වසර පන්දහකට පමණ පෙර සිටන් මිනිසුන් විවිධ අවශ්‍යතාවයන් සඳහා මැණික් පැලඳීම සිදු කර ඇති බව ඉතිහාස විෂයන් අධ්‍යයනය කිරීමේදී දක්නට ලැබේ. අද මෙන් නොව එදා මැණික් පැලඳ ඇත්තේ හිසේ ඉණ ප්‍රදේශයේය. ඒ බඳ පටියක් ලෙස සකස් කරගෙනය. නැතහොත් රිදියෙන් සැකසූ බඳපටියක් ආධාරයෙනි. විශේෂයෙන් කාන්තාවන්ගේ පෙකණියට පහළින් සම් ආශ්‍රිත නිෂ්පාදනයක් සකස්කොට එයට පද්මරාග මැණික් ගලක් අල්වා පැලඳ තිබේ.
එහි තේරුම නම් කාන්තාවන්ගේ වාසනාව, අවාසනාව මත විවාහක සැමියාගේ දියුණුව හෝ පිරිහීම සිදුවන බව මෙකල මෙන් එකලද විශ්වාස කළ නිසාවෙනි. මෙහි සත්‍යතාවය නොයෙකුත් වර අපට අත් දකින්නට ලැබී ඇත. කෙනෙකුට අපලයක් ඇති වූ විට කේන්ද්‍ර සටහන අනුව මැණික් සහිත ආභරණ මුදු පැලඳවීම බොහෝ විට සිදු කරයි. බලය ලබාගැනීමට මෙන්ම බලය ආරක්‍ෂා කරගැනීමටත් මැණික් පැලඳීම සිදු කරයි.
ශක්ති වෛද්‍ය කලාවට අනුව ඕනෑම අයකුගේ ශරීරය තුළ ශක්ති කේන්ද්‍ර 7ක් පවතී. එනම් ආඤා, සහශ්‍රා, විශුද්ධි, අනාහක, මනිපුර, ස්වධිෂ්ඨාන, මූලාධාර යන ශක්ති කේන්ද්‍ර 7යි. මෙයට වර්ණ 7ක් පවතී. එනම් කහ, තැඹිලි, රතු, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් යන වර්ණ 7 වේ. මෙය දේදුන්නේ වර්ණ 7ට සමාන වේ. මෙම වර්ණ හත ශක්ති කෙන්ද්‍ර 7 ට සම්බන්ධව පවතී. මෙයට තේජෝ මණඩලය හෙවත් හෝරා වළල්ල ලෙස භාවිතා කරයි. මෙම හෝරා වළල්ල විසින් මිනිසාට ආරක්‍ෂාව සපයයි. ආයුෂ වර්ණ, සැප, බල, ප්‍රඥා යන කරුණු ලබා දෙන්නේ හා ආරක්‍ෂා කරන්නේ මෙම හෝරා වළල්ල විසිනි. මෙයින් එක ශක්ති කේනද්‍රයක් දුර්වල වූ විට එයට අදාළ කරුණුද දුර්වල කරයි.
අද ප්‍රධාන ගැටලුවක් වන දරුවන්ගේ මතක ශක්තිය දුර්වල වීමට ප්‍රධාන ලෙස බලපානු ලබන්නේ ආඥා ශක්ති කේන්ද්‍රයයි. මෙම ශක්ති කේන්ද්‍රය දුර්වල වීමෙන් දරුවාට කොතරම් දැනුමක් තිබුණද අවශ්‍ය මොහොතේදී මතක නොනැඟීම ප්‍රධාන වන අතර හිතුවක්කාර ගති ඇතිවීම, අන් අය නොරිස්සන ගති ඇතිවීම. අධ්‍යාපන කටයුතුවලට කම්මැලි වීම. නිදිමත ගතිය ඇති වීම හා මවුපියන්ට අකීකරු වීම යන කරුණු බලපායි. මෙම තත්ත්වය මඟහැර අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ආඥා ශක්ති කේන්ද්‍රය බලවත් කිරීම තුළින් හැකිය.
