‘කොවිඞ්-19’ උවදුරත් සමඟ යම් පමණකට අඩාළ වී ගිය බොහෝමයක් දේ අතර ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවද ප්‍රධානය.
එලෙසම රූගත කිරීම් අතරමඟ නතර වූ නිසාවෙන් එම කාල සීමාව තුළ විකාශය වෙමින් තිබූ ටෙලි කතාද වැඩි හරියක්ම දින නියමයක් නැතිව අවසානයක් නොදැකම නතර විය.
‘කොවිඞ්-19’ උවදුර නිසා සිදුවූ යම් හොඳ දේ අතර ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්‍ෂකයනටද එක හොඳක් සිදුවිය.
ඒ ඉතාම උසස් ගණයෙහිලා ගත හැකි ගුණාත්මක පැරැණි ටෙලිනාට්‍යය නැවැත දැකගැනීමේ භාග්‍යය උදාවීමය.
‘ඇහි පිල්ලමක් යටද’ එයින් එකකි. එහි වයලීනයක් සමඟ හරිම ළබැඳියාවකින් කල් ගෙවන ‘භක්ෂි’ නම් සංගීත ගුරුවරියගේ චරිතයට ජීවය දුන්නේ හිමාලි සිරිවර්ධනය.
‘ඇහිපිල්ලමක් යට’ ගැන කෙටි සමාලෝචනයක යෙදෙන්නටත්, වසර ගණනකට පෙරාතුව නිර්මාණය වූ ඒ කදිම ටෙලියෙහි ‘වෙනස්ම රිදම්’ එක ගැන කතා කරන්නටත් හිමාලි සමඟ මොහොතකට හෝ ‘හාට්’ විශේෂාංගය වෙනුවෙන් අප නතර වූ විනාඩි ගණනක මිහිරයි මේ ඔබ හමුවේ ගෙවී යන්නේ.
කොහොමද හිමාලි ජීවිතේ?
ජීවිතේ සුන්දරයි, ගෙවල්වලට කොටුවෙලා හිටිය කාලේ හෙමින් හෙමින් ඉවරයක් වෙනවා. ආයෙමත් කලාකරුවන් ලෙස අපි වැඩ කරන්න පටන් අරගෙන… ඉතින් සතුටුයි, ඇත්තටම.
මේ දිනවල ඔබේ පැරැණි ටෙලිනාට්‍ය කිහිපයක්ම නැවැත විකාශය වෙනවා?
ඔව්… මට ඒක ලොකු සතුටක්. සතුටට හේතුව එදා ඒ ටෙලිනාට්‍ය ප්‍රචාරය වෙනකොට මට ලැබුණු ප්‍රතිචාරවලට වඩා වැඩි ප්‍රතිචාරයක් මට අද ලැබනෙ නිසයි. ‘සඳගලතැන්න,’ ‘රතු අහස’ සහ ඇහිපිල්ලමක් යට’ ටෙලිනාට්‍ය නිර්මාණයන් ප්‍රේක්‍ෂකයනට මෙතරම් සමීප වීම සිතට දැනෙන ආස්වාදයද අසීමිතයි.
‘ඇහිපිල්ලමක් යට’ මඳක් වෙනස් ආරක ටෙලි නිර්මාණයක්?
ඔව්… ප්‍රදීප් ධර්මදාස නම් අධ්‍යක්‍ෂවරයා සතු නිර්මාණ කාර්යයන් බොහෝ විට අන් චිත්‍රපට හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුනට වැඩිය වෙනස්. ඔහුගේ ‘රිදම්’ එක වෙනත් නිර්මාණ අතර යම් වෙනසක් මතුකර පෙන්වනවා.
කැමරාකරණය, සංගීතය, දෙබස් හුවමාරුව, ලොකේෂන් තෝරා ගැනීම වාගේම ඇඳුම්-පැලඳුම්ද නිර්මාණය වෙනුවෙන් ඔහු භාවිතයට ගන්නේ කලාත්මක බවක් ආරූඪ වන ආකාරයටයි.
වයලීනය සමඟ තනිවූ ‘භක්ෂි’ නම් සංගීත ගුරුවරියකද ඒ රිදම් එකේ කොටසක්?
අනිවාර්යයෙන්ම ‘භක්ෂි’ හරිම හැඟීම්බර චරිත නිරූපණයක්.
ප්‍රදීප් ධර්මදාස නම් කලාකාරයාගේ අනුදැනුම මත ‘භක්ෂි’ගේ සමීපතම හිතවතිය වයලීනය, භක්ෂි ඇගේ දුක, සතුට, උපේක්‍ෂාව සියල්ල ලෝකයට පෙන්වන්නෙ වයලීනයේ වාදනය අතරිනුයි.
භක්ෂි අඬන හැටි, සිනාසෙන හැටි වාගේම සුසුම් හෙළන ආකාරයද ප්‍රේක්‍ෂකයා දකින්නේ වයලීනයේ වාදනය තුළින් තමයි.
ඔබ ඒ වයලීනය වයන්නේ ඇත්තටමද?
