ගන අඳුර, පරිසරය වෙළාගෙන අවසන්ය. යන්තමින් පෑයූ සඳ පළුවක් වැනි බර වලාකුළු පොදියකට වැසී ගොසිණි. ඉඳහිට වව්ලකු පියාඹා යන හඬ පරිසරය දෙවනත් කරයි. ඒ අතරේ ඉගිළෙන වවුලන්ගේ වසුරු පහරක් තල් අත්තක වදින හඬ ඇසී නොඇසී යයි. අතේ දුරින් උන්නද කෙනකුට තවකකු නොපෙනෙන තරමට අඳුර බලවත්ය. කෑලි කපන්නට හැකි තරම්ම ඒ අඳුර ප්රබලය. හුදකලා සුළඟ කරක්ගහන මේ අඳුරට අයිතිවාසිකම් කියන්නෝ බොහෝය. ඒ අතරින් උලමා හඬලනවාට මිනිසා බයය. බස්සාගෙ හ්ම්, හ්ම් හඬ මූසලය. රැහැයියාගේ අඳෝනාව කන්කරච්චලයකි. නරියාගේ හූව මරණයේ පණිවුඩයකි. එහෙත් මේ සියල්ල අතරේ අඳුරට අයිතිවාසිකම් කියන්නෝ තවත් සිටිනවා යැයි මිනිසුන්ගේ විශ්වාසයයි. ඒ යකුන්ය. පෙර කී සියල්ලන්ටම වඩා මිනිසා බය නිසි පාටක්, නිසි හැඩයක්, නිසි තැනක් නැති යකුන්ටය රාත්‍රිය මැදියමට ළංවෙද්දී එතැනින් පසු කාලය යකුන්ට සින්නකර දෙන්නට පැරැන්නන් කටයුතු කළේ එනිසා යැයි විශ්වාසය කළ හැකිය. මැදියමින් පසු කාලය ඔවුහු හැඳින්වූයේ යක්කු ගස් නඟින වෙලාව යනුවෙනි. එසේත් නැතිනම් යක්කු පාරට බහින වෙලාව යනුවෙනි. ඒ වෙලාවට යකුන් මහමඟ සැරිසරමින් ගොදුරු සොයන බවට පැරැන්නෝ විශ්වාස කළහ. එනිසා ඒ කාලහෝරාව මඟහැර සිටීමට පැරැන්නෝ උත්සාහ කළහ.
මැදියම් රැයත් සමඟින් එලෙස මඟහැර යා යුතුම තැන් රැසකි. ඒ අතර මුලින්ම කියැවෙන්නේ තුංමං හන්දි, නුගවැල් අසල සොහොන් පිටි, කැලෑබද ප්‍රදේශ, හරක් මරන ස්ථාන, මිනිසුන් නැති පාළු නිවෙස්, ගල්තලා, නාන තොටවල් ආදී තැන්ය. මේ ස්ථාන හැකි අයුරින් මඟහැර යන්නට උත්සාහ කළ පැරැන්නෝ ස්ත්‍රීන් තනිපංගලමේ කැලයකින් යෑම රාත්‍රියේ දඩමස් රැගෙන යෑම, පිසින ලද ආහාර තුන්මං හන්දියකින් රැගෙන ගොස් අනුභව කිරීම ආදිය හිතමතාම යකුන් ඇඟට දමාගැනීමක් ලෙසින් සැලකූහ.
විවිධාකාරයෙන් වර්ගකර, නම්කර තිබුණද යකුන් ප්‍රමාණය කොතරම්ද යන්න නිශ්චිතව කිව නොහැකිය. එහෙත් ඔවුන් අතරින් මිනිසාගේ බිය, සැක සහ විශ්වාසය අනුව යකුන් වර්ග පනහක් පමණ ප්‍රධාන ගණයෙහිලා සලකති. ඒ අතරින්ද රීරි යකා, සන්නි යකා, සූනියම් යකා, මහාකළු යකා, කළු කුමාර යකා සහ මහසෝනා යකා ජනමනස තිගැස්මට ලක්කළ යකුන්ය. එයින්ද නම ඇසුවත් මිනිසා බියට පත්කරන යකකු වේ නම් ඒ මහසොහොනාය. මිනිසාට මරණය පවා ළඟාකර දිය හැකි මහා බලයක් මහසොහොනාට ඇතැයි ගැමි සමාජය තුළ ප්‍රබල විශ්වාසයක්ද ඇත. සොහොන්වල සැරිසරන නිසාම මේ නම ලැබූ බව ජනප්රවාදයේ සඳහන් වෙයි. ඇතැම් විට කඳු මුදුන්වල රැකවල්ලා සිටින අතර, මිනී වටකරගෙන සිටින බවද පැවසෙයි. අසූ එක් රියනක් උසින් යුත් මහසොහොනාට ඇස් තුනකි. අත් හතරකි. සම රතු පැහැතිය. පිටුපසට බැඳ ඇති කළු කොණ්ඩයකි. තියුණු දත් සහිත වලස් මුහුණකි. හිසේ දැල්වූ පන්දමක්ද, පපුවේ මලක්ද, දකුණු අතේ හෙල්ලයක්ද වමතේ ලේ වැගිරෙන ඇතෙක්ද සිරුර පුරා ඝනව වැවුණු ලොම්ද ඇති බවට ජනප්රවාදයේ සඳහන් වෙයි.
