කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, 2020 අප්‍රේල් 1 වැනිදා සිට මැයි මස 28 වනදා දක්වා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරමින් එම වෛරසය වැළැක්වීම සඳහා දියත් කෙරුණු ජාතික ක්‍රියාන්විතයට දැක්වූ දායකත්වය වෙනුවෙන් හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයට අයත් ඩොල්ෆින් ක්ලබ් හෝටලයට සිය ප්‍රශංසාව පළ කර සිටියේය. එම සමූහයේ නියෝජිතයන් සමග ඒ මහතාගේ කාර්යාලයේදී පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එම කාලය තුළ රු. මිලියන 6.3ක සියලු මෙහෙයුම් සහ කාර්යමණ්ඩල පිරිවැය දරා ගනිමින් වසංගතය මැඩලීමේ කාර්යභාරයට ලබා දුන් දායකත්වය වෙනුවෙන් හේමාස් සමූහයට සහ ඩොල්ෆින් හෝටලයට යුද හමුදාපතිතුමන්ගේ හෘදයංගම කෘතවේදීත්වය පළ කිරීම සඳහා එම හමුව සංවිධාන කර තිබිණි.
මෙරටට අතිශය තීරණාත්මක මොහොතක කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අගනා සහයෝගයක් ලබා දුන් ඩොල්ෆින් ක්ලබ් හෝටලයට සිය කෘතවේදීත්වය පළ කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිකුත් කරන ලද ලිපියේ සඳහන් වන්නේ, “2020 අප්‍රේල් මස 01 වනදා සිට ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් හට නිරෝධායන පහසුකම් ලබා දීමට නොමසුරුව ඉදිරිපත් වූ ඩොල්ෆින් ක්ලබ් හෝටලය, කොවිඞ්-19 වසංගතය මැඩලීමට ඉදිරිපෙළ කටයුතු කළ කාර්යමණ්ඩල සාමාජිකයන් හට මහත් දිරියක් විය,” යනුවෙනි.











