“මට ඒ දවස තාම හොඳට මතකයි. අපි බෙන්තොටට ගිහින් එතැනින් හැරිලා තමයි මේ වත්තට ගියේ. අපේ කාර් එකේ පිටුපස ආසනයේ මමත්, අම්මාත් හිටියා. ඇය මගේ ළඟින්ම වාඩිගෙන හිටියේ. කාර් එක මේ කියන වත්තට හරවලා අඩි කිහිපයක් යනකොටම අම්මා පුදුම වෙලා වගේ මගෙන් අහනවා “අපි මේ කැලයක් මැදින්ද යන්නේ, මේ කොහේද, මේක මොකක්ද කියලා. ඒත් රියැදුරු මෝටර් රථය ඉදිරියටම අරගෙන ගියා. කියන්න බැරි සුන්දරත්වයකින් හැම තැනම පිරිලා ඉතිරිලා ගිහිල්ලා. ඇස් දෙක අදහගන්න බැහැ. මමත්, අම්මාත් එහි පැමිණෙනවා ඔහු බලාපොරොත්තුවෙන් සිටියා. මේ දවස මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.”
මේක ඇත්තටම හරිම ලස්සන කතාවක්. කාලෙකින්වත් අහන්නට ලැබෙන්නේ නැහැ. මේ අම්මා කවුද? දුව කවුද? ඔහු කවුද? අම්මා නම් මුළු ලෝකයම හඳුනාගත්තු, ලෝකයේ පළමුවැනි කාන්තා අගමැතිවරිය වන සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මැතිනියයි. දියණිය නම් සුනේත්‍රා බණ්ඩාරනායකයි. ඔහු නම් ජෙෆ්රි බාවායි. මේ අපූරු කතාව අපට කියන්නේ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේම වදන්වලින්ම තමයි. මේක ඇයගේ සජීවී අත්දැකීමක්. මේ අපූරු වගතුග අහන විට අප සැබෑ ලෙසම නිර්වින්දනය වෙලා වගේ වෙනම ලෝකයකට යනවා.

“අපි මේ යන්නේ ලුණුගහ වත්තටයි. මේක අයිති අතිශයින්ම ප්‍රකට වූ ගෘහ නිර්මාණ ශිල්පියකු වුණු ජෙෆ්රි බාවාටයි. ඔහු අපේ පවුලේ උදවිය හඳුනනවා. ඒත් මම තමයි ඔහුත් එක්ක හුඟක්ම මිත්‍රව සිටියේ. ඒ කාලයේ මගේ වයස අවුරුදු 29ක් විතර ඇති. මම තරුණ වයසේ සිටියත් ජෙෆ්රි මගේ අම්මාගේ වයසෙ වගේ (අවුරුදු 53ක් පමණ) කියලා මට හිතෙනවා. මේ සිදුවීම වුණේ 1972 වසරේදියි. එදා අපට ජෙෆ්රි බාවාගේ ලුණුගහ වත්තට එන්න කියලා ඔහු ආරාධනය කරල තිබුණා.”
මෝටර් රථය වත්තේ බංගලාව ඉදිරියේ නතර කෙරිණි. ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ ඇගේ දියණිය සුනේත්‍රා බොහෝ සුහදව පිළිගත්තේ දේහධාරී විලාසයකින් යුත් කඩවසම් ජෙෆ්රි බාවා විසිනි. ජෙෆ්රි බාවා එකල ආසියාවේ සිටි අංක එකේ මහා ගෘහ සහ පරිසර නිමැවුම්කරුවා ලෙස ප්‍රකටව සිටියේය. සැබැවින්ම ඔහුගේ විස්මිත නිර්මාණ හේතුවෙන් ඔහු එකල සමාජය පිළිගත්තේ ශ්‍රේෂ්ඨතමයකු වශයෙනුයි. සුනේත්‍රා බණ්ඩාරනායක අදටත් මේ මිනිසා ගැන මතකය කියාපාන්නේ බොහෝ පහන් සිතකිනි.

