට තිබේ.

එහෙත් සමිතියේ මහත්වරුන්ට යළිත් අපහසුතාවයට පත්වන්නට සිදුවූයේ මැණික කැප්පවීමට සුදුසු ශිල්පියකු සොයන්නට පටන්ගත් පසුවය. ඊට හේතු වූයේ කුඩා මැණික් ගල් මිස විශාල ගල් කපා සැකසිය හැකි යන්ත්‍ර සූත්‍ර හෝ ශිල්පීන් ලංකාවේ නොමැති වීමයි. අවසානයේ එම ප්‍රශ්නයත් රැගෙන ඔවුන්ට යන්නට සිදුවූයේ බුරුම හිමියන් හමුවටමය.

එලෙස බුරුම නායක හිමියන් හමුවූ ඔවුහු එම පළිඟුව බුරුම බෞද්ධයන් වෙනුවෙන් කප්පවා පරිත්‍යාග කරන්නට කැමැත්තක් වේනම් එය භාරගන්නට සමිතිය සූදානම් බව පවසා පළිඟුවේ සියලුම වගකීම් උන්වහන්සේටම පැවරීමට කටයුතු කළහ. උන්වහන්සේ එම ආරාධනාව සතුටින් පිළිගෙන සමිතිය මඟින් පිළියෙල කළ චූඩා මාණික්‍යයත්, සැලැස්මත් රැගෙන යළි බුරුමයට ගොස් මොගොන් නුවර මැණික් සැකසුම් ශිල්පීන්ටම එය භාරදීමට කටයුතු කර ඇත්තේ සතුටු සිතිනි.

එහෙත් යළිත් ප්‍රශ්නයක් ඇතිවූයේ මැණික චූඩා මාණික්‍යයට සුදුසු සැලැස්මට කප්පවාගෙන යද්දීය. එහි එක් පසකින් කුඩා අඩුවක් තිබීම හේතුවෙන් එය ගැනීමට නොහැකි විය. අවසානයේ මාස ගණනක් පුරා සිදුකළ කටයුත්ත නිෂ්ඵල විය. එහෙත් බුරුම නායක හිමියන් එයින් පසුනොබැස ඊට සරිලන තවත් මාණික්‍යයක් සොයන්නට වූහ. අවසානයේ ඊට සරිලන පළිඟුවක් සොයා දෙන්නට එරට මැණික් ව්‍යාපාරික මහතුන් කටයුතු කර ඇත. එහි වටිනාකම රුපියල් 8000ක් බවද පැවසෙයි. මෝගොක් ආකරවලින් එතරම් විශාල පළිඟුවක් ලැබුණු ප්‍රථම වතාව එය බවත් වාර්තා වෙයි. එය ආශ්චර්යක් යැයි සිතමින් එරට බෞද්ධ බැතිමතුන් මහත් සතුටට පත්ව තිබේ. අවසානයේ එරට මැණික් නිර්මාණ ශිල්පීන් මෙරට ඉන්ජිනේරු මහතුන් විසින් සකසා තිබූ සැලැස්මට අනුව පළිඟුව කපා චූඩා මාණික්‍යය සකසා දීමට කටයුතු කර ඇත. එහි උස අඟල් 18කුත් වට ප්‍රමාණය අඟල් 26කුත්, බර රාත්තල් 66කුත් බවට පැවසෙයි.