අනේ ඔව්.., කවුරුත් ප්ලේ කරන වාදනයකට අත එහා මෙහා කරන්න මම කැමැති වුණේ නැහැ. ප්‍රදීප් ධර්මදාස නම් අධ්‍යක්‍ෂවරයාද කීවේ මම වයලීන වාදනය ඉගෙන ගන්නවා නම් හොඳයි කියලයි.
නැටුම් ශිල්පය ගැන හදාරා තිබුණාට වයලීනය වයන දැනුමක් මට තිබුණේ නැහැ. ගුරුවරයකු හමුවේ වයලීනය වයන ආකාරය ප්‍රගුණ කළාට පසුව තමයි මම භක්ෂි නම් සංගීත ගුරුවරිය ලෙස වයලීනය අතට ගත්තේ. සමහර විට මම එය ඇත්තටම ප්ලෙ කරන නිසාම වෙන්නැති එතරම් අපූරුවට භක්ෂිගේ හැඟීම් ප්‍රකාශනය ප්‍රේක්‍ෂකයා වෙත විකාශය වූයේ.
ඒ කියන්නේ ඔබ ‘භක්ෂි’ ගේ චරිත නිරූපණය ගැන තෘප්තිමත්?
ප්‍රේක්‍ෂකයන් මා වෙත දක්වන ප්‍රතිචාර හමුවේ මම භක්ෂි ගැන තෘප්තිමත් වෙනවා.
අනෙක් කාරණය ‘ඇහිපිල්ලමක් යට’ ටෙලිනාට්‍යය මීට අවුරුදු දහයකට පමණ පෙර කළ නිර්මාණයක්. ඒ කාලේ මම ටෙලි කලාවට පැමිණි අලුතම තමයි ප්‍රදීප් ධර්මදාස විසින් මට මේ සඳහා ආරාධනය ලැබුණේ.
අලුත් නිළියක ලෙස මා තුළ රංගනය ගැන ප්‍රේක්‍ෂකයන්ගේ සිත් අවදි වීම ගැනත් එදාට වඩා අද එය විකාශය වන විට මා ලබන අසීමිත ප්‍රතිචාරය ගැනත් මම සතුටු වෙනවා.
තවත් කාරණයක් අමතක නොකර කියන්නටම ඕනෑ.
‘ඇහිපිල්ලමක් යට’ ටෙලිනාට්‍යය රූගත කළේ සොඳුරු වටපිටාක. ප්‍රේක්‍ෂකයා ඒ සුන්දරත්වය දෑසින් අත්විඳින තරමට එය රූගත කරන විට අපි හැමෝම බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දුන්නා.
ඇති පදමට කඳු නැග්ගා. ඒ තරමටම පල්ලම් බැස්සා. ඒත් තත්පරයකට තද සුළඟ, තව වෙලාවක කඩින්කඩ වැස්ස. අදාළ දර්ශනයට අවැසි අය හෙවණකට මුවා වෙලා රඟපානව. අනෙක් අය වැස්සට තෙමෙනවා.
ඇත්තටම ප්‍රේක්‍ෂකයනට සොඳුරු නිර්මාණයක් දායක කරන්නට ‘ඇහිපිල්ලමක් යට’ ඉඳගෙන අපි හැමෝම යම් කටුකත්වයකට මුහුණ දුන්නා.
කූඩැල්ලෝ කරදර කළේ නැද්ද හිමාලි?
මගේ අම්මෝ… ලොකුම කරදරය දුන්නේ එයාලා තමයි. සමහර වෙලාවට ඩයලොග්ස් පවා අමතක වෙනවා. කොතැනක හරි ටික වේලාවක් ඉඳගෙන හරි, හිටගෙන හරි හිටියොත් මෙන්න වදේ කූඩලු යාළුවො 50ක්, 60ක් විතර කකුල වටේ. අපි තිසුරිලා හූ කියලා කෑගහගෙන ඈතට දුවන්නේ.
විනෝදයක් දුන්නේ කූඩලු යාළුවන්ගේ ඒ සිදුවීම්?
අපූරු විනෝදේ. දැනටත් ඇඟ හිරිවැටෙනවා මතක් වෙනකොට.
කොයිතරම් කටුක වුණත් ‘කදිම’ ටෙලි නිර්මාණයක අපූර්වතම ආශ්වාදය ඔබ ඇතුළු හැමෝම අත්වින්දා?
හරියටම හරි ඔබේ ඒ පැහැදිලි කිරීම.
බොහොම අඩුවෙන් දෙබස් කියපු, ඇඟට නොදැනෙන්න රංගනයෙන් අප හැමෝම දායක වුණු, ප්‍රදීප් ධර්මදාස නම් ඒ කලාකරුවාගේ අසාමාන්‍ය රිදම් එකට ඔහුගේ ආභාෂය මත මම ඇතුළුව සියලුම රංගවේදීන් දැක්වූ දායකත්වය හරිම අපූරුයි.
ඒ නිසාම වෙන්නැති ‘කොවිඞ්-19’ උවදුරින් මතු වූ විරාමය මැද විකාශය කරන්නට ‘ඇහිපිල්ලමක් යට’ තෝරා ගන්නටද ඇත්තේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











