‘කන්න දෙන දේට බොරු කරන්න හොඳ නෑ’
‘කන දේට වහ දැම්මොත් හෙණ ගහනවා’
මේ, සාමාන්‍ය ගැමි වහරේ නිතර කියැවෙන කතාවකි. එයින් කියන්නේ ජනතාවට කන්න දෙන කෑම බීමවලට හොර බොරු කරන්න හොඳ නෑ කියාය. එසේ හොර බොරු කළොත් යාදෙන්නේ නැතැයි කියාය. (Sri Lanka Latest News)
හැබැයි පහුගිය වසර කීපය දෙස බැලුවහොත් ලංකාවේ නම් හොර කරලා තියෙන්නේම ජනතාවට කන්න දෙන දේටමය. සීනි වංචාව, හාල් වංචාව, ගෑස් වංචාව, සුදුලූනු වංචාව, පොල්තෙල් වංචාව ඉන් කිහිපයකි. නමුත් මේවා නිතර නිතර පත්තරවල, ටීවීවල කියැවුණා විනා, රහස් පොලිසියේ පැමිණිලි දැම්මා විනා ඉන් එපිට ඒවාට සම්බන්ධ හොරු අල්ලන පාටක් නම් දැකගන්නට ලැබුණේ නැත.
මේ කෑමවලින් කාලා තියෙන අලුත්ම සිද්ධිය එළියට ආවේ ඊයේ පෙරේදාය. ඉන් කියැවුණේ පසුගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා පමණක් මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කිරීමේදී රුපියල් කෝටි 5000ක, එනම් රුපියල් බිලියන 5කට ආසන්න අලාභයක් සිදුව ඇතැයි කියාය. දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අදාළ කාලසීමාවේදී මෙම පිරිපහදු නොකළ පොල්තෙල් රටට ආනයනය කොට පිරිපහදු කර වෙළෙඳපළට නිකුත් කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් නිසි අයුරින් නොගෙවීම හේතුවෙන් මෙම දැවැන්ත අලාභය සිදුව ඇතැයි කියාය.
සාමාන්‍යයෙන් පිරිපහදු නොකළ පොල්තෙල් රටට ගෙන්වා පිරිපහදු කොට වෙළෙඳපළට නිකුත් කිරීමේදී 2024 ජනවාරි 01 වැනිදා සිට පනවනු ලැබූ නව වැට් බදු නීතියට අනුව 18%ක බද්දක් ගෙවිය යුතුය. මීට අමතරව 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවිය යුතුය.
මෙලෙස වැට් බදු නීතිය ක්‍රියාත්මකව පැවැතියදී ඉකුත් 2024 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් මාසය දක්වා නම් 06කින් පෙනී සිටින මහාපරිමාණ සමාගම් 03ක් පමණක් මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් 38,814,918ක් ආනයනය කොට ඇති බව කියැවේ. මෙම මහාපරිමාණ සමාගම් තුන අදාළ කාලසීමාව පුරා මෙරටට පොල්තෙල් ආනයනය කොට පිරිපහදු කොට වෙළෙඳපළට මුදාහැර ඇති බවට චෝදනා එල්ල වන්නේ අදාළ ප්‍රමාණයන්ට කිසිදු වැට් බදු ගෙවීමක් හෝ සමාජ ආරක්ෂණ බදු ගෙවීමක් හෝ නොමැතිව බව පැවැසේ. ඒ අනුව ඇම්රෝ රිෆයිනරි පෞද්ගලික සමාගම සහ ඇම්රෝ ෂුගර් සමාගම මෙම කාලය තුළ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් 12,937,723ක් සහ 1,142,925ක ප්‍රමාණයක්ද, ආර්.ජී. බ්‍රදර්ස් සමාගම කිලෝග්‍රෑම් 624,850ක්ද, සේන මිල්ස් රිෆයිනරීස් ඊඑක්ස්පී පෞද්ගලික සමාගම සහ සේන මිලිස් රිෆයිනරීස් පෞද්ගලික සමාගමෙන් 18,875,290ක් සහ 4,234,130ක් මෙරටට ගෙන්වීමට කටයුතු කොට ඇති බව කියැවේ.
මීට අමතරව පිරිපහදු නොකළ පොල්තෙල් රටට ගෙන්වා දේශීය වශයෙන් පිරිපහදු කොට සුළුපරිමාණයෙන් බෙදාහරින තවත් සමාගම් කිහිපයක් ඇති අතර, මෙම ප්‍රශ්නගත කාලය තුළ ඔවුන් නීත්‍යනුකූල වශයෙන් රජයට අයවිය යුතු වැට් බදු සහ අනෙකුත් බදු මුදල් ගෙවා පිරිපහදු කළ පොල්තෙල් දේශීය වෙළෙඳපළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කියති. ඒ නිසා එහි කිසිදු ගැටලුවක් නැතැයි පැවැසේ.