පළිඟුව කපා අවසන් කරගත් පසු ඉතා සතුටට පත් බුරුම නායක හිමියන්ට චූඩා මාණික්‍යය රන් ආධාරකයක පිහිටුවා එහි මුදුනත ධාතු කරඬුවක්ද පිහිටුවා මාණික්‍යය සරසන්නට සිතක් පහළ වී තිබේ. ඒ ගැන බුරුම බෞද්ධයන්ට දැක්වූ උන්වහන්සේට ඉතා සතුටුදායක පිළිතුරු ලැබී තිබිණි. රන්, රිදී, මුතු, මැණික්, මුදල් පරිත්‍යාග සඳහා බොහෝ පිරිසක් ඉදිරිපත්ව තිබිණි. අවසානයේ එම කටයුත්ත මෝගොක් නුවර බෞද්ධයකුට බාරදීමට හිමියන් කටයුතු කර තිබේ. ඉමහත් සතුටට පත්වූ ඒ මහතා කිසිවකුගෙන් ආධාර උපකාර නොලැබුණද තමා තනිවම හෝ එම කටයුත්ත කරදෙමියි පොරොන්දුවක්ද දෙමින් එතැන් පටන් සිය නිවසටම අවශ්‍ය ද්‍රව්‍ය භාණ්ඩ, රන්, රිදී ආදී සියල්ල සමඟ සැකසුම් ශිල්පීන්ද ගෙන්නවා කටයුතු අරඹා ඇත. අවසානයේ රිදියෙන් වාත්තු කොට රත්තරින් සියල්ල වසා මැණික් ඇල්ලූ අඩියක චූඩා මැණික්‍යය සවිකොට මුදුනේ ස්වර්ණමය ධාතු කරඬුවක් සකසා මැණික් ඇල්ලවූ ආවරණයකින් එය වසා සතර දිශාවට මැණික් වැල් එල්ලා සියලු කටයුතු නිමවන්නට නව මසක් ගතවී තිබිණි.

චූඩා මාණික්‍යය පිහිටවූ අඩියේ උස අඟල් 13කි. බර රාත්තල් 156කි. එය වසා පෙරවීමට රත්තරන් රාත්තල් 12ක් වැයවී ඇත. එහි ඉතිරි බර රාත්තල් 144 රිදීය. මේ කටයුත්ත සඳහා ලැබුණු මැණික් ගල් ප්‍රමාණය 7684කි. ඒවා අතර එකල වටිනාකම රුපියල් 15,000 පමණ වූ ලෝහිතංක මාණික්‍යයක්ද තිබී ඇත. මැණික් සියල්ල චූඩා මාණික්‍යයට ඇල්විය නොහැකි වූ බැවින් තෝරාගත් වටිනා මැණික් 4350කින් චූඩා මාණික්‍යය අලංකාර කර ඇත. අඩිය සහිත චූඩා මාණික්‍යයේ උස අඟල් 31කි.

අවසානයේ චූඩා මාණික්‍යයේ මුදුනත පිහිටි ස්වර්ණමය කරඬුවේ වඩා හිඳුවනු පිණිස බුරුම නායක හිමියන් සොයා සපයා ගත් ධාතුන් වහන්සේලා 9 නමක් කුඩා බඳුනක තැන්පත් කර තිබී ඇත. ධාතු කරඬුව සවිකරන දිනයෙහි හිමියන් ධාතුන් වහන්සේලා වැඩසිටි කුඩා බඳුන චූඩා මාණික්‍යය අසලට රැගෙන ගියද එදින කටයුතු අවසන් කරන්නට නොහැකි වීමෙන් ධාතුන් වහන්සේලා වැඩසිටි බඳුන එම ස්ථානයේ ආරක්ෂිතව තබා යන්නට කටයුතු කර තිබේ. එහෙත් පසු දින ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට පැමිණි මොහොතේ පිරිස මහත් විමතියට පත්ව ඇත්තේ සිදුව ඇති ආශ්චර්යය දැකීමෙනි. එනම් 9 නමක් වැඩසිටි බඳුනෙහි ධාතුන් වහන්සේලා 98 නමක් වැඩ සිට තිබේ. අවසානයේ පිරිසගේ සාදු නාද මධ්‍යයේ බුරුම නායක හිමියන් එම ධාතුන් වහන්සේලා කරඬුව මත වඩා හිඳුවා ඇත්තේ ඉමහත් ගෞරව බහුමානයෙන් යුතුවය.

