පාහියංගල ලෙන යනු මේ දිනවල අපේ රටේ වැඩි වශයෙන් කියවෙන වචනයකි. මිනිසුන් මිනිසුන් අතර මෙන්ම ජනමාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍ය තුළද පාහියංගල ලෙන යන වචනයට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබේ. පාහියංගල ලෙන යනු අපේ රටේ ඇති ඓතිහාසික ස්ථානයකි. ඒ අපේ පරම්පරාවේ මුල එතැන ඇති බවට අද වෙනතුරුම අපි විශ්වාස කළ නිසාය. ඉතින් එම විශ්වාසය අද සැබෑවක්ම කරමින් පසුගියදා පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගුහාවෙන් වසර 48,000ට පමණ පෙර දින නිර්ණය කර ඇති පස් ස්ථරයකින් ශ්‍රී ලංකාවේ ආදි මානවයන් භාවිත කරන ලද දුනු ඊතල තාක්ෂණයට අදාළ වන සාක්ෂි හමුවිය. එමෙන්ම එය ආදි මානවයාගේ දුනු හා ඊතල භාවිතය පිළිබඳ අප්‍රිකාවෙන් පිටත හමුවූ ඉපැරණිම සාක්ෂිය වශයෙන්ද සැලකීම විශේෂත්වයකි. ඒත් සමඟින් ඒ පුවත පසුගිය සතියේ දෙස් විදෙස් අවධානය දිනාගත් පුවත විය.
පාහියංගල ප්‍රාග් ඓතිහාසික ගුහාව තුළින් වසර 48,000ට පෙර දින නීර්ණය කර ඇති පස් ස්ථරයකින් ශ්‍රී ලංකාවේ ආදි මානවයන් භාවිත කරන ලද දුනු, ඊතල තාක්ෂණයට අදාළ සාක්ෂි හමුවීම අපට මෙන්ම අපේ රටටද ඉතා වැදගත් පුවතකි. එමෙන්ම එය ආදි මානවයාගේ දුනු හා ඊතල භාවිතය පිළිබඳ අප්‍රිකාවෙන් පිටත හමුවූ පැරණිම සාක්ෂිය වශයෙන්ද සැලකීම ඊටත් වඩා වැදගත් පුවතකි. ශ්‍රී ලංකාවේ සදාහරිත තෙත් කලාපීය වනාන්තර ප්‍රදේශයක් ලෙස හැඳින්වෙන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල යටිගම්පිටිය ග්‍රාමයේ පිහිටි පාහියංගල ලෙනින් හමුවූ මෙකී සාධක අතර ශිලා පතුරුවලින් තැනූ ඉතා කුඩා ජ්‍යාමිතික මෙවලම් මෙන්ම සතුන්ගේ අස්ථිවලින් සහ දත්වලින් කළ මෙවලම් හා සතුන්ගේ අස්ථිවලින් සැකසූ කුඩා ඊතල තුඩුද හමුවිය. පසුගිය දිනෙක මෙම පර්යේෂණ ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිටි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ නවීන මානවයාගේ ජනාවාසකරණය අදින් පුරා වසර 48,000කට ආසන්න කාලයක් දක්වා ඈතට විහිදෙන බව තහවුරු විය.
ප්‍රාග් ඓතිහාසික මානවයාගේ මූලික ආහාරය සතුන්ගේ මස්ය. ඔවුන් මුල් කාලයේ ගලකින් ගසමින් හෝ හෙල්ලයකින් විද යම් සතෙකු දඩයම් කරන්නට ඇත. පසුව ඔවුන් විසින්ම කාලයත් සමඟ දුනු හී යන තාක්ෂණය සොයාගත් බව පැහැදිලිය. ඒත් සමඟින් ප්‍රාග් ඓතිහාසික මානවයාට ඉතා පහසුවෙන් දඩයම් කිරීමට හැකිවිය. එහි ප්‍රතිඵල ලෙස මානවයා වනයේ සිටින ගෝනුන් මුවන් සහ ඌරන්, ඉත්තෑවන් මෙන්ම ගස්වල ජීවත්වෙන රිළවුන්, වඳුරන් සහ අහසේ පියඹා යන පක්ෂීන් ආදිය ඔවුන්ගේ සෘජු දඩයම් විය. එයින් නොනැවතී දුනු හී භාවිතයට හුරු වූ පසුව මානවයින් එතෙක් නොමැරූ විශාල සත්වයින් පවා දුර ඈත සිට දඩයම් කිරීමට සමත්කම් දැක්වූ බව පැහැදිලිය. දැනට දුනු, හී භාවිතය පිළිබඳ ඇති ඉපැරණිම සාධක දකුණු අප්‍රිකාවේ සිබුදු ගුහාවෙන් සොයාගෙන ඇති අතර එම කාලවකවානුව අදින් වසර 64,000කි. එමෙන්ම දැනට අප්‍රිකාවෙන් පිටත දුනු හී භාවිතා කළ බවට පැරණිම සාක්ෂි වශයෙන් සලකනු ලැබුවේ අදින් වසර 18,000කට වඩා පැරණි නොවන ජර්මනියේ ස්ටෙල්මුවර් නම් ස්ථානයෙන් සොයාගෙන තිබූ සාධකය. නමුත් මෙවර පාහියංගල ලෙනෙන් සොයාගත් කරුණුවලට අනුව දැන් ශ්‍රී ලාංකීය නාමයද ලෝකයේ ඉහළටම පැමිණ තිබේ.