මහසොහොනා මිනිසුන්ට වින කරන්නට විවිධාකාර උපක්‍රම භාවිත කරයි. මිනිසාගේ සිරුර කෙසඟ වීම, පිපාසය, හකු පූට්ටුව, උමතුව, පිස්සු විකාර ගතිය, ඇඟ කැසීම, මලපහ නොයෑම, වාත අමාරුව, දියගෙඩි මතුවීම, දුර්වලකම, සිහි නැති වීම, නන්දොඩවීම, නහර නිල් පැහැවී සුදුමැලි වීම, නිතර උණ, ඇඟපත රුදාව, ආදී රෝග මහසෝනාගේ බලපෑමෙන් මිනිසාට වැලඳෙන බව අතීතයේ සිටම පැවත එන විශ්වාසයකි. මෙලෙස මහසොහොනා කරනු ලබන රෝගවලට පිදේනි, පිදවිලි දිය යුතු යැයි පැවසෙන අතර, එහිදී ඔහුට ගිල දැමීමට පණ ඇති කුකුලකු සහ මිනී හිසක පිසින ලද බත් දිය යුතු බව යාග සාහිත්‍යයේ දක්නට ලැබේ.
රාත්‍රිය උදාවෙත්ම අමු සොහොන්වල වැඩිපුරම සැරිසරන මහසොහොනාට අවතාර දහයකි. ඒ වෘකයා, බල්ලා, ඌරා, ගොනා, කන්‍යාව, මිනිසා සහ මහ අවතාරයයි. මහසොහොනා පහර දෙනු ලබන්නේ පිටුපස සිට බවත් එසේ පහර දුන් ස්ථානයේ ඇඟිලි පහර නිල් පැහැයෙන් පිහිටන බවත් අතීත ගැමියෝ විශ්වාස කළ අතර, ඔවුහු මහසොහොනාගේ පහරදීම් හඳුනා ගන්නේද එම සලකුණු තුළිණි.
ජන සමාජය අතර විවිධ වෙස්ගෙන සැරිසරන මහසොහොනා නම් කිහිපයකින් හඳුන්වයි. මහසොහොනා, රීරි සොහොනා, මිනී සොහොනා, පුලුටු සොහොනා, ලේ සොහොනා, අමු සොහොනා, ජය සොහොනා, මරු සොහොනා, ගොලු සොහොනා ඒ නම් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර, ඔහුගේ උප්පත්ති කතාවත් විවිධාකාරය. එයින් එක් කතාවකට අනුව ගජරාෂ්ට රජු හා ඉන්ද්‍රාවතී බිසව මහසොහොනාගේ පියා සහ මව වෙයි. තවත් කතාවකට අනුව මවුපියෝ වන්නේ සොරු දත්ත ඊශ්වරයා හා ගජකුම්බකාරී බිසවයි.
තවත් කතාවකට අනුව මහසොහොනා බිහි වන්නේ දුටු ගැමුණු රජ සමයේය. දිනක් ගැමුණු රජුගේ යෝධයකු වන ගෝඨායිම්බර සිය බිරිය සමඟ උත්සවයකට ගොස් ඇත. එම ස්ථානයට පැමිණෙන ජයසේන නම් යක්ෂ ගෝත්‍රිකයාට ගෝඨයිම්බරගේ බිරිය කෙරේ සිත පැහැදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත දෙදෙනා අතර ගැටුමක් හටගනී. අවසානයේ ගෝඨායිම්බර එල්ල කළ පා පහරින් ජයසේනගේ හිස කඳින් වෙන්වූ බවත්, එය දුටු හෙනහුරා වලස් හිසක් රැගෙනවිත් ජයසේනට සිරුරට සවිකර පණ දුන් බවත් පැවසේ. ඒ අනුව වලස් හිසක් සහිත ජයසේන එතැන් පටන් මහසෝනා වූ බවටත් ජනප්රවාදයේ සඳහන් වෙයි.
කුමාර රත්නායක