අද සමාජයේ මවුපියන්ට ප්‍රධාන ගැටලුවක් වන විවාහ වීමට සුදුසු වයසේ සිටින දරුවන් නිසි කලට විවාහය සිදු නොවීම, හෙවත් දරුවන් කොතරම් අධ්‍යාපන මට්ටමක සිටියත් මිල-මුදල්, යාන-වාහන, ගේ-දොර තිබුණත් යහපත් විවාහයක් සිදු නොවීම. මවුපියන්ට ඇති ගැටලු අතර ප්‍රධාන එකකි. එය සති අන්ත පුවත් පත්වල පළවන මංගල යෝජනා දැකීමෙන් ඕනෑම අයෙකුට අවබෝධ කරගතහැකි කාරණාවක් වෙයි. මෙයට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ ආනාහත ශක්ති කේන්ද්‍රය දුර්වල වීමයි. මෙම ශක්ති කේන්ද්‍රය බලවත් වීමෙන් ඉතා කෙටි කලකින් යහපත් විවාහයක් සිදු වනවා පමණක් නොව විවාහයෙන් පසු ඇති වන ගැටලු අවම වීමක්ද සිදුවී ආදරය, කරුණාව, දයාව පිරි යහපත් යුග දිවියක් ගතකිරීමට ද මෙම මැණික් ප්‍රතිකාරය ඉවහල් වෙයි. යුගදිවියට පත්වී ඇති අයගේ දෙදෙනා අතර නොරිස්සන ගති ඇතිවීම්, අනියම් සම්බන්ධතා, අදහස් නොගැළපීම් ආදරය කරුණාව අඩුවීම ආදිය කරුණු බලපානු ලබන්නේද ආනාහත ශක්ති කෙන්ද්‍රය දුර්වල වීමෙන්ය. මේ සඳහා දුර්වලව ඇති අනාහත ශක්ති කේන්ද්‍රය බලවත් කිරීමෙන් යහපත් පවුල් ජීවිතයක් ගතකිරීමට ඉඩ ලැබෙනවා පමණක් නොව සමාජයේ ඉහළ පිළිගැනීමක්ද ඇති වෙයි. ප්‍රසිද්ධ අයෙක් බවට පත් වීමට මෙය ඉවහල් වෙයි. මෙවැනි අයුරින් ශක්ති කෙන්ද්‍ර 7ට අදාළ කරුණු කාරණා බොහෝ ප්‍රමාණයක් පවතී. මින් එකක් හෝ කිහිපයක් දුර්වල වීමෙන් ලෞකික ජීවිතයට අදාළ විවිධ කරුණු කාරණා දුර්වල වෙයි. නිවැරැදි කේන්ද්‍ර පරීක්‍ෂාවකින් පසු දුර්වලව ඇති ශක්ති කේන්ද්‍රය හඳුනාගෙන නිවැරැදි අයුරින් දුර්වල ඇති ශක්ති කේන්ද්‍රය බලවත් කිරීම තුළින් ඉතා කෙටි කාලයකින් කෙනෙකු නොසිතන ආකාරයේ සුබ ප්‍රතිඵල උදාකර ගත හැකිය. ඒ අනුව කොතරම් උත්සහ කළත් දියුණුවක් නොමැතිකම, රැකියා ප්‍රශ්න, රැකියාවේ උසස් වීම්, විවාහ ප්‍රමාදය, විවාහ දිවියේ ඇතිවන ප්‍රශ්න, ගැටලු, දරුවන්ගේ අධ්‍යාපන දුර්වලතා, නීති ප්‍රශ්න ආදී බොහෝ කරුණු කාරණා සඳහා සාර්ථක විසඳුම් ලබා ගැනීමට හැකිය. මේ සඳහා නිවැරැදි තොරතුරු සහිතව සකස්කර ඡන්ම පත්‍රයක් තිබීම ප්‍රමාණවත් වෙයි. මේ සඳහා එක්විය යුතු තවත් කරුණු කිහිපයක් නම්, දෘඪතාව, වර්ණය, බර, පලඳින ඇඟිල්ල, කාලය යන ගුණාංග මේ සඳහා එකතු විය යුතුය. ශක්ති කේන්ද්‍රයට අදාළ මැණික් නිර්දේශ කිරීමට නම් දුර්වලව ඇති ශක්ති කේන්ද්‍රය හඳුනාගැනීමට හා මැණික් පිළිබඳ නිවැරැදි දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙයි. මේ අයුරින් විශ්ව ශක්තිය සොයන අයටද, යෝග ව්‍යායාම කරන අයටද, මෙම ක්‍රමවේදය තුළින් ලබාගත හැකි ප්‍රයෝජන අතිමහත්ය.
මැණික් උපදේශක ආර්.එම්.එස්.පී. රාජපක්ෂ