පාහියංගල ගුහාවෙන් සොයාගත් අස්ථි මෙවලම් ආදිය මඟින් තහවුරු කෙරෙන දේවල් ගණනාවකි. ඒ හරහා එම අස්ථි මෙවලම් කුඩා හී දඬුවලට සවිකර ඉතා වේගයකින් ගොදුර වෙත විදීමට හැකිවන පරිදි තනා ඇති බව විශ්වාසයයි.
එමෙන්ම මේ පාහියංගල ලෙන තුළින් හමුවූ දේවල් තුළින් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජීවන රටාව පිළිබඳවද ඉතා වැදගත් වූ කරුණු හෙළිවෙයි. ඒ හරහා විශේෂයෙන්ම මානවයා ගෙවූ ජීවිත කතාව මනාව පැහැදිලි වෙයි. මේ අතර පාහියංගල අවට පරිසරය ගැනද මෙහිදී යමක් කිව යුතුය. මන්ද ඒ හරහාද පාහියංගල ඉපැරණි බව ගැන සිතාගත හැකිය. පහතරට නිවර්තන තෙත් කලාපීය වනාන්තර ගණයට අයත් භූමියක ඇති පාහියංගලට දකුණු දෙසින් ඇත්තේ සිංහරාජ වනයයි. ඊසාන දෙසින් මාකෙළි වනයයි. දිවයිනේ තෙත් කලාපයේ පිහිටි මේ ලෙන අවට ප්‍රදේශය වෙත වර්ෂාපතනය නිරිත දිග මෝසම් වැසි මඟින් ලැබෙයි. පාහියංගල ගුහාව අවට වනයේ වෘක්ෂලතා විශේෂ සහ ජලජ පැළෑටි විශේෂ බොහෝමයක් හඳුනාගෙන ඇති අතර සත්ව විශේෂ කීපයක්ද හඳුනාගෙන ඇත. ඉතින් මෙතැන් සිට අපේ කතාව නමින් පමණක් ඔබ දන්න පාහියංගල ලෙනේ නොදන්නා ඓතිහාසික කතාව ගැනය.
පාහියංගල ලෙන දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ස්වභාවික ගල් ලෙනකි. එය සොබාදහමේ මනස්කාන්ත නිර්මාණයක් ලෙස පැවසීමේ වරදක්ද නැත. ඊට හේතුව මුලින් කී ලෙස එය වටා තිබෙන ස්වාභාවික පරිසරයයි. ඓතිහාසික වටිනාකමින් පොහොසත් පාහියංගලට එම ස්වාභාවික පරිසරය ගෙන එන්නේ අමුතුම චමත්කාරයක් බව එහි යන ඕනෑම අයෙකුට සිතෙන දෙයකි. පාහියංගල ලෙනෙහි පිහිටීම ගත්කල එය බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පස්යොදුන් සහ කුකුළු යන දෙකෝරළ මායිමේ පිහිටා ඇත. එය සැබෑවටම ඇස් පිනායන සොබාදහම් මෑණියන්ගේ අපූර්ව නිර්මාණයකි. කොළඹ සිට කළුතර ඔස්සේ දිවෙන මාර්ගයේ සැතපුම් පනහක්ද කොළඹ සිට කැස්බෑව ඔස්සේ හොරණ කලවැල්ලාව මාර්ගයේ සැතපුම් හතළිහක්ද ගිය පසුව පාහියංගල ලෙනට පහසුවෙන් යා හැකිය. සැබෑවටම අපේ අතීතය දෙස බැලීමට නම් කියවන ඔබ ජීවිතයේ එක්වරක් හෝ මෙම පාහියංගල ලෙන වෙත යා යුතුමය.
