2019 ජනාධිපතිවරණයට නිල වශයෙන් දින වකවානු තීන්දු වී නැතත් ප්‍රධාන පක්ෂ දෙකකින් දැනටමත් සිය අපේක්ෂකයන් නම්කර අවසානය. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවත්, ජාතික ජන බලවේගය නමින් පුළුල් සන්ධානයකින් යුක්තව ජනතා විමුක්ති පෙරමුණත්ය. පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ සිය පළමු සමුළුව පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් උත්සවාකාරයෙන් යුතුව නම් කළේය. ඊට සති තුනකට පසු ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ ඉතිහාසයේ වසර 37කට පසු පක්ෂ නායකයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කළේ ගාලුමුවදොර පිටියේ දැවැන්ත රැළියක් පවත්වමිනි. ඒ අනුව 1982 රෝහණ විජේවීර පක්ෂ නායකයා ලෙස ජනාධිපතිවරණයට තරගවැදීමෙන් අනතුරුව මෙවර අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ ප්‍රමුඛ සන්ධානයෙන් තරගයට නිල වශයෙන් ඉදිරිපත්ව සිටී.
ඉකුත් සතියේ ‘දැන් ඉරිදා මව්රට’ පුවත්පත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් විය හැකි අපේක්ෂකයන්ගේ සුදුසුකම් පිළිබඳ සමාලෝචනයක් කිරීමට කටයුතු කළේය. එහිදී අප අවධානය යොමු කළේ දැනට ජනපති සටනට එජාපයෙන් ඉහළින්ම නම් කියැවෙන රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක හා සරත් ෆොන්සේකා යන අපේක්ෂකයන් වෙතය. එම පස්දෙනාගේ පාසල් අවධිය, අධ්‍යාපන සුදුසුකම්, දේශපාලන ජීවිතය, දැරූ මැති ඇමැති තනතුරු ආදිය පිළිබඳ අපි අවධානය යොමු කළෙමු.
මෙවර අප අවධානය යොමු කරන්නේ දැනට නිල වශයෙන් ඉදිරිපත් වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අනුර කුමාර දිසානායක මහතාගේත් ජනපති සුදුසුකම් මොනවාද යන්න සොයාබැලීමටය. එහිදී ඔවුන්ගේ පාසල් ජීවිතය, ද්විතීය අධ්‍යාපනය හා දේශපාලන පසුබිම පිළිබඳවත්, තම තමන්ගේ ක්ෂේත්‍රයන් තුළ පෙන්වා ඇති ප්‍රවීනත්වය පිළිබඳවත් අවධානය යොමුකර ඇත.
නම – නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
උපත – 1949 ජුනි 20 (අවුරුදු 70)
උපන් ගම – මාතර, ශ්‍රී ලංකාව
පළාත – දකුණ
බිරිද – අයෝමා රාජපක්ෂ
දරුවන් – මනෝජ් රාජපක්ෂ (පුතා)
ඥාතිහූ
මහින්ද රාජපක්ෂ (සහෝදරයා)
බැසිල් රාජපක්ෂ (සහෝදරයා)
චමල් රාජපක්ෂ (සහෝදරයා)
පාසල – ආනන්ද විද්‍යාලය (කොළඹ)
ආගම – බෞද්ධ
හමුදා සේවය
සේවාව/අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
සේවා වසර ගණන 1971-1992
තනතුර ලුතිනන් කර්නල්
ඒකකය ගජබා රෙජිමේන්තුව
ආඥාපතීත්වය පළමුවැනි ගජබා රෙජිමේන්තුව
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
සටන් යුද්ධ
ඊළාම් යුද්ධය ෂ
ඊළාම් යුද්ධය ෂෂ
ඊළාම් යුද්ධය ෂඪ
සම්මාන
රණ වික්‍රම පදක්කම
රණ ශූර පදක්කම
ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ ලංකා හොස්පිට්ල් සභාපතිවරයාද විය. 1992 වර්ෂයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිලධාරියෙකුද වෙයි.
2005 වර්ෂයේදී, මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති ධුරයට පත්වීමත් සමගම, ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ආරක්ෂක ලේකම් තනතුර හිමිවිය.
2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26ක් පැවැති සිවිල් යුද්ධය නිමාකරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල වැඩ කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා ඉටුකරන ලදී. එසේම, 2006 වසරේ දෙසැම්බර් 01 වැනි දින, දෙමළ කොටි ත්‍රස්තවාදීන් කොළඹදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යන්තමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවිය.
මුල් අවධිය
මාතර දිස්ත්‍රික්කයේ පාලටුවහි උපන් ගෝඨාභය හැදීවැඩෙන්නේ හම්බන්තොට වීරකැටිය ග්‍රාමයේය. එතුමාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂ, මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, යන මහත්වරු ගෝඨාභය මහතාගේ වැඩිමල් සහෝදරයෝ වෙති.
සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ගෝඨාභය මහතා, 1992 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමි කරගන්නා ලදී.
වෘත්තීය දිවිය
කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1971 අප්‍රේල් 26 වැනි දිනදී ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුණු මෙතුමා, 1972 මැයි 25 වැනි දිනදී දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස්හි සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරිණි.
සිය විසි වසරක් වූ හමුදා දිවිය තුළදී ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනකු (ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකරගැනීමට මෙතුමාට හැකිවිය.
1983-1990 අතර කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහළ නිලයන් දක්වා ගමන් කළ මෙතුමා, 1990 වසරේදී ”ීඑරසනැ ්‍ය්රා” සහ “ත්‍රිවිධ බලය” යන මෙහෙයුම්හි අඥාපති වශයෙන් සිය කටයුතු සිදුකරන ලදී. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය විය. එහිදී පද්ධති අනුකලණය කරන්නකු සහ යුනික්ස් ීදක්රසි මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත විය.
