• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දන්න වෙසක් ගැන නොදන්න කතා

May 2, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
දන්න වෙසක් ගැන නොදන්න කතා
Share on WhatsAppShare on Facebook

දුකින් ඉපිද, දුකින් ජීවත්වී, දුකින් මියයන සත්වයා කෙරෙහි මහා අනුකම්පාවෙන් මහත් දුෂ්කරක්‍රියා කොට ඒ උතුම් සැනසීමේ මාර්ගය ලොවට විවර කරදුන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා සිහිකිරීම වෙනුවෙන් ලොව පුරා බෞද්ධයෝ වෙසක් උත්සවය මහත් ගෞරව භක්ත්‍යාදරයෙන්, විචිත්‍ර අන්දමින් සැමරීම සිදුකරයි. කි.පූ. 623 වෙසක් පුර පසළොස්වක පොහෝදිනක ලුම්බිණි සල් උයනේ බෝසත් උපත සිදුවීම කිඹුල්වත් නුවරට පමණක් නොව මුළු ලොවටම මහා මංගල්‍යයක් වූයේ, ලෝකයාම සසර දුකින් මුදාගත් ඒ පින්බර කුමරුන්ගේ උපත මහා ආශ්චර්යක් වූ නිසාවෙනි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉහත දීපංකර බුදුන්වහන්සේ සමයේදී එළඹි වෙසක් දිනයක, මතු බුදුවන බවට නියත විවරණ ලබා වෙසක් පුන් පොහෝ දිනයක මෙලොව එළිය දුටු බෝසතානන් වහන්සේ වෙසක් දිනයකම ලොව්තුරා බුද්ධත්වයට පත්වූ සේක. බුදු බව ලබා 45 වසරක් ලෝ වැසි ජනතාව සසර දුකින් මුදවාලීම සඳහා අපමණ වෙහෙසක් දරා අවසානයේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පසක් කරමින් වෙසක් පොහෝ දිනකම පිරිනිවන් පා වදාළ සේක.

