වැලිබල්වන් පී.එල්.සී. සමූහයේ සාමාජිකයෙකු මෙන්ම මෙරට ඇසුරුම් කර්මාන්තයේ ප්‍රමුඛයාද වන යුනිඩිල් සමාගම් සමූහය පෙබරවාරි 27 වැනිදා සිය අභිමානවත් 25 වැනි සංවත්සරය කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් සැමරීය. වැලිබල්වන් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා, යුනිඩිල් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ගනුදෙනුකාර භවතුන්, බැංකුකරුවන්, සැපයුම්කරුවන්, යුනිඩිල් පාලනාධිකාරිය, සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි විය.
ඇසුරුම් කර්මාන්තයේ නව ප්‍රවණතා අනුව යමින් සිය සන්නාමය වෙනස් කළ යුනිඩිල් ඊට ඇසුරුම් ප්‍රමුඛයා යන පාඨයද එකතු කර ඇත. වසර 25ක විශිෂ්ට සේවාව තුළින් දිනාගත් ගනුදෙනුකරුවන්ගේ ඉහළ විශ්වාසය සමඟ යුනිඩිල් සමූහය රැලි ඇසුරුම් සහ කඩදාසි බෑග් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස පෙරට පැමිණ සිටී. ‘මේ සුවිශේෂ සන්ධිස්ථානයේදී නව මුහුණුවරකින් පෙරටයෑම අපට විශාල සතුටක්. පාරිභෝගිකයා ඉලක්ක කරගත් නිර්මාණාත්මක ප්‍රවේශයකින් නව තාක්ෂණය සමඟ අනාගතයට පිවිසීමට බලාපොරොත්තු වෙනවා. කඩිනමින් සේවා සැපයීමට හැකිවන සේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අපි ආයෝජනය කරනවා.’යුනිඩිල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි බැනට්ගම්ලත් මහතා පැවසීය.