“මට ගෘහ නිර්මාණ ශිල්පය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් ඔහුගේ උනන්දුව නිසා ඒ ගැන අපි බොහෝ දේ කතා කළා. මම ඒ ගැන කැමැති වුණත් නැතත් වැඩක් වුණෙත් නැහැ. අපි දෙදෙනාගේ සංලාපයට ඔහු නිතර කැමැති වුණා. දවස් කිහිපයකින් අපට කතා කරන්න බැරි වුණොත්, ඔහු මට අනිවාර්යයෙන්ම දුරකතනයෙන් කතාකරනවා. ගෘහ නිර්මාණ ශිල්පය ගැන මාව උනන්දු කරවන්න ඔහු නිතර කැමැති වුණා. එම විෂය ගැන තිබෙන නොයෙකුත් පොතපත මට දුන්නා. ඒත් මම ඔහුගේ ගෘහ නිර්මාණ ශිල්ප කණ්ඩායමේ පුද්ගලයකු නෙවෙයි. අපි හොඳ මිතුරන්. ඔහු මාව විශ්වාස කළා. මම ඔහුව විශ්වාස කළා.”
මේ අපූරු මිතුරාත් මිතුරියත් එකට හමුවුණාම විස්කි වීදුරුවක් තොලගාන්න ඇති. සිගරැට්ටුවක් උරන්න ඇති. ඒවා ඔවුන්ගේ සත්‍ය ජීවිත. ඒත් ඔවුන් දෙදෙනා වැඩිපුර කතා කළේ ගොඩනැඟිලි ගැන තමයි. ටික කාලයක් යනකොට සුනේත්‍රාටත් මේ කලාව ගැන ආශාවක් හිතෙන්න ඇති. ඔහු ඇයව තමන්ගේ විශිෂ්ට කලාත්මක ගෘහ නිර්මාණ සිදුකළ තැන් ගණනාවකටම රැගෙන ගියා. කණ්ඩලම, වාද්දුව, ගාල්ල වගේ තැන්වල නිර්මාණය කළ ගොඩනැඟිලි බලන්නට එක්කරගෙන ගියා. මෙහෙම කාලය ගතවන විට දවසක් සුනේත්‍රාට ඔහුගෙන් යමක් අහන්නට සිත් වුණා.
“මම ජෙෆ්රිගෙන් ඇහුවා අපේ හොරගොල්ල වත්තේ තිබෙන පැරැණි ඉස්තාලයක් (අශ්ව ගාලක්) ගෙයක් බවට පරිවර්තනය කරලා දෙන්න පුළුවන්ද කියලා. අපේ පවුලේ පැරැණි දේපොළක් වුණු එය මට ජීවත් වන්නට හැකි නිවෙසක් බවට හරවා ගන්න මට ලොකු ආශාවක් ඇතිවුණා. මම මේක ජෙෆ්රිට කියන කොටම මම හිතුවේ ඔහු කැමැත්ත දේවි කියලා. ඒත් එක්වරම ඔහු කියා සිටියා ‘නැහැ ඒක කරන්න බැහැ’ කියලා. ඒත් ඒ උත්තරයට මම කැමැති වුණේ නැහැ. මම තවත් ඔහුගෙන් එම ඉල්ලීම කළා. ඒත් ඔහු උත්තරයක් දුන්නේ නැහැ. පසුව මට කිව්වා වෙලාවක ඒ තැන බලන්න යමු කියලා.”
ඉක්මනට හොරගොල්ල වත්තට එන ලෙස සුනේත්‍රා ජෙෆ්රිට ඇවිලිටි කළාය. දිනය ඉක්මනින්ම යෙදිණි. ඇය තමන්ගේ මෝටර් රථයෙන් ජෙෆ්රි බාවා හොරගොල්ල වලව්ව පිහිටි ඉඩමට රැගෙන ගියාය. ඇයගේ මෝටර් රථයේ වාඩිගෙන සිටි ඔහුගේ හිස මෝටර් රථයේ වහලයේ ගෑවෙන පමණටම ඔහු දේහයෙන් උසැතිය. හොරගොල්ල වත්තට මෝටර රථය ඇතුළු විය. ඇය පැවැසූ ඉස්තාලය ඈතින් පෙනෙන්නට ඇත. මේ තමන් පැවැසූ ගොඩනැඟිල්ල යැයි ඇය ඔහුට පැවැසුවාය. එය ඇසූ සැණින්ම ඔහු වහා පවසා සිටියේ මෝටර් රථය එතැනම නවතන ලෙසටය. එතැන සිට ඉස්තාලය මීටර් 50ක පමණ දුරින් විය. නැවැත්වූ මෝටර් රථයෙන් ඔහු දෙපා එළියට තැබුවේය. එහෙත් රථයේ දොර ඇරගත් ගමන්ම ඔහු එය අතින් අල්ලාගෙන තම සාක්කුවට අත යැව්වේය. සිගරැට්ටුවක් දල්වා ගත්තේය. වෙන්නට යන්නේ කුමක්දැයි සුනේත්‍රා දෙනෙත් විවර කරගනිමින් රථයේ තම අසුනේම සිට බලාගෙන සිටියාය. විනාඩියකට වඩා ගතවන්නට ඇත. ඔහු සිගරැට්ටුව කඩිනමින් උරාදැමුවේය. එහෙත් ඔහුගේ දෑස් කැමරා කාචයක් මෙන් පැරැණි ගොඩනැඟිල්ලට යොමුවිය. තවත් නිමේෂයක් ගතවිය. සිගරැට්ටුව නිමවිණි.

“හොඳයි පුළුවන්, මම ඔබට මේ කටයුත්ත කරල දෙන්නම්. මේ තැන ගෙයක් බවට පරිවර්තනය කරන එක කරමු.” සුනේත්‍රා දෙසට එබී බලමින් ජෙෆ්රි කියන්නට විය. සුනේත්‍රාගේ මුව සිනහවකින් පිරී ගියේය. දෙනෙතින් කාන්තිය කඩාහැලෙන්නට විය. මෙම ඉස්තාලය අයත් දේපොළ හිමිව තිබුණේ සුනේත්‍රාටය. මෙහි අශ්ව ගාල මෙන්ම ඉපැරැණි නිවෙසක්ද විය. එම නිවෙස ඈත අතීතයේදී භාවිත කර ඇත්තේ සුනේත්‍රාගේ මීමුත්තා විසිනි. එහෙත් පසු කාලයක එම පැරැණි නිවෙසද අශ්ව ගාලේ කටයුතු සඳහා පරිහරණය කරන ලදී. එසේ වූයේ හොරගොල්ලේ මහ වලව්ව තැනීමෙන් පසුවය. වර්තමානයේදී මෙම දේපොළ පිහිටි භූමිභාගය අයත් වන්නේ සුනේත්‍රා බණ්ඩාරනායකටය.
මෙම ඉපැරැණි ගොඩනැඟිල්ල සංරක්ෂණය කර නව මුහුණුවරකින් ගොඩනැඟීමට අවශ්‍ය වන වැඩපිළිවෙළ ගැන ජෙෆ්රි සුනේත්‍රා දැනුවත් කළේය. එවිට සුනේත්‍රා එකල තම සැමියා වූ උදය නානායක්කාර සමඟ එක්ව එම කටයුතු කළාය. පැරැණි ගොඩනැඟිලිවලින් ඉවත් කරගන්නා බුරුම තේක්ක ලීයෙන් සාදන ලද දොරවල්, ලී කුලුනු වැනි දේ අත්‍යවශ්‍ය විය. යුවළ දිවයිනේ බොහෝ තැන්වල ඇවිදිමින් පැරැණි කෞතුක භාණ්ඩ විකුණන තැන්වලින් අවශ්‍ය සියලු දෑ සොයාගත්හ. මෙම ද්‍රව්‍ය සියල්ල මිල අධික ඒවා විය. එහෙත් නිවෙස පරිවර්තනය කිරීමේ කාර්යයට ජෙෆ්රිට ඒ සියල්ලම අවශ්‍ය විය. ගෙට ඇතුළු වන තැනට පෘතුගීසි සමයේදී භාවිත කරන ලද ප්‍රධාන දොරක් අත්‍යවශ්‍ය වූ අතර එයද කෙසේ හෝ ඇය සොයාගත්තාය. මෙම පැරැණි අශ්ව ගාල මිනිසුන්ට ජීවත් වීමට හැකි නිවෙසක් බවට පරිවර්තනය වන්නට විය. මෙහිදී සුනේත්‍රා පවසා සිටියේ තිබෙන නිවෙසේ ප්‍රමාණය ඉඩකඩ මදි හෙයින් පැරැණි විලාසිතාවෙන්ම අලුත් කොටසක්ද ගොඩනඟා දෙන ලෙසය. ඒ අනුව නිවෙසේ දෙපසට ඇති එම කොටස් දෙක අලුතින් තනා එකතු කරන ලදී. එය කෙතරම් මනහරව සහ තාත්විකව ඉදිකෙරුණේද යත් කිසිවකුට එහි වෙනසක් දක්නට නොහැකි විය.