රජ පවුලක උපත ලැබූ බෝසතාණන් වහන්සේගේ බෝසත් උපත මහත් උත්සවශ්‍රීයෙන්, බෝසතාණන් වහන්සේගේ උපන් දිනයේම සැමරීම සිදුවූ අතර එදා පටන් අද දක්වාම බුද්ධ තෙමඟුල ලෝකවාසී බෞද්ධයෝ මහත් උත්සවාකාරයෙන්ම සැමරීම සිදුකරති. මෙරට ජනයාගේ උත්සව අතරින් ප්‍රධානම උත්සවය වන්නේද වෙසක් උත්සවයයි. මෙරට බෞද්ධ ජනතාවට හේතූන් කිහිපයක් නිසාම ආගමික, ජාතික හා සංස්කෘතික වශයෙන් ද වෙසක් දිනය ඉතා වැදගත්වේ. මහාවංශයෙහි පළමු පරිච්ඡේදයේ 72 – 84 ගාථාවන්හි දැක්වෙන අන්දමට බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කොට සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල කන්දේ ශ්‍රීපාදය පිහිටුවීම සහ අනාගතයේදී ඉදි කළ යුතු වැදගත් ආගමික ස්ථාන හඳුනා ගෙන ඒ ස්ථානවල වැඩසිටීම සිදුකළේ වෙසක් පුර පසළොස්වක දිනකදීය. කැලණියේ මණිඅක්ඛිත නා රජුගේ හා සමන් දෙවිඳුන්ගේ ආරාධනයෙන් සිදුවූ ලෝක නායකයකුවූ බුදුන් වහන්සේගේ මෙරට ආගමනය දැවැන්ත උත්සවයක් වීම නොඅනුමානය. එදා මෙරට සිටි රජතුමා වූ මණිඅක්ඛිත රජතුමා හා සමන් දෙවියන් ප්‍රමුඛ ජනතාව මුළු රාජ්‍යයම අලංකාර ලෙස සරසා මහත් උත්සවශ්‍රීයෙන් බුදුන්වහන්සේ පිළිගන්නට ඇත. මහාවංශ කතුවරයා ඒ බව මෙසේ දක්වයි “මණිඅක්ඛිත නම් නා රජ තෙම එළඹ සංඝයා සහිත තථාගතයන් වහන්සේට නිමන්ත්‍රණය කළේය. සර්වඥ තෙම සම්‍යක් සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි ජේතවනයෙහි වාසය කරන සේක්. ලෝක ස්වාමී වූ පස්මරුන් දිනූ මුනිශ්වර තෙමේ භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරන ලද්දේ දෙවෙනි දවස පෞර්ණමාසි තිථියෙහි එහිදීම සඟළ සිවුර පොරවා පාත්‍රය (ශ්‍රී හසතයෙන්) ගෙන ඒ කැලණි දෙස වූ මණිඅක් (නාරජහු) නිවෙසට වැඩි සේක. කැලණි සෑය පිහිටි තන්හි කරන ලද රත්න මණ්ඩපයෙහි සංඝයාද මා හැඟි වූ පළගෙහි තමන් වහන්සේ ද වැඩ උන් සේක. සමූහය සමග වූ නා රජ තෙම සොම්නස් වූයේ දිව්‍ය වූ ඛාද්‍ය භෝද්‍යයෙන් සංඝයා සහිත සර්වඥයන් සන්තර්පණය කෙළේය. ලෝකානුකම්පා ඇත්තා වූ ලෝකනායක වූ සර්වඥ තෙම එතන්හි ධම්ම දේශනා කොට අහසට නැග (වැඩ) සමන්කුළු මතුයෙහි පා සටහන දැක් වූ සේක”. බුදුන්වහන්සේගේ තෙවන ලංකා ගමනය මෙරට වෙසක් උත්සවයේ නිල ආරම්භය වන්නටද ඇත.

මහාවංශයෙහි එකොළොස් වෙනි පරිච්ඡේදයේ 42 වැනි ගාථාවෙහි දැක්වෙන පරිදි දෙවන පෑතිස් රජතුමාගේ දෙවැනි අභිෂේක මංගල්‍යය පවත්වන ලද්දේ වෙසක් පොහෝ දිනයකදීය.
“වෙසාබෙ නරපති පුණ්ණ මාය මෙවං
දේවානං පියවචනොපගුළ්හ නාමො
ලකායං පඩිත්ත පීති – උස්සවායං
අත්තනාං ජන සුඛ දෝපා සෙවයිසොති” යනුවෙන් ඒ බව මහා වංශයේ දැක්වේ.
වෙසක් උත්සවය ආගමික උත්සවයක් ලෙසින් ප්‍රථම වරට සිදුකළ බව සඳහන් වන්නේ මෙරට බුදු දහමට විශාල සේවාවක් ඉටුකළ ගැමුණු මහ රජතුමාගේ කාලයේදීය. බු.ව. 383 – 407 (ක්‍රි.පූ. 161 – 137) ගැමුණු මහරජ තුමාගේ පාලන සමය තුළදී පැවැත්වූ වෙසක් උත්සව පිළිබඳ මහාවංශයෙහි ලිඛිත සාධක හමුවේ. ගැමුණු මහරජතුමා වෙසක් උත්සව 24 පැවැත්වූ බව මහාවංශය සඳහන් කරයි.