පාහියංගල ලෙන තිබෙන්නේ මුහුදු මට්ටමින් අඩි 400ක් පමණ උසකිනි. ලෙන අසලට යෑමට නම් ගල්පඩි 496ක් නැගිය යුතුය. පාහියංගල ලෙනේ උස අඩි 468ක් වන විට එහි ලෙන් කට පමණක් අඩි 150ක් පමණ උසින් සහ අඩි 175ක් පමණ පළලින් යුතුය. එමෙන්ම එහි හැඩය බැලූ බැල්මට අර්ධ කවාකාරය. ලෙනේ මුළු දිග අඩි 282ක් වෙන අතර පළල අඩි 160ක් පමණ වෙයි. එය ශ්‍රී ලංකාවේ අති විශාල ගල්ලෙන ලෙස ප්‍රකට දඹුලු ලෙනේ පළල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මෙම ගල්ලෙනට අයත් නොතෙමී සිටිය හැකි මුළු භූමි ප්‍රදේශය තුළ පුද්ගලයින් තුන්දහසකට පමණ ඉඩකඩ ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අනුව එතරම් පිරිසකට එක්වර සිටිය හැකි ශ්‍රී ලංකාවේ දැනට පවත්නා විශාලතම ගල්ලෙන මෙය බව විශ්වාස කළ හැකිය. පාහියංගල ලෙන් විහාරයේ ගල්ලෙන දකුණු පසට වෙන්නට කුඩා විහාරයකි. එහි මහනුවර යුගයට අයත් සිතුවම් හා මූර්ති දක්නට ලැබෙයි. මුචලින්ද නාග දරණය මත වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම සැරියුත් මුගලන් දෙනමගේ සහ විෂ්ණු, සමන් යන දේව රූප එහිදී දකින්නට ලැබෙයි. ඊට ඇතුළු වෙන ස්ථානයේ දොරටුව දෙපස අසිපතක් අත රැගත් දොරටුපාල රූප දෙකක් චිත්‍රයට නගා ඇති අතර දකුණුපස දොරටුපාල රූපය අසල සක් පිඹින අයෙකුගේ සිතුවමක්ද දක්නට ලැබෙයි. තවද විහාරගෙයි ඇතුළත බිත්ති මත නෙළුම් මල් හා ලියතඹරා මල්ද සිතුවම් කර තිබේ. ඒ සියල්ල අදටත් දැකගැනීමට හැකිවීම සැබෑ ලෙසම අප ලැබූ ආශ්චර්යයකි.
මෙම සුවිශාල ලෙන් පර්වතය සඳහා පාහියංගල යන නම ලැබුණේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒත් ඒ සඳහා ජනප්‍රවාද කීපයක් තිබේ. එකල ක්‍රි.ව. 5 වන සියවසේ මුල් භාගයේ පමණ අනුරාධපුර රාජධානියේ රජකම් කළ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව මෙම ලෙනේ වැඩ වාසය කර ඇති බවත් එම නිසා ලෙනට “පාහියංගල” යන නාමය ලැබුණු බවත් සඳහන්ය. පාහියන් භික්ෂුව යනු සුප්‍රකට දේශ සංචාරකයෙකු මෙන්ම ධර්ම ගවේෂකයෙකු වූ චීන ජාතික භික්ෂුවකි.කෙසේ වුවද පාහියන් භික්ෂුව මෙම ලෙනේ වැඩ වාසය කළ බවට සාක්ෂි අල්පය. ඒ නමුත් ක්‍රි.ව. 1940 දී පමණ ලංකාවට පැමිණි චීනයේ තායිෂූ සංඝරාජතුමා දිවයිනේ ගතකළ කාලය තුළදී සිය ජාතික ඉතිහාසයට ආලෝකයක් ගෙන දුන් මෙම පාහියන් නාමයට ගරුකරනු පිණිස මෙම ලෙන වෙත පැමිණි බව සඳහන්ය. ඒ නිසා පාහියන් භික්ෂුව සහ පාහියංගල ලෙන අතර යම් සම්බන්ධයක් ඇති බවට අදටත් අපේ ඉතිහාසයේ එන ප්‍රසිද්ධ රහසකි.
