“කඳුළු හා එතී
සුසුම් පාවෙතී…
සිහින ඉහිරුණු
එක්ටැම්ගේ පුරා…
පෙමක් ඉකිබිඳී
හිතින් ළතවෙවී…
සොඳුරු උරුමය
නිහඬව කුස දරා…”
මේ යූටියුබ් හරහා අලුතින්ම අහන්න ලැබුණු ගීතයක පදවැල් ටිකක්. මේ දිනවල බොහෝ පිරිසකගෙ අරමුණ වෙන්නෙ මොකක් හෝ ගීතයක් යූටියුබ් ඔස්සේ ප්‍රචාරය කරල විවුස් ලබාගන්න උත්සාහ කරන එක. ඒ වෙනුවෙන් නිර්මාණය වන ගීතවල බොහෝ විට කොහෙන් හෝ වචන ටිකක් තනුවකට ගළපල, ඒකට කොහෙත්ම ගැළපෙන්නෙ නැති රූප රචනයක් කිරීම තමයි අද අපිට දකින්න ලැබෙන්නෙ. එවැනි ගීත බොහෝ විට මුල් තත්පර කීපය හැරෙන්නට සම්පූර්ණ ගීතයම නරඹන්න බොහෝදෙනෙක් පෙලෙඹෙන්නෙ නෑ. ඒකාකාරී වචන, රූප රචනා බලන්න කාගෙත් තියෙන අකමැත්ත තමයි එයින් පේන්න තියෙන්නෙ.
බොහෝදෙනෙක් තමන්ගෙ ඬේට ප්‍රමාණය පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වන මේ වගේ කාලයක යූටියුබ් ඔස්සේ ප්‍රචාරය වන ගීතයක් එක් වරක් නොව කිහිපවරක් නරඹන්න හිතෙනව නම් ඒ නිර්මාණයේ කුමන් හෝ විශේෂත්වයක් තියෙන්න ඕනෙ. වර්තමානයේ බිහිවන අවර ගණයේ නිර්මාණ අතරේ රසවිඳින්න පුළුවන් ගීත බිහිවෙන්නෙ බොහොම අඩුවෙන්. විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් එක්ක බොහෝදෙනා ගෙවල්වලට කොටුවෙලා ඉන්න මොහොතක හැමදාම අහන්න, දකින්න ලැබෙන කිසිදු අර්ථයක් හෝ රසඥතාවක් නැති ගීත වෙනුවට මෙවැනි වෙනස් විදිහේ නිර්මාණයක් එක්ක ප්‍රේක්ෂකයන්ට වෙනස්ම රසඥතාවක් ලබාදෙන්න මේ ගීතයට හැකිවෙලා තියෙනවා.
උමා අසෙනි රචනා කළ පදවලට ජීවය දෙමින් යුග ගීතයක් විදිහට මෙම ගීතය ගායනා කරන්නෙ බාචි සුසාන් සහ හිරුෂි ජයසේන. තනු නිර්මාණය කරල තියෙන්නෙ පසන් ලියනගේ. ආදරයෙන් ලබන්න පුළුවන් සුන්දරතම ඵලය වන දරුවකු පිළිබඳ උපදින ස්නේහය මනාව රසිකයන් තුළට ගෙනයන්න බාචිගෙ හැඟීම්බර ගැඹුරු කටහඬට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම නිතර අපට අසන්නට නොලැබෙන හිරුෂිගෙ ලයාන්විත හඬ මනාව තනුව හා මුසුවෙලා තිබීම ගීතය රසය තව තවත් වැඩිවෙන්න උපකාරී වෙලා තියෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වෙන්නෙ රූප රචනාවක් වෙනුවට බාචි සහ හිරුෂිගෙ ගායනය පමණක් මෙම වීඩියෝවට යොදාගෙන වෙනස්ම නිර්මාණයක් ඉදිරිපත් කිරීමට දරල තියෙන උත්සාහය. එය කොතරම් සාර්ථකද කියල එය නරඹන ඔබට වැටහේවි.
“වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
ගමන කෙළවර දුටුවොත් හෙට මගේ
කැකුළු මල අපේ අරන් යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ”
සෑම මවුපියන්ගේම එකම අරමුණ තමන්ට හැකි උපරිමය තම දරුවන්ට ලබාදීමට. අනාගතයේ විඳින්නට වෙන කරදර, දුක් ගැහැටවලින් තම දරුවන් ඈත්කර තැබීමට ගන්නා උත්සාහය, මව සහ පියා අතර ඇතිවන සංවාදයක් ආකාරයෙන් නැවුම් මාතෘකාවක් ඔස්සේ රසිකයන් ඉදිරියේ තබන්නට මෙම නිර්මාණයට හැකිවෙලා තියෙනවා. ගීතය අවසන් වෙන්නෙ ලොව පවතින සදාතනික සත්‍ය ගැන පාඩම අපට සිහිගන්වමින්.
“මල් පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින් මේ දිවි ගමනේ…”
ඉන්දික වික්‍රමරත්න