මෙහිදී පැනනගින තවත් බරපතළ ප්‍රශ්නයක් තිබේ. ඒ, මෙම මහාපරිමාණ සමාගම් තුන පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා බදුවලින් බේරීම සඳහා පිරිපහදු නොකොටම මෙරට වෙළෙඳපළට අදාළ පොල්තෙල් මුදාහැරියේ නම් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුවීමේ අවදානමය. මෙම සමාගම් එවැන්නක් සිදුකොට ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන වෙනම පරීක්ෂණයක් සිදුකොට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ක්ෂේත්‍රයේ නියුතු අයගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී තිබීමෙන් පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද පසුගිය කාලයේදී අදාළ ආයතන වැටලීමක් පවා සිදුකර ඇති බව පැවසේ.
එමෙන්ම පසුගිය වසර සැලකෙන්නේ මැතිවරණ වසරක් ලෙසය. ප්‍රධාන මැතිවරණ දෙකක්ම එම කාලසීමාවේදී පැවැත්විණි. ඒ අනුව වසර ආරම්භයේදී මෙසේ පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා පිරිපහදු කිරීමේදී ඊට බදු පැනවීමක් සිදුකර තිබුණේ පැවැති ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ඡන්ද ව්‍යාපාරයට අරමුදල් සපයා ගැනීමේ අරමුණෙන්ද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව තිබේ.
කෙසේ වෙතත් එහිදී සේන මිල්ස් ආයතනය මගින් මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් සිය සමාගමට වැට් බදු අයකිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස ලිඛිතව දැනුම් දීමක් කොට තිබූ අතර, 2024.07.31 වැනි දින රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ පිස්කල් ප්‍රතිපත්ති ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ටී. විශ්වරූපන් මහතා විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දීමට කටයුතු කොට ඇත. තමන් බදු ගෙවිය යුතුද යනුවෙන් ලිපියක් මුදල් දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම හරහා සේන මිල්ස් ආයතනය යම් සාධනීය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති ආකාරයක් දැකගත හැකිය. නමුත් ඊට අදාළ ආයතන තම වගකීම නිසි අයුරින් ඉටුකළාද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි.

සේන මිල්ස් ආයතනයේ ලිපියට අනුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ටී. විශ්වරූපන් විසින් 2024.07.31 වැනි දින දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා යොමු කළ ලිපිය
එම ලිපියට පිළිතුරු යවමින් 2024.08.29 වැනි දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා සහ නීති අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත මහතා විසින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ටී. විශ්වරූපන් වෙත දැනුම් දී ඇත්තේ පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර දේශීය වශයෙන් පිරිපහදු කොට දේශීය වෙළෙඳපළට විකිණීමේදී 2024 ජනවාරි 01 වැනිදා සිට 18%ක වැට් බද්දක් සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් අදාළ වන බවකි. එය සඳහන්ව ඇත්තේ එම ලිපියේ අවසාන වාක්‍යයට පෙර පරිච්ඡේදයේය.

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර දේශීය වශයෙන් පිරිපහදු කොට දේශීය වෙළෙඳපළට විකිණීමේදී 2024 ජනවාරි 01 වැනිදා සිට 18%ක වැට් බද්දක් සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් අදාළ වන බව දැනුම් දෙමින් යොමු කළ ලිපිය!
කෙසේ වෙතත් මෙම ලිපියේ අවසන් වාක්‍යයේ විශේෂ සඳහනක් කරමින් දැනුම් දී ඇත්තේ වැට් බද්ද සම්බන්ධයෙන් සේන මිල්ස් සමාගම මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳ අභිමතය අනුව ක්‍රියාකරන ලෙසටය. එහිදී හඳුනාගත නොහැකි හේතුවක් මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බදු අයකිරීම සම්බන්ධයෙන් සිය නිගමනය මෙහිදී ඍජුව සඳහන් කිරීම මගහැර තිබීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව, මෙම සියලු සිදුවීම් හරහා බරපතළ ප්‍රශ්න ගණනාවක් පැනනැගී තිබේ. ඉන් පළමු වැන්න වන්නේ ඉකුත් වසර පුරා ලංකාවට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කොට ඒවා පිරිපහදු කොට වෙළෙඳපළට මුදාහැරීමේදී නිසි අයුරින් වැට් බදු ගෙවා නොමැති බවට චෝදනා එල්ල වී තිබීමය. එසේ නොගෙවා ඇතැයි කියැවෙන බිලියන 05ක මුදල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකොට අදාළ මුදල් අයකර ගැනීමත්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පැවැත්වීමත් වත්මන් ආණ්ඩුවේ වගකීමකි.
