එදිනට වාස්තු පරීක්ෂා කිරීමට තිබූ කොළඹට ආසන්න නිවෙසට ගෙවදින විට එහි සිටියේ කහ පැහැති සාරියකින් සැරසුණු ගෙහිමි කාන්තාව සහ ඇගේ සේවක සේවිකාවන් කිහිප දෙනෙක් පමණි. ගෙවත්ත සහ නිවෙස පුරා මහා අඳුරු මූසල ස්වභාවයක් ඉසිලීය. එනමුත් හඬ තීව්‍ර බව අඩු පිරිත් සූත්‍ර දේශනාවක් මට ඇසිණි. ගත සිත ප්‍රබෝධමත් කරන හඳුන්කූරු සුගන්ධයක් නිවෙස පුරා පැතිරිණි. නිවෙස මනා ලෙස අස්පස් කර පිළිවෙළකට සකසා තිබිණි. මනා පිළිවෙළ අතරින් බලන බලන අත තිබුණු ගුප්ත ස්වභාවය නිවෙසියන්ගේ ජීවිත ශෝකාන්තය රහසක් ලෙස සැඟව ඇතියි මට සිතිණි. නිවෙසේ එකින් එක වාස්තු පරීක්ෂා කර බැලීමේදී ඔවුන්ගේ ජීවිත වසාගත් ශෝකාන්තය නිරාවරණය කර ගැනීමට හැකි විණි. මෙම නිවෙසේ වාස්තු විද්‍යාත්මකව පිහිටීම් අනුව ගෘහමූලිකයාට ප්‍රබල මාරක දෝෂයක් පිහිටා තිබිණි. ගෙහිමි කාන්තාව ව්‍යාපාර කිහිපයක හිමිකාරීත්වය දැරූ අතර එම ව්‍යාපාර සියල්ල පරිපාලනය කළේ ඇයගේ එකම පුතණුවන්ය. පියා මියගොස් තිබුණේ පුතණුවන් කුඩා කාලයේදීමය. මෙයින් වසර 04කට පමණ පෙර තම නිදන කාමරය තුළදීම පුතා මියගොස් තිබුණේ ඩෙංගු වැලඳීමෙනි. පුතාගේ මරණයෙන් පසු ගෙහිමි කාන්තාව තව තවත් ආගම දහමට නැඹුරු වී තිබූ අතර ඇයගේ එකම අභිප්‍රාය වූයේ පුතුගේ හදිසි මරණයට නිවෙස රුකුලක් වූවේද
යන්න දැන ගැනීමයි.
පුතණුවන්ට මරු කැඳැවූ වාස්තු දෝෂ සහ ඒවා ඉවත් කළේ මෙසේය.
- මර්මස්ථාන ද්වාර දෝෂය
මෙම නිවෙසේ ප්‍රධාන දොර තබා තිබුණේ නිවෙස් මධ්‍ය ලක්ෂ්‍යය මර්මස්ථානයේය. සරලව කිවහොත් ගෙදර ඉදිරිපසින් බැලූ විට ප්‍රධාන දොර හරි මැද පිහිටා තිබීම මර්මස්ථාන දෝෂයයි. මර්මස්ථානයේ දොර දැමීමෙන් ගෘහමූලිකයාගේ ආයුෂ අවුරුදු 03කට සීමා වේ. දීර්ඝායුෂ ඇති අයකු නම් ඔත්පළ වීමකින් හෝ අනතුරකින් ඇඳට වැටී අක්‍රීය පුද්ගලයකු වනු ඇත.
ගෘහමූලිකයා නොමැති නිවෙසක මර්මස්ථාන ද්වාර මාරකය පවුලේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාටද නැතහොත් කවරකු විසින් භුක්ති වින්දත් ඔවුන්ටද මාරක දෝෂ ගෙන දෙයි. මර්මස්ථාන දෝෂයට ලක් වූ ප්‍රධාන දොර නැකැතකට ගලවා ධන පාදයේ එක් අර්ධයක නැවැත තැබුවේය. - දුබා දෝෂය
මෙම නිවෙසේ බ්‍රහ්ම පාදය පිහිටා තිබුණේ පඩිපෙළ පාමුලය. එමෙන්ම බ්‍රහ්ම පාදයේ සිට බිත්තියටත් පඩිපෙළටත් දුර තිබුණේ අඟල් 8ක් පමණි.
අවම වශයෙන් බ්‍රහ්ම පාදය වර්ග අඩි 16ක් වත් නිදහසේ තිබිය යුතුය. බිත්තියක් වැටුණා වූ බ්‍රහ්ම පාදය නිසා ඇති වූ දුබා දෝෂය මගින් පවුල් ජීවිත සීසීකඩ වී යයි. ගෘහමූලිකයා ඇතු`ඵ නිවෙසියන්ගේ ජීවිත මඟ අහුරාලයි.
බ්‍රහ්ම පාදය නිරවුල් කිරීම සඳහා බිත්තිය හෝ පඩිපෙළ ඉවත් කළ නොහැකි බැවින් නිවෙසට නව කොටසක් එකතු කිරීමෙන් බ්‍රහ්ම පාදය නිදහස් නිරවුල් තැනකට එන ලෙස සකසා බ්‍රහ්මපාදය සක්‍රිය කළේය. - වැරෙන්ඩා, ඉස්තෝප්පු, අත්තිවාරම සමඟ ගෙන නිවෙසක වර්ගඵලය නිර්ණය කිරීමෙන් ඇතිවන දෝෂ
මෙම නිවෙස සෑදීමේදී නිවෙසේ වර්ගඵලය නිර්ණය කර තිබුණේ වැරෙන්ඩා, ඉස්තෝප්පු වැනි එළිමහන් කොටස් සමඟ ගෙනය. වරද සිදුවූයේ එතැනය. දොර මර්මස්ථානයේ යෙදීමටත්, බ්‍රහ්මපාදය පීඩා විඳීමටත් හේතු වූයේ වැරැදි ලෙස කළ ගණනයයි. මෙලෙස බ්‍රහ්ම පාදය තිබෙනවා යැයි සිතන තැන බ්‍රහ්ම පාදය නොතිබිණි.
ගෘහ පිණ්ඩය හෙවත් අංග සම්පූර්ණ නිවෙස උත්පාදනය වන්නේ අත්තිවාරම්, බිත්ති, වහලය යන අංග 3ම තිබුණොත් පමණි. අංග 2ක් හෝ 1ක් තිබුණහොත් එය වර්ගඵලයට නොගනී. සැමවිටම නිවෙසේ බ්‍රහ්මපාදය සෙවීමට වැරෙන්ඩා අත් හැරිය යුතුය. තවද නිවෙසකට අත්තිවාරමක් පමණක් දැමූ පමණින් කිසිදු සුගතියක් අත්නොවේ.
මේ වන විට මෙම නිවෙසේ වාස්තු දෝෂ නිරාකරණය කර භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට ගෙහිමි කාන්තාව බලාපොරොත්තුව සිටින්නීය.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ











