ශ්‍රී ලංකා සිනමා වංශකතාවේ තවත් එක් සුවිශේෂී පරිච්ඡෙදයක නිමාව සනිටුහන් කරමින් ප්‍රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා පසුගිය 29 වැනිදා අප අතරින් සදහටම සමුගෙන ගියේය. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේදී අවසන් සුසුම පිට කරන විට ඒ මහතා 79 වැනි වියේ පසු විය. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යනු මෙරට සිනමාවේ දැවැන්තයන් සමඟ උරනුර ගැටෙමින් දශක කිහිපයක් පුරා තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ අසහාය රංගන ශිල්පියෙකි. නමුත් මියයන තුරුත් ඒ කලාකරුවාට හිමි විය යුතු නිසි ගෞරවය සහ ඇගයීම ලැබුණාද, යන්න නම් සැක සහිත කරුණකි. මේ ඒ නිසි ගෞරවය ලබා දීම වෙනුවෙන් සිදු කරන උත්සාහයකි.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන නමට වඩා රසිකයන්ගේ හදවතේ රැඳී ඇත්තේ ඔහුගේ රුව යැයි පැවසුවහොත් එය අතිශෝක්තියක් නොවේ. නම ඇසූ පමණින් ඔහු පිළිබඳ නොදන්නා සිනමා ලෝලීන් පවා සිටිය හැකි නමුත් ඔහුගේ රුව දුටු පමණින් මේ අසහාය නළුවා පිළිබඳ මතකය අවදි නොවන කෙනෙක් වේ නම් ඒ කුඩා දරුවකු පමණි. ඔහුගේ නාමය ජනප්‍රිය නොවීමට බලපෑ ප්‍රධාන හේතුව මාධ්‍ය ඔස්සේ ඔහුට නිසි ගෞරවය ලබා නොදීමද යන්නද විමසා බැලිය යුතු කරුණකි.
කොච්චිකඬේ ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙනි. ඒ අනුව ශාන්ත බෙනඩික් විද්‍යාලයයෙන් මෙරටට බිහි කළ සුපිරි සිනමා තරු ලෙස සැලකෙන විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙණිය සහ රොබින් ප්‍රනාන්දු අතරට එකතු වන අනෙක් නම වන්නේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුය. පාසල් කාලය තුළදී ඔහු වඩාත් කැපී පෙනී ඇත්තේ මල්ලව පොර ක්‍රීඩකයකු වශයෙනි. ඒ හරහා 1961 වසරේදී ජාතික මල්ලව පොර ශූරයා බවට පත් වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු 1962 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 1964 ඔලිම්පික් තරගාවලිය සඳහාද සුදුසුකම් ලැබූ ක්‍රීඩකයකි.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් විශිෂ්ට සිනමා නළුවා බිහි කිරීම සඳහා පන්නරය ලැබී ඇත්තේද එම ක්‍රීඩාව හරහා යැයි කිවහොත් එය නිවැරැදිය. 1963 වසරේදී ඔහු සිනමාවට පිවිසෙන්නේ සටන් නළුවෙක් වශයෙන් වීම එයට හේතුවය. ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ “වන ස්වර්ගයක් කුමටද” මේ අද්විතීය නළුවාගේ පළමු චිත්‍රපටය ලෙස සටහන්ව ඇත. එහි ඔහු රඟපා ඇත්තේ සටන් හෙන්රි ජයසේන සමඟිනි. ඒ සටන් ජවනිකාවක් සඳහාය. කෙසේ නමුත් යම් හේතුවක් නිසා එම දර්ශනය ප්‍රදර්ශනයේදී කපා දමා ඇත.
අනතුරුව “රුහුණු කුමාරි” චිත්‍රපටය හරහා නැවතත් සටන් ජවනිකාවටක පණ පොවන ඇලෙක්සැන්ඩර් එතැන් පටන් වසර කිහිපයක් යන තුරුම ලංකාවේ ප්‍රධාන පෙළේ සටන් නළුවකු සහ සටන් අධ්‍යක්ෂවරයකු බවට පත් විය. 60 දශකයේ අග භාගයේ තිරගත වූ චිත්‍රපටවල ඔහු නොමැති සටන් ජවනිකාවක් සොයා ගැනීමට පවා අපහසුය.
එතැන් පටන් හාර ලක්ෂය, තුෂාරා, රජගෙදර පරවියෝ, වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වුණු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානය වන්නේ යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ “සහායට ඩැනී” චිත්‍රපටය යැයි කිවහොත් එහි වරදක් නැත. යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ ඒවාය. එකල ඔහුගේ චිත්‍රපටවල ප්‍රධාන නළුවා වූයේ විජය කුමාරණතුංගයන්ය. යසපාලිත සහ විජය දේශපාලන පිටියේද මිතුරන් ලෙස කටයුතු කළත් යම් අවස්ථාවක ඔවුන් දෙදෙනා අතර යම් මතවාදයක් ඇති වී ඇත. විජය වෙනුවට විකල්පයක් ලෙස යෙදවිය හැකි නළුවෙකු පිළිබඳ යසපාලිත නානායක්කාරගේ අවධානය යොමුව ඇත්තේ ඒ අවස්ථාවේදීය. එවිට ඔහුගේ මතකයට මුලින්ම නැඟී ඇත්තේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගේ රුවය. සටන් නළුවකු ලෙස එතෙක් කටයුතු කළද, ඔහු සතු පෞරුෂය සහ කඩවසම් බව සහ සැබෑ පිරිමි පෙනුම ඒ සඳහා හේතු විය. එතෙක් විජයගේ පෙම්වතිය වූ සෝනියා දිසා, “සහායට ඩැනී” චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර්ගේ පෙම්වතිය විය. එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිරගත වූ සටන් නළුවකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රට පුරා යුවතියන්ගේ සිහින කුමරා බවට පත් වන ආකාරයද දක්නට හැකි විය. එතැනින් නොනැවතුණු යසපාලිත, ඇලෙක්සැන්ඩර් සහ සෝනියා දිසා යොදා ගනිමින් “ඇගේ ආදර කතාව” ද නිර්මාණය කළ අතර එම චිත්‍රපටයටද විශාල ජනප්‍රියත්වයක් හිමි විය.
