අපේ රටේ එක රැයින් ජනප්‍රිය වුණු තරු විශාල ගණනක් ඉන්නවා. ඒ අතරින් බොහෝ දෙනෙක් තම නිර්මාණ එක්ක ඒ ජනප්‍රියත්වය ඉදිරියට අරගෙන යන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම එහෙම එක රැයින් ජනප්‍රිය වෙලා සුළු කාලෙකින් ඉවතට විසිවෙලා යන තරුත් කලා ලෝකයේ ඉන්නවා.
මේ කියන්නේ ඒ දෙවර්ගයටම අයිති නැති සුවිශේෂී තරුවක් ගැන. ඇය නමින් වන්දනා ලියනාආරච්චි. නම කිව්ව ගමන් ඇය කවුද කියලා මතකයට නොනැඟෙන්න පුළුවන්. ඒත් රතු රෝස ටෙලි නාට්‍යයේ චාපා කියලා කිව්ව ගමන් විශේෂයෙන්ම වර්තමානයේ මැදිවයසේ පසුවන කලා ලෝලීන්ට ඇය පිළිබඳ මතකය අවදි වන බව නොඅනුමානයි. ඇය ජනප්‍රිය වෙන්නේ එකම එක ටෙලි නාට්‍යයක් හරහා. එතැනින් පස්සේ කිසිම කලා කටයුත්තකට සම්බන්ධ නොවුණත් ඇයගේ ජනප්‍රියත්වය අදටත් එහෙමමයි.
රතුරෝස ටෙලි නාට්‍ය විකාශනය වෙන්නේ 90 දශකයේ මුල් භාගයේදී. 1991 දී තමයි රතුරෝස රූ ගත කරලා තියෙන්නේ. වන්දනා එක්ක ඒ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ කමල් අද්දරආරච්චි. කමල් කියන්නේ 90 දශකයේ ටෙලි නාට්‍ය වංශ කතාවේ ඉදිරිපෙළේ නළුවෙක්. රතු රෝස විකාශනය වුණු 90 දශකයේ මුල් භාගය වෙද්දි ටෙලි නාට්‍ය කලාවේ අංක එකේ නළුවා කමල් කිව්වත් ඒකෙ වැරැද්දක් නෑ. ඒ යුගයේ කමල් රඟපෑව හැම ටෙලි නාට්‍යයකටම අසීමාන්තික ජනප්‍රියත්වයක් හිමි වුණා. ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ පළමු වරට කුඩුකාරයකුගේ චරිතයකට පණපොවමින් කමල් රඟපෑ “රන් කහවණු” ඒ අතරින් එකක්. ඒ ගැන අපි කමල් එක්ක පසුගිය සතියේ නැවත මතකය අලුත් කර ගත්තා.
රතු රෝස කියන්නේ ඒ වගේම මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වුණු ටෙලි නාට්‍යයක්. හැබැයි රතු රෝස ජනප්‍රිය වුණේ කමල් හින්දම විතරක් නෙවෙයි. ඒකට චාපගේ එහෙම නැත්නම් වන්දනාගේ ආදරණීය රඟපෑමත් බොහෝ දුරට ඉවහල් වුණා. රතු රෝස හරහා කමල් වගේම වන්දනාත් එක වගේ ජනප්‍රිය වුණා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට රසිකයන් ආකර්ෂණය කර ගන්න රතු රෝස ඉටුකෙරුව මෙහෙය සුළුපටු නෑ. හිරිමල් තරුණියක් වුණු වන්දනාගේ හැඩ රුවට, ඇයගේ සිනහවට, ඇයගේ කඳුළුවලට, විශේෂයෙන්ම ඇයගේ හඬට ඒ කාලේ තරුණ පරපුර පිස්සු වැටුණා. සමාජ ජාල නොතිබුණු ඒ කාලේ ලියුම් මඟින් ඇයට විවාහ යෝජනා එවූ තරුණයන් පමණක් නෙවෙයි තමාගෙ පුතු පිළිබඳ යෝජනා එවූ මව්වරුන්ද සිටිය බව වන්දනා පසු කාලෙක පවසලා තිබුණා.
අපේ සිංහල සිනමාවේ තරු යුගල සංකල්පය හරිම ජනප්‍රියයි. 70 දශකයේ ඉඳන් 90 දශකය වන තුරුම අපේ සිනමාවේ බොහොම ජනප්‍රිය තරු යුගල් කිහිපයක්ම හිටියා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් තියෙනවා. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය විදියට 70 දශකය සැලකෙනවා වගේම සිංහල ටෙලි නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය විදියට සැලකෙන්නේ 90 දශකය. ඒ හින්දා 90 දශකය ආරම්භයේදී ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරු ටෙලි තරු යුගල හොයමින් හිටියා. ඉතිං රතු රෝස විකාශනය වෙද්දි හැමෝම හිතුවේ ඒ අඩුව පිරවුණා කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. රතු රෝස හරහා අතිශයින් ජනප්‍රිය වුණු කමල්- වන්දනා නැවත කවදාවත් එකට රඟපෑවේ නෑ. ඒ විතරක් නෙවෙයි වන්දනා එතැනින් පස්සේ කවදාවත් නැවත රඟපෑවේ නැහැ. ජනප්‍රියත්වය වෙනුවෙන් බොහෝ දේ කරන නිළියන් ගැන ඇහෙන ලංකාවේ රඟපෑ පළමු නිර්මාණයෙන්ම අතිශයින් ජන්ප්‍රිය වෙලා තියෙද්දිත් කලා ගමනට තිත තැබුව වන්දනා සුවිශේෂී චරිතයක් වෙන්නේ ඒකයි. වන්දනා තව දුරටත් රංගන කලාවේ නිරත වෙන එකට ඇයගේ මවගේ තිබුණු විරෝධය තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. තම මවගේ ආදරය සහ ජීවිතයේ ඉදිරි ගමන වෙනුවෙන් එතරම් ජනප්‍රියත්වයක් මැද ඇය ගත් සෘජු තීරණය එක් අතකින් වර්තමාන පරපුරට හොඳ ආදර්ශයක්.
