අපේ රටේ ප්‍රවීණ කලා කරුවෙක් වෙන රොඞ්නි වර්ණකුලසූරිය මහත්මයාට ලොකු කරදරයක් වෙලා කියලා පසුගිය දවසක දැන ගන්න ලැබුණා. රොඞ්නි වර්ණකුලසූරියගේ ෆේස්බුක් පිටුව හරහා තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. තමන් මේ දිනවල ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ පා සිටින බවත්, ඒ නිසා හැකි පමණින් තමන්ට උදව් උපකාර කරන ලෙසටත් තමයි ඒ හරහා ඉල්ලලා තිබුණේ. මේ ගැන දැක්ක රොඞ්නිට ආදරය කරන රසික රසිකාවියෝ බොහෝ දෙනෙක් ඒ ෆේස්බුක් ගිණුමේ දන්වලා තිබුණු ආකාරයට තමන්ට හැකි පමණින් මුදල් ආධාර ලබා දෙන්න කටයුතු කෙරුවා. ඒ වගේම තවත් අය රොඞ්නිට කතා කරලා මේ ගැන ඇත්ත නැත්ත හොයන්න කටයුතු කළා.
හැබැයි තමන්වත් දන්නේ නැති මේ කරදරය ගැන රොඞ්නි දැන ගත්තෙත් ඒ වෙලාවේ. මොකද මීට සති කිහිපයකට කලින් කවුරු හරි රොඞ්නි වර්ණකුලසූරිය මහත්මයාගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා. ඊට ඇතුළු වුණු ඒ පුද්ගලයා තමයි රොඞ්නි විදියට මුදල් ආධාර ලබාගෙන තියෙන්නේ. මේ ගැන දැන ගත්තු රොඞ්නි ඉක්මනටම ක්‍රියාත්මක වුණා. වහාම වෙනත් ෆේස්බුක් ගිණුමක් හදාගෙන මේ වංචාව ගැන තම රසික රසිකාවියන් දැනුවත් කරන්න ඔහු කටයුතු කළා. ඒ වගේම වංචාකාරයකුගේ දැලට හසු වුණු තමන්ට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කරන්නත් රොඞ්නි ඒ වෙලාවේ අමතක කළේ නැහැ.
කොහොම වුණත් මේ කරදරේ ගැන අලුත්ම තොරතුරු දැන ගන්න අපි රොඞ්නිට කතා කළා. තම ෆේස්බුක් ගිණුම හැක් කිරීම සහ ඒ හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය සියලුම නීතිමය පියවර අරගෙන අවසන් බව තමයි රොඞ්නි වර්ණකුලසූරිය මහත්මයා අපිත් එක්ක කිව්වේ. ඒ වගේම ඉදිරියේදී මේ වගේ වංචා සිදු වෙන එක වළක්වන්න එවැනි වංචාකාරයන් සම්බන්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා. අද රොඞ්නිට වුණු දේ හෙට වෙනත් කලාකරුවකුට වෙන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය පුද්ගලයකුට වෙන්නත් පුළුවන්. ඒ හින්ද මෙවැනි වංචාකාරයෝ ඉක්මනටම නීතියේ රැහැනට කොටු කර ගෙන දඬුවම් ලබා දෙන්න බලධාරීන් කටයුතු කළ යුතුයි කියන එක තමයි අපිත් කියන්නේ.
චන්දන පොන්නම්පෙරුම











