පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කොට පිරිපහදු කිරීමේදී 2024 ජනවාරි සිට 2024 ඔක්තෝබර් මාසය දක්වා වූ මාස 10 ඇතුළත සමාගම් කිහිපයක් විසින් රජයට අයවිය යුතු සම්මත බදු මුදල් නොගෙවීම හේතුවෙන් රුපියල් බිලියන 5කට අධික පාඩුවක් රජයට සිදුව ඇති බවට වූ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට මතුව ඇති බව පැවසේ. Sri Lanka Latest News
ඒ අනුව මෙවැනි අලාභයක් සිදුව ඇත්නම් ඊට වගකිවයුත්තේ කවුරුන්ද, ඒ පසුපස සිටියේ කවුද, එසේ බදු අය නොකරන ලෙස උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව බොහෝ පාර්ශ්වවල මතය වී ඇත.
ඉකුත් ජනවාරි 01 දින සිට පනවනු ලැබූ වැට් බදු නීතියට අනුව පිරිපහදු නොකළ පොල්තෙල් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ ලංකාවට ආනයනය කර, දේශීය වශයෙන් පිරිපහදු කර වෙළෙඳපළට විකිණීමේදී 18%ක වැට් බද්දක් සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් රජයට ගෙවිය යුතුය.
මෙම වැට් බදු නීතිය සහ අනෙකුත් බදු ක්‍රියාත්මකව පැවැතියදී 2024 ජනවාරි 01 සිට 2024 ඔක්තෝබර් දක්වා නම් 6කින් පෙනීසිටින සමාගම් 3ක් පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් 38,814,918ක් ලංකාවට ආනයනය කර ඇත.
මීට අමතරව පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කර දේශීය වශයෙන් පිරිපහදු කර සුළු වශයෙන් ගෙන්වන සමාගම් කීපයක් ඇති අතර, මෙම කාලය තුළ ඔවුන් නීත්‍යනුකූල වශයෙන් රජයට අයවිය යුතු වැට් බදු සහ අනෙකුත් බදු මුදල් ගෙවා ඇත.
නමුත් මහාපරිමාණ සමාගම් කිහිපයක් මෙසේ විශාල වශයෙන් පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ආනයනය කොට ඇති අතර ඔවුන් එම පොල්තෙල් වෙළෙදපොළට නිකුත් කොට ඇති බවට බරපතළ ප්‍රශ්නයක්ද මතුව ඇත.
මෙම ආනයනය කරනු ලබන පිරිපහදු නොකළ පොල් තෙල් පරිභෝජනය සඳහා ජනතාවට ලබාදීමේදී අනිවාර්යයෙන්ම පිරිපහදු කළ යුතුය. එසේ නොකරනවා නම් එය විෂ සහිත ආහාර ජනතාවට ලාබදීම යටතේ වන බරපතළ වරදකි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැටලීමක් පවා සිදුකර ඇති අතර එම වැටලීමෙන් අනතුරුව විශාල වශයෙන් පිරිපහදු නොකළ පොල් තෙල් රටට ආනයනය කළ එක් සමාගමක් මෙසේ වැට් බදු අයකිරීම පිළිබඳ හිටපු ජනාධපිති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය හරහා මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක් ලිඛිතව ඉල්ලීමක් කරනු ලැබ ඇත.
එම ඉල්ලීමට අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ටී. විශ්වරූපන් විසින් 2024.07.31 වැනි දින දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් අදාළ ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ලබාදෙන ලෙස දැනුම් දීමක් කොට ඇත.
ඊට අදාළ ලිපිය පහත දැක්වේ.

එම ලිපියට පිළිතුරු යවමින් 2024.08.29 වැනි දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා සහ නීති අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත මහතා විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ටී. විශ්වරූපන් වෙත දැනුම් දී ඇත්තේ පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කර දේශීය වශයෙන් පිරිපහදු කර වෙළෙඳපළට විකිණීමේදී 2024 ජනවාරි 01 වැනිදා සිට 18%ක වැට් බද්දක් සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් අදාළ වන බවකි. එය සඳහන්ව ඇත්තේ එම ලිපියේ අවසාන වාක්‍යයට පෙර පරිච්ඡේදයේය.

නමුත් එම ලිපියේ අවසන් වාක්‍යයේ විශේෂ සඳහනක් කරමින් දැනුම් දී ඇත්තේ මෙම වැට් බද්ද සම්බන්ධයෙන් එක්තරා සමාගමක් මගින් ලබන ඉල්ලීම පිළිබඳ විශේෂ සැලකීමක් කරන ලෙසටය.
එහිදී හඳුනාගත නොහැකි හේතුවක් මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට්බදු අයකිරීම සම්බන්ධයෙන් සිය නිගමනය ඍජුව සඳහන් කිරීම මෙහිදී මගහැර තිබේ.
කෙසේ වෙතත් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක මෙම වැට් බදු නීතිය හරහා සුළු පරිමාණයෙන් පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කර, පිරිපහදු කරනු ලැබූ ආයතන 40ක් පමණ වැසීගොස් තිබේ.
දැනට පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කරනු ලබන්නේ මහාපරිමාණ සමාගම් 3ක් පමණි. ඔවුන්ද 2024 ජනවාරි 01 සිට ඔක්තෝබර් මාසය දක්වා පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනයෙන් රජයට අයවිය යුතු වැට් බදු මුදල වූ රුපියල් බිලියන 5ක මුදලක් නොගෙවා ඇති අතර, අසීමිත ලාභයක්ද මේ කාලය තුළදී උපයාගෙන ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් ඉදිරි සතියකදී මව්රට පුවත්පතෙන් බලාපොරොත්තු වන්න.