කටයුතු අවසන් කළ චූඩා මාණික්‍යය ලංකාවට වැඩමවනු පිණිස මෝගොක් නුවර සිට විශේෂ දුම්රියකින් මහත්වූ උත්සවශ්‍රීයෙන් යුතුව බුරුමයේ රැන්ගුන් නගරයට වඩම්මවා ඇත. ඒ එන මඟතොට දහස් ගණන් රැස්ව සිටි බවද ඔවුහු සාදුනාද දෙමින් ගෞරව දැක්වූ බවද පැවැසේ. රැන්ගුන් නුවරදී එය බාරගෙන ඇත්තේ ස්වේතගොන් චෛත්‍යය භාරකාර මණ්ඩලය මඟිනි. එම උත්සවයට රැන්ගුන් නුවර නායක තෙරුන් වහන්සේලා ඇතුළු භික්ෂුන් වහන්සේලාද රජයේ උසස් ඇමැතිවරුන් සහ උසස් නිලධාරීන්ද නොයෙක් සමිති සමාගම්හි නියෝජිතයන්ද, ජනප්‍රධානීන්ද, මහා ධනවතුන්ද සමඟ ලක්ෂයකට අධික මහා ජනතාවක් රැස්ව සිට ඇත.
දුම්රියපොළේ සිට විශේෂයෙන් පිළියෙල කළ රථයක තබා චූඩා මාණික්‍යය ලක්ෂ සංඛ්‍යාත ජනයාගෙන් සමන්විත පෙරහරකින් රැන්ගුන් නුවර ශ්වේතගොන් චෛත්‍යයට පමුණුවා එහිදී මහජනයාට ප්‍රදර්ශනය කරන ලදුව එය ලංකාවට එවීමට සුදුසු කාලය එළැඹෙනතුරු ස්වේතගොන් චෛත්‍ය අසල ආරක්ෂිත කුටියක තැන්පත් කර තැබීමට එම චෛත්‍ය භාරකාර මණ්ඩලය කටයුතු කර ඇත. ඉන් පසුව එය එරට ආණ්ඩුකාරතුමන් හරහා ලංකාවට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් භාරදීමටත් සියල්ල සූදානම් කර දීමට එම නිළධාරීන් මහත් උනන්දුවෙන් යුතුව කටයුතු කර ඇත.

ඒ අනුව මෙරටට වැඩමවන ලද ඒ අලංකාරවත් වූ චූඩා මාණික්‍යය රුවන්වැලි වර්ධන සමිතියේ ආරාධනාව මත බුරුම ජාතික විනයාලංකාර හිමිපාණන් විසින්ම රුවන්වැලි මහා සෑයේ පැලඳවීමට කටයුතු කර ඇත.

එතැන් පටන් මහා ජන සමූහයකගේ සාධුනාද විඳිමින් කාලාන්තරයක් රුවන්මැලි සෑරදුන් ආරක්ෂා කරන්නටත් අලංකාර කරන්නටත් ඒ මහා චූඩා මාණික්‍යය දායකත්වය ලබාදී ඇත. ඉන් ඉක්බිති වසර ගණනාවකට පසුව නව චූඩා මාණික්‍යයට ඉඩහසර ලබාදෙමින් එම චූඩා මාණික්‍යය සිය රාජකාරිය මේ වන විට නිමවා අවසන්ය. අද චෛත්‍ය රාජයාණන්ට පලඳවා ඇත්තේ ඕස්ටේ්‍රලියානු සමාගමකින් ලබාගත් ඉතා වටිනා දුර්ලභ පළිඟුවකින් සකසන ලද චූඩා මැණික්‍යයෙකිනි. එය නිර්මාණයද ඕස්ටේ්‍රලියානු සමාගමකිනි. පිරිසිදු රත්තරන් කිලෝග්‍රෑම් 28කුත් නිල් මැණික් සහ රතු මැණික් 4300කුත් නව චූඩා මාණික්‍යය අලංකාර කටයුතු සඳහා යොදාගෙන ඇත.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

කාලි වෙලා ඉන්දියාවට පිම්මක් පැන්න මීනා කුමාරි

Next Post

වැදි පුතුන් බුදු පුතුන් කළ කවුද මේ පොට්ටනි හාමුදුරුවෝ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.