පාහියංගල ලෙනේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ආරම්භ කළේ වර්ෂ 1986 දී පමණය. ඒ අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟිනි. එදා පර්යේෂණ කෙරුණේ ශ්‍රී ලංකාවේ ආදිවාසීන් පිළිබඳ තොරතුරු සොයන්නටය. එහෙත් එහිදී ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂයන් හමුවිය. එය නැරඹීමට පාහියංගලට ඇමෙරිකාවේ කෝනර් විශ්වවිද්‍යාලයේ සිටි මානව විද්‍යා මහාචාර්ය කෙනත් කෙනඩි මහතාද පැමිණි බව සඳහන්ය. එසේ හමුවූ මානව අවශේෂ එදා අවුරුදු 37,000ක් තරම් පැරණි බව කාබන් 14 නැමති විද්‍යාත්මක කාල වාර්තා ක්‍රමය අනුව සොයා ගැනුණි. ඒ අනුව එදා ආසියාවේ ජීවත්වන නූතන මිනිසාගේ ඉපැරණි මිනිසා කුරුවිට බටදොඹ ලෙනෙන් සොයාගත් බලංගොඩ මානවයා නොව පාහියංගල මානවයා බව තහවුරු විය. සැබෑවටම අවුරුදු දස දහස් ගණනක් පැරණි ඝන දූවිලි තට්ටුවකින් වැසී ඇති මෙම පුරාවිද්‍යා බිමේ ප්‍රාග් ඓතිහාසික පිහිටි බිම දැනට පිහිටා ඇත්තේ මහා පොළොව මට්ටමෙන් මීටර් 16ක් පමණ පහළින් බව සොයාගෙන ඇත. එයින් මෙම ගල්ලෙනේ වාසය කළ මානවයා ගල් අවි තාක්ෂණයේ දියුණුම අවි ලෙස සැලකෙන ක්ෂුද්‍ර ගල් මෙවලම් භාවිතා කර ඇති බව සොයාගෙන ඇති අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් යුතු බවද හඳුනාගෙන ඇත. තවද මෙම ලෙනේ විසූ ආදි මානවයා ගින්දර භාවිතා කළ බවට සාක්ෂි පවා දැනට සොයාගෙන තිබේ.
ඵෙතිහාසික පාහියංගල ලෙන භික්ෂු වාසයට යෝග්‍ය පරිදි සකස් කිරීමේදී මූලිකව ඇත්තේ පොරවගම හිමිය. උන්වහන්සේ ගුහාව අවහිර කරමින් වැටී තිබුණු ගල් කුට්ටි කඩා ඇද දමා බිම සමතලා කොට වත්මන් තත්ත්වයට ගෙන ආ අතර ගල් කැඩීම සඳහා භාවිතා කර ඇත්තේද අඩි හයක් පමණ දිග එවැනිම වූ ගල් ආයුධයක් බව පැවසෙයි. ඒ වගේම උන්වහන්සේ විසින්ම කපා ඔප දැමූ යෝධ උළුවහු දෙක අදටත් පාහියංගල ලෙන තුළ දක්නට ලැබේ. පසුව පිළිවෙළින් යේරවත්තේ සෝභිත, වෑවල ධම්මජෝති, උඩුමුල්ලේ සරණංකර, උඩුවල කන්දේ ජිනානන්ද, ජඹුරලියේ පඤ්ඤානන්ද, වෑවල ධම්මරංසි මෙන්ම කඳානේ පඤ්ඤාශේකර සහ යටගම්පිටියේ චන්දිම යන හිමිවරුන් මෙහි අධිපතිව වැඩවාසය කර තිබේ. කෙසේ හෝ පාහියංගල ලෙන ගැන දැන් යළිත් සමාජයේ විශාල කතාබහක් ඇතිව තිබේ. ඒ අනුව දැන් අපේ පරම්පරාවේ මුල තවත් ආපස්සට ගොස් පැරණි වී ඉතිහාසය අලුතින් ලියන්නට සිදුව ඇත. එය අපේ කාලයේ ඇසෙන වෙනස්ම කතාවකි.
රුවන් එස්. සෙනවිරත්න