“මහා වෙසාඛ පූජා චචතුවීසති තාරයිං
දීපෙ සඬගස්ස භික්ඛන්තුං තිචීවරමදාපඨං”

“සූ විස්සක් මහත් වෙසක් පූජාද කරවීමි ” යනුවෙන් මහාවංශයෙහි තිස්දෙවෙනි පරිච්ඡේදයේ 35 වැනි ගාථාවෙහි වෙසක් පූජා සිදුකළ බව දක්වා ඇත. පූජාවලියේ ද ගැමුණු රජතුමාගේ මේ වෙසක් උත්සවය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද දක්වා ඇත. ගැමුණු මහ රජතුමා මහා ථූපය හෙවත් රුවන්වැලි මහා සෑය ඉදිකිරීම ආරම්භ කොට ඇත්තේද වෙසක් දිනයේදීය. ඒ පිළිබඳව මහා වංශයේ විසිනම වන පරිච්ඡේදයෙහි 1සිට 4 දක්වා ගාථාවන්හි මෙසේ සඳහන්වෙයි. “මෙසේ උපකරණ සම්පූර්ණ වූ කල්හි වෙසඟ පුරපසළොස් වක විසා නකත පැමිණි කල්හි මහ සෑය පිණිස ආරම්භ කළේය. මිහිපල් තෙමේ එහි ගල්ටැඹ පහ කරවා අනේක ප්‍රකාරයෙන් ස්ථිර කරනු පිණිස සෑ තැන සත් රියනක් කැණවූයේ ය. අර්ථානර්ථ දැන්මෙහි දක්ෂ වූ නරේන්ද්‍ර තෙම එහි සුණු ගල් යෝධයන් ලවා ගෙන්වා ගුළු ගස්වා සුණු කකරන ලද ගල් භූමිය ස්ථිර වන පිණිස සමින් වසන ලද පතුල් ඇත්තා වූ මහඇතුන් ලවා මැඩ වී”.
බු.ව. 524-552 (ක්‍රි.පූ. 10 – ක්‍රි. ව. 9 ) දක්වා රජකම් කළ භාතිකාභය රජතුමාද තම රාජ්‍ය කාලයේදී මහා වෙසක් පූජා විසි අටක් කළ බවත් මහාවංශයේ දැක්වෙයි
“මහා වෙශාඛ පූජාව උළාර අට්ඨවීසති
චතුරාසීති සහස්සතී පූජාච අනුළාරිකා”

“අට විස්සක් මහ වෙසක් පූජාය” යනුවෙන් මහාවංශයෙහි තිස්හතර වෙනි පරිච්ඡේදයේ 19 වැනි ගාථාවෙහි දක්වා තිබේ. භාතිය රජතුමා කිරිබත්, මී, ගිතෙල්, සකුරු ආදියෙන් දන් දෙමින් වෙසක් උත්සවය පැවැත්වූ බව වංසත්ථප්පකාසිනී මහා වංශටීකාව විස්තර කරයි. බු.ව. 608 – 652 (ක්‍රි. ව. 67 – 111) දක්වා රජකම් කළ වසභ රජතුමාද සූසාලිසක් වෙසක් පූජා ද කරවී යනුවෙන් මහා වංශය දක්වයි. මහාවංශයෙහි තිස්පස්වෙනි පරිච්ඡේදයේ 100 වැනි ගාථාවෙහි

“චතුකාළීස වස්සානි පුරෙ රජ්ජ මකාරයි
චතු කාළිස වෙසාඩ පූජායොච අකාරයි”
යනුවෙන් වසභ රජතුමා වෙසක් උත්සවය සිදුකළ අන්දම දක්වා තිබේ. මහා වංශ කතුවරයා මෙම රජවරුන්ගේ වෙසක් උත්සව ගැන දක්වා ඇත්තේ වෙසක් උත්සව නොව වෙසක් පූජා වශයෙනි. මෙලෙස බෞද්ධ රජවරු අඛණ්ඩව වෙසක් උත්සවය පවත්වා ගෙන ගිය බව ඉතිහාස පුවත් දෙස බැලීමෙන් පෙනී යයි.

“මහා වෙසාඛ පූජං සො කාරෙක්වාදීපවාසිනං
සබ්බේසං යෙව භික්ෂුණං තිචීවරමධෘපයි