අනෙක් අතට බදුවලින් බේරීම සඳහා මෙම සමාගම් පිරිපහදු නොකොටම ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් වෙළෙඳපළට මුදාහැර තිබේද යන්නද සොයාබැලිය යුතුය. ඒවා සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප අවස්ථා කිහිපයකදීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය වූ සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගේ ජංගම දුරකතනයට ඇමතුම් කීපයක් ලබාදීමට පියවර ගත්තෙමු. පළමු අවස්ථාව්දී එම ඇමතුම ඇය විසින් විසන්ධි කිරීම හේතුවෙන් ස්වයංක්‍රීය කෙටි පණිවුඩයක් අප වෙත ලැබිණි. එහි දැක්වුණේ තමන් සාකච්ඡාවක සිටී ම හේතුවෙන් පණිවුඩයක් තබන ලෙසය. අප කතා කළ හේතුව සඳහන් කරමින් ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළද, මේ දක්වා ඇයගෙන් පෙරළා ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් හෝ අප වෙත ලැබුණේ නැත. ඉන් අනතුරුවද අප අවස්ථා කීපයකදීම ඇගේ ජංගම දුරකතනයට ඇමතුම් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් ඇගේ පාර්ශ්වයෙන් ලැබුණේ නැත.
මීට අමතරව අප දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක වන අසන්ති මෙනෙවියගේ ජංගම දුරකතනයටද ඇමතුමක් ලබාගතිමු. එහිදී ඇය අපට කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන්ට ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවත්, කොමසාරිස් ජනරාල්වරියට ලිඛිතව ඒ බව දැනුම් දී ඇගෙන් ඊට අනුමැතිය ලබාගත යුතු බවත්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරියට අමතන ලෙස කියමින් ඇගේ පෞද්ගලික ලේකම්වරිය වූ විජිතා සුන්දරලිංගම් මහත්මියගේ අංකය ලබාදීමට කටයුතු කළාය. ඒ අනුව අප ඇයටද ඇමතුමක් ලබාදීමෙන් පසු ඇය කියා සිටියේ කොමසාරිස් ජනරාල්වරිය සාකච්ඡාවක නිරතව සිටින බැවින් ඇය එම අවස්ථාවේදී සම්බන්ධ කරගත නොහැකි බවකි.
අද මේ වනවිට රට ඇතුළේ බරපතළ සහල් ප්‍රශ්නයක් මතුව තිබේ. ජනතාව ඉන්නේ කැකුළු-නාඩු සහල් සොයාගත නොහැකිවය. අනෙක් අතට පාසල් උපකරණවලට පනවා ඇති බදු හේතුවෙන් මවුපියන් ඉන්නේ දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකිවය. ඒ අස්සේ පිරිපහදු කළ පොල්තෙල්වලින් ලබාගත යුතුව තිබෙන බව කියන බිලියන 05ක මුදල ආණ්ඩුව ලබාගත්තේ නම් ඒ මුදලින් හෝ ජනතාවට සහන ලබාදිය හැකිව තිබිණි. නමුත් කනගාටුදායක කරුණ වන්නේ විපක්ෂය හෝ මේ සම්බන්ධයෙන් වචනයක්වත් නොකියා මුනිවත රැකිමින් සිටීමය.
වහාම නොගෙවපු බදු පවරගන්න…
මේ අතර, ආනයනකරුවන් තිදෙනකු විසින් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය කිරීම තුළින් රටට විශාල බදු මුදලක් අහිමි වී ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එබැවින් එම ආනයනකරුවන්ට ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන ලෙසයි එම සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ.
‘මේ ආනයනය කරපු තෙල් රටට හිමිවිය යුතු බදු කෝටි 5000කට වඩා ප්‍රමාණයක් බදු අඩුවක් රටට වෙලා තියෙනවා. මේ ජාවාරම්කාර ආනයනකරුවන්ගේ ඉතිහාසය බැලුවොත් ඔවුන් සීනි බදු වංචා, මීට කලින් පොල්තෙල් වංචා, ලූනු වංචා, සමහර අයගේ මත්ද්‍රව්‍ය කන්ටේනර්වල තිබිලා අහුවෙච්ච, කෝටි ගාණක් මේ රටේ බදු සල්ලි හොරකම් කරලා ඔවුන් කරන්නේ මොකක්ද? දේශපාලන බලධාරීන්, ආයතන නිලධාරීන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ මේ ජාවාරම කරගෙන යනවා.
මේක අපි පෙර සිටම හෙළිදරව් කළා. දැන් අනාවරණ වෙලා තියෙනවා අපේ හිටපු ජන පාලකයන් කොහොමද නිලධාරීන්ට ලියුම් ලියලා මෙම බදු වංචාව කරන්න උදව් කරන්නේ කියලා නොකියලා ලියපු ලියුම්, දීපු නියෝග දැන් සමාජගත වෙලා තියෙනවා. මේවා නැහැයි කියන්න බෑ. අපි මේ නව රජයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී මේ දේශපාලනයෙන් තොර ආනයනකරුවන්ට ලබාදිය යුතු උපරිම දඬුවම ලබාදෙන්න ඕනේ. මේ ජාවාරම්කාර ආනයනකරුවෝ මේ වනවිට හොරකම් කරලා තියෙන, නොගෙවා තියෙන බදු ටික රජයට ලබාගත යුතුයි.’
රුවන් වෙඩිවර්ධන