ආරක්ෂක ලේකම්වරයා ලෙස
සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා, 2005 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය. 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරිණි.
2006 දෙසැම්බර් 01 වැනි දින පෙරවරු 10.35 ට පමණ කොල්ලුපිටියේදී එල්.ටී.ටී.ඊ.ය විසින්, පුපුරණ ද්‍රව්‍ය සහිත ත්‍රීරෝද රථයක් ගෝඨාභය මහතා ගමන් ගත් රථ පෙල වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදුකොට, ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨාභය මහතා දිවි ගලවාගත් අතර, ප්‍රහාරය නිසා පුද්ගලයෝ දෙදෙනකු මරණයට පත්ව තවත් 14 දෙනකු තුවාල ලැබූහ.
2009 වසරේ මැයි මසදී ත්‍රස්තවාදය අවසන් කිරීමට, “යුධ වීරයෙක්” ලෙස ලබාදුන් විශිෂ්ට කැපවීම අගයා, කොළඹ විශ්වවිද්‍යාලය එම වසරේම සැප්තැම්බර් 06 වැනි දින ගෝඨාභය මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී.

‘ජාතික ජන බලවේගයේ’ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙයි.
පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ අනුප්‍රාප්තික නායක සෝමවංශ අමරසිංහගෙන් පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.
1971 හා 1988/89 දෙවරක් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණෙන් සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට විකල්පයක් හැටියට දේශපාලන භූමියේ පෙනී සිටියි.
1965 මැයි 14 වැනිදා වෙසක් පෝ දිනෙක ගාල්ල අක්මීමනදී නිල වශයෙන් ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වූයේ රෝහණ විජේවීරය.
1971 අසාර්ථක රාජ්‍ය විරෝධී කැරැල්ලෙන් සහ 1989 නොවැම්බර් 13 වැනිදා රෝහණ විජේවීර ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව දේශපාලන පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණට ඉතා දුෂ්කර අවධියකට මුහුණදීමට සිදුවිය.
‘ජාතික ජනබලවේගය‘ නමින් බහුජන ව්‍යාපාරයක මුහුණුවරින් මෙවර ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී සිටින ජනතා විමුක්ති පෙරමුණ, සමකාලීන දේශපාලනයේ වැඩි වශයෙන් කතාබහට ලක්වීමට එක් හේතුවක් වන්නේ එහි වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ දේශපාලනික මැදිහත්වීම්ය.
දශක දෙකකට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණට නායකත්වය දුන් සෝමවංශ අමරසිංහගෙන් පසුව පක්ෂයේ නායකත්වයට පත් අනුර කුමාර දිසානායක, මේ වනවිට වසර පහක කාලයක් තිස්සේ සිය පක්ෂයට නායකත්වය දෙයි.
සම්පූර්ණ නම – දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
උපන් ගම – ගලේවෙල, දේවහූව (සිව් වසරකට පසුව කැකිරාව ආඬියාගල පදිංචියට ගොස් ඇත.)
උපන් දිනය – 1968 නොවැම්බර් 24
ප්‍රාථමික අධ්‍යාපනය – තඹුත්තේගම ගාමිණී ප්‍රාථමික විද්‍යාලය
ද්වීතික අධ්‍යාපනය – තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය
(අනුර කුමාර දිසානායක අපොස උසස් පෙළ විභාගය ගණිතය ධාරාවෙන් සමත් වෙයි. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශය දිනාගත් පළමු ශිෂ්‍යයා වන්නේ ඔහුය.)
උසස් අධ්‍යාපනය – 1992 දී භෞතික විද්‍යා උපාධිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන අනුර කුමාර දිසානායක 1995දී තම උපාධිය ලබාගත්තේය.
ශිෂ්‍ය දේශපාලනය
1987 ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂ වසරකි. ඒ ඉන්දු – ලංකා ගිවිසුමට අස්සන් තැබූ වසර වීම නිසාය. එම අවස්ථාවේදී අනුර කුමාර දිසානායක පාසල් ශිෂ්‍යයකු ලෙස ‘සමාජවාදී ශිෂ්‍ය අංශයේ‘ වැඩකටයුතු හරහා දේශපාලනයට සම්බන්ධ වෙයි. 1997දී ‘සමාජවාදී ශිෂ්‍ය සංගමයේ‘ ජාතික සංවිධායක ලෙස පත්වෙයි. එම වසරේදීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට පත්වන අනුර කුමාර දිසානායක 1998දී ජවිපෙ දේශපාලන මණ්ඩලයට තේරී පත්වෙයි.
ක්‍රියාකාරී දේශපාලනය
1998 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.
වසර 2000 දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි.
2001 වසරේදී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහිකිරීමට දායකත්වය සැපයීය.
2004 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, පොදු පෙරමුණ සමග එක්ව ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය‘ පිහිටුවා ගත්තේය.
එම වසරේ පැවැති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, සහ පශු සම්පත් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වශයෙන් තෝරා ගැනිණි.
2010 මහ මැතිවරණයට අනතුරුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
2015 අගෝස්තු මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරමින්, පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
2015 සැප්තැම්බර් 03 වැනිදා සිට 2018 දෙසැම්බර් 17 වැනිදා දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ලෙසද අනුර කුමාර දිසානායක කටයුතු කළේය.
ජවිපෙ නායකත්වය
2014 පෙබරවාරි 02 වැනිදා පැවති ජනතා විමුක්ති පෙරමුණ හත් වැනි ජාතික සම්මේලනයේදී එම පක්ෂ නායකත්වය සඳහා අනුර කුමාර දිසානායක තෝරා පත්කර ගනු ලැබිණි.





