පිරිපහදු නොකළ පොල්තෙල් රටට අනායනය කොට පිරිපහදු කොට බෙදාහැරීමේදී රජයට බදු ගෙවිය යුතු බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියාය.Sri Lanka Latest News
අගමැතිවරිය මේ බව සදහන් කළේ සමාගම් කිහිපයක් විසින් පසුගිය වසරේ ජනවාරි මස සිට පිරිපහදු නොකළ පොල්තෙල් රටට ගෙන්වීමේදී බිලියන 5ක බදු මුදලත් ගෙවා නොමැති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ ප්‍රශ්න කිරීමේදීය.
මෙහිදී අගමැතිවරිය අදාළ වංචාව හෙළිකිරීම සම්බන්ධයෙන් මරික්කාර් මන්ත්‍රීවරයාට දෙවරක්ම ස්තූති කිරීමටද පියවර ගත්තේය.
මෙම පොල්තෙල් බදු වංචාව පළමු වරට රටට හෙළිදරව් කරන ලද්දේ මව්රට පුවත්පත විසිනි. අප විසින් කළ අනාවරණයෙන් පසුව අනෙකුත් මාධ්‍යද මේ පිළිබදව පුවත් පළ කිරීමට කටයුතු කොට තිබිණ.
එහිදී පළමුවරට එස්.එම්. මරික්කාර් මහතා අප පුවත්පත මගින් කළ හෙළිදරව්ව මෙන්ම අනෙකුත් මාධ්‍යද කළ හෙළිදරව් කිරීම් පාර්ලිමේන්තුවේ ගෙනහැර දක්වමින් මේ පිළිබද ප්‍රශ්න කරද්දී ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දුන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡා කොට මේ පිළිබද පැහැදිලි කිරීමක් ඊට පසුදිනම ඉදිරිපත් කරන බවකි.
නමුත් අමාත්‍යවරයා මේ දක්වාම එම පැහැදිලි කිරීම සිදුකොට නොමැත.
ආණ්ඩුව විසින් ජනතාව කන බොන දෙයට පවා බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත් කරද්දී බිලියන 5ක් අයකරගැනීමට ඇති හැකියාව අතහැර දැමීම සම්බන්ධයෙන් මේ දක්වා විපක්ෂය නිහඩව සිටීම පුදුම සහගත කාරණාවකි.
එමෙන්ම පුදුමයට කරුණ වන්නේ වගකිවයුතු විපක්ෂයෙන් වශයෙන් සමගි ජන බලවේගය පමණක් නොව, රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයද, විපක්ෂයේ අනෙකුත් පක්ෂ වන පොදුජන පෙරමුණ හෝ දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් මන්ත්‍රීවරුන් හෝ ඒ පිළිබද වචනයක් හෝ කතා නොකිරීමය.
අවම වශයෙන් ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා ඇතැමුන් සුදුළූණු වංචාව, සීනි වංචාව යනාදිය පිළිබදව මහහයියෙන් කෑ ගැසූවද අප හෙළිකළ මේ මහා පොල්තෙල් බදු වංචාව පිළිබදව වචනයක් හෝ කිසිදු තැනක කතා කොට තිබුණේ නැත.
ඒ හේතුවෙන් බිලියන 5ක බදු මුදලක් නොගෙවා පැහැර හැරීමේ සිදුවීම පසුපස සිටින පුද්ගලයන් සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සබධතා ඇති බවට වූ බරපතළ සැකයක් මේ වනවිට සියලු පාර්ශ්වයන් වෙත මතුව තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සදහා අප දේශීය ආදායම් දෙපාර්තමේන්තවේ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.එස්. චන්ද්‍රසේකර මහත්මියගෙන් විමසීමක් කළෙමු.
එහිදී ඇය සදහන් කර සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කිරීමට කමිටුවක් පත්කොට ඇති බවත්, ඔවුන්ගේ පරීක්ෂණයට තමන් බාධා නොකරන බවත්ය. එමෙන්ම වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නාපාන මහතාගෙන් විමසීමක් කරන ලෙසටය.
ඒ අනුව අප නාපාන මහතාගෙන් විමසද්දී ඒ මහතා කියා සිටියේ ඒ පිළිබදව විමසිය යුත්තේ මුදල් අමාත්‍යංශයෙන් යැයි කියාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබද විමසීමක් කොට ඇති නමුදු තවමත් මුදල් අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක් එවා නොමැති බවද නාපාන මහතා කීය.