70 දශකයේදී විජය, ගාමිණී දැවැන්ත සිනමා නළු යුගල සමඟ බොහෝ විට රඟපෑ නිළිය වූයේ මාලනී ෆොන්සේකාය. ගාමිණී සහ මාලනී අතර තිරයෙන් පිට ආදර කතාවක් පිළිබඳවද බොහෝ දෙනකු කතා කළ අතර 70 දශකයේ මැද භාගය වන විට එම ආදර කතාව විජය-මාලනී ලෙස වෙනස්ව තිබූ බවද ප්‍රකට කරුණක් විය. මේ තිදෙනා අතරට ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මැදිහත් වන්නේ “සැණකෙළිය” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීය. ඒ වන විට ඇලෙක්සැන්ඩර්, විජයගේ හිත මිත්‍රයකු ලෙස සැලකුණු අතර චිත්‍රපටයේ සටන් ජවනිකාවක් අතරතුර ඔහු එල්ල කළ පහරකින් ගාමිණී ෆොන්සේකාට තුවාල සිදු විය. ඒ හේතුවෙන් චිත්‍රපටයේ වැඩ කටයුතු නතර කිරීමට පවා සිදු විය. එම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේද ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වූ බැවින් ගාමිණීගේ විශ්වාසය වූයේ එය ඔහු හිතා මතාම සිදු කරන ලද්දක් බවය.
ඉන් අනතුරුව ඇලෙක්සැන්ඩර්ගේ ජීවිතයේ වඩාත්ම සුවිශේෂී අවස්ථාව ලෙස “සරදියෙල්ගේ පුතා” චිත්‍රපටය හැඳින්විය හැක. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සඳහා නම් රැසක් යෝජනා වූ නමුත් අවසානයේ අවස්ථාව හිමි වූයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුටය. එහිදී ඔහුගේ සහායිකාව වූයේ මාලනී ෆොන්සේකාය. “සරදියල්ගේ පුතා” චිත්‍රපටයද බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් තිර ගත විය.
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වැනි අග්‍රගණ්‍ය කලාකරුවකු පිළිබඳ ආවර්ජනය කිරීමට රසවත් මතක බොහොමයක් ඇති නමුත් මේ ඒ අතරින් කිහිපයක් පමණි. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිර ගත වූ චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වූවා පමණක් නොව “පස මිතුරෝ” චිත්‍රපටය හරහා ඔහු ඉදිරිපත් කළ රංගනය විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක් විය. ඉතාම කලාත්මක නිර්මාණයක් වූ එහි ඇලෙක්සැන්ඩර් රඟපෑවේ ද්‍රවිඩ සිරකරුවකුගේ චරිතයකි. ඔහුගේ සහායකයා වූයේ මර්වින් ජයතුංගය. සටන් නළුවන් දෙදෙනකු ප්‍රධාන චරිත නිරූපණය කළ මේ චිත්‍රපටය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර විය.
සිනමාවේ විවිධ කඩඉම් හරහා තම රංගන හැකියාව පෙන්වා ඇති නමුත් සම්මාන උළෙලහිදී ඇලෙක්සැන්ඩර් පිළිබඳ අවධානය යොමු නොවීම සැබවින්ම කනගාටුවට කරුණකි. එකල සිනමාව පිළිබඳව කතා කළ මාධ්‍ය පවා ඔහු වෙනුවෙන් ඉඩ වෙන් කර ඇත්තේ ඉතාම අඩුවෙනි. තමන් එකල හොඳම නළුවන් දහදෙනා අතර හත්වෙනි තැන පසුවූ බව වරක් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු විසින්ම මාධ්‍යයට පවසා තිබුණි. එම තැන නිර්මාණය කළේ මාධ්‍ය විසින්මදැයි යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.
කෙසේ වෙතත් මේ වන විට අපට ඉතිරිව ඇත්තේ මේ අසහාය කලාකරුවාගේ මතක පමණි. 2000 දශකයේ අග භාගය වන තුරු විටින් විට සිනමා නිර්මාණයන්ට සම්බන්ධ වූ ඔහු එතැන් පටන් ගත කළේ ඉතාම නිස්කලංක දිවියකි. ජීවන ගමනට නිමාව තැබුවද, ඔහුගේ රංගනය සෙලෝලයිට් පට තුළ තවමත් ජීවමානය. ඒ මතක තවත් වසර ගණනාවක් රසික හදවත් අමන්දානන්දයට පත් කරනු ඇත. සොඳුරු කලාකරුවානනි, ඔබට සුබ ගමන්.
චන්දන පොන්නම්පෙරුම