මවගේ විරෝධය හින්දා රඟපෑමට සමුදුන්නත්, වන්දනා රතු රෝස ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙත් ඇයගේ මවගේ හිතවත්කමක් මත. රතු රෝස කියන්නේ 80 දශකයේ බොහොම ජනප්‍රිය වුණු නව කතාවක්. ඒ යුගයේ ආදරණීය නවකතාකරු ලෙස හඳුන්වපු කුමාර කරුණාරත්නයන් තමයි රතු රෝස රචනා කරලා තියෙන්නේ. රතු රෝස ටෙලි තිරයට ගේන්න අධ්‍යක්ෂ රන්ජන් ද සිල්වාගේ හිතට ආවට පස්සේ ඔහු චාපගේ චරිතයට ගැළපෙන කෙනෙක් හොයන්න අවුරුදු තුනක් වෙහෙසිලා තියෙනවා. වන්දනාගේ මවගේ හිතවතෙකු හරහා රන්ජන් වන්දනාව සොයා ඇවිත් තියෙන්නේ ඒ උත්සාහයේ 37 වැනියා විදියට. රන්ජන්ගේ ඒ උත්සාහය සහ තෝරා ගැනීම කොයි තරම් සාර්ථකද කියන එකට රතු රෝස පේක්ෂකයන් අදටත් සාක්ෂි දරාවි.
රතු රෝස, වන්දනාගේ පළමු ටෙලි නාට්‍යය වුණාට කමල් ඇතුළු එහි රඟපෑ අනෙක් සියලුම ශිල්පීන් ශිල්පිනියන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඒ හින්දා ඒ අයගෙන් වන්දනාට විශාල සහයෝගයක් හිමි වෙලා තියෙනවා. එක් අවස්ථාවක ඇයම ප්‍රකාශ කෙරුව විදියට ජීවිතේට අඬලා නොතිබුණු ඇයට අඬන්න උගන්වලා තියෙන්නේ කමල්. රතු රෝස තුළින් අපි දැක්ක චාපගේ හැඬුම ඉතාම තාත්වික වුණේ ඒ හරහායි.
කමල් එහෙම නැත්නම් රතු රෝස නාට්‍යයේ සරත් එක්ක ප්‍රේමණීය ජවනිකා රාශියකට පෙනී සිටින්න ඇයට සිද්ධ වුණා. ඇය ඒවෙද්දි පාසල් අධ්‍යාපනය හමාර කෙරුවා පමණයි. ඒත් ඒ දර්ශන ඉතාම හැඟුම්බර අයුරින් රඟපාන්න ඇයට හැකියාව තිබුණා. රතු රෝස රසිකයකුට මේ සටහන කියවද්දි ඒ දර්ශන මැවී නොපෙනෙනවා නම් ඒක පුදුමයක්. චාපගේ චරිතයට එදා වගේම අදත් බොහෝ දෙනෙක් ආසයි කියලා මම කිව්වේ ඒකයි.
රතු රෝස ටෙලි නාට්‍යයෙන් පස්සේ රැකියාවක් සඳහා යොමු වූ වන්දනා වසර ගණනාවක් විදේශගතව සිටියා. රතු රෝස අවසානවීමෙන් පසුවත් මාධ්‍ය සමඟ ඇය සුහදව කටයුතු කළා. නමුත් විවාහ වී දරුවන් ලැබීමෙන් පසුව තමන්ට නිදහසේ කල් ගත කිරීමට ඉඩ දෙන මෙන් ඇය මාධ්‍යයෙන් සුහද ඉල්ලීමක් කළා. ඒ මීට ගොඩ කාලෙකට කලින්. ඒත් ඒ සුහද ඉල්ලීමට ගරු කළ යුතු නිසාම ඇයගේ වර්තමාන ජීවන තොරතුරු හොයන්න අපි උත්සාහ කළේ නැහැ. ඒත් ආදරණීය මතක අවුස්සන්න ඕනෑම කෙනෙක් ආසයි. මේ චාප ගැන එහෙම ඇවිස්සුව මතක ගොඩක් විතරයි.
චන්දන පොන්නම්පෙරුම