පැරැණි ගොඩනැඟිල්ලේ මැද ප්‍රධාන සාලය ද්විත්ව පුද්ගල උසකින් යුක්ත වූ අතර එහි මධ්‍යස්ථයට ලීයෙන් නිම කරන ලද තට්ටුවක්ද එක් කරන ලදී. නිවෙස දෙපසට අලුතින් එකතුර කරන ලද කොටස් දෙකෙහි නිදන කාමර, විසිත්ත කාමර, කෑම කාමර සහ නාන කාමරද එක් කරන ලදී. එහෙත් ඒ සියල්ල ගොඩනඟන ලද්දේ පැරැණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලවය. එසේම මුල් ගොඩනැඟිල්ලට සමගාමී ආකාරයට මෙකල ජෙෆ්රි බාවා මුළු මහත් ආසියාව පුරාම ඉතා කාර්යබහුල ගෘහ නිර්මාණ ශිල්පියකු විය. එහෙත් ඔහු ශ්‍රී ලාංකිකයකු වූ අතර ජීවත් වූයේද මෙම රටෙහිමය. මෙම කාලයේදී ඔහු ආසියාවේ රටවල් කිහිපයකම නිර්මාණ සිදුකරමින් සිටි හෙයින් අතිශය කාර්යබහුල පුද්ගලයකු විය. එහෙත් ඔහු සුනේත්‍රාට දැක්වූ හිතෛෂීභාවය හේතුවෙන් එම ගෘහ නිර්මාණ කාර්යය බොහෝ කැපකිරීමකින් සිදුකරන ලදී. ඒ සඳහා තමන් යටතේ සේවය කළ ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පියකු වන පිලිප් ෆවුලර් අනුයුක්ත කර තිබූ අතර ජෙෆ්රි බාවා සෑම සති දෙකකටම වරක් හොරගොල්ලට ගොස් කටයුතු නිරීක්ෂණය කළේය. දැන් කාලයේ කඩිමුඩියේ ඉදිකෙරෙන ගොඩනැඟිලි මෙන් නොව මේ නිර්මාණ කාර්යය සඳහා ඉතා දීර්ඝ කාලයක් ගතවිය. මේ අතරතුර ජෙෆ්රි බාවාගෙන් සුනේත්‍රාට උපදෙස් ලැබුණේ ගෘහ නිර්මාණය අවට පරිසරයද නිර්මාණය කරගන්නා ලෙසටය. එනම් තුරුලතා රෝපණය කිරීම එම කාර්යය විය. ඒ අනුව සුනේත්‍රා තමන්ගේ සේවකයන් ලවා හොරගොල්ලට ගැළපෙන ලෙස ‘හොර’ ශාකයද කොටන් සහ කොහොඹ ශාකද රාශියක් රෝපණය කළාය. එසේම නිවෙස අවට භූමියෙහි අනෙකුත් අලංකරණ කටයුතුද සිදු කළාය.

අවසානයේදී දෙනෙත් අදහාගැනීමට නොහැකි ගෘහ සහ පරිසර නිර්මාණයක් බිහිවිය. මෙම අපූර්ව නිමැවුම අවසන් කිරීමට වසර 04කට ආසන්න කාලයක් ගතවී තිබිණි. සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය 1987 නොවැම්බර් 25 වැනිදා මෙම නිවෙසෙහි පදිංචියට ආවාය. ඇයගේ අගනුවර නිවෙසට අමතරව හොරගොල්ලේ පිහිටි නිවෙස වූයේ මෙම ඉපැරැණි ඉස්තාලය හෙවත් අශ්ව ගාලය. එකල ජෙෆ්රි බාවා කළ නිර්මාණ අතරින් මෙම ගෘහ සහ පාරිසරික නිර්මාණයද අතිවිශිෂ්ට එකක් විය. එහෙත් අද තම නිර්මාණ ලෝකයට දායාද කරදී එම මහා නිර්මාණකරුවා ජීවිතයෙන් සමුගෙන ඇත. ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුව, කොළඹ හිල්ටන් හෝටලය, කණ්ඩලම හෝටලය, සීමාමාලකය, රුහුණ විශ්වවිද්‍යාලය, ඉන්දියාවේ මෝඩි අගමැතිවරයාගේ නිවෙස, සිංගප්පූරුවේ වෙළෙඳ මධ්‍යස්ථානය, ඉන්දුනීසියාවේ හයට් හෝටලය, පාකිස්තානයේ ගලධාරි හෝටලය සහ තවත් දෙස් විදෙස් ගෘහ නිර්මාණ රැසක් ඔහුගේ දස්කම්වලට අයත්ය. 2003 මැයි 27 වැනිදා ජෙෆ්රි බාවා 83 වැනි වියෙහිදී තම ජීවිතය හැර ගියේය. ඉතිරි කර ගිය දෙයක් හැරෙන්නට ඔහු ගෙන ගිය දෙයක් නැත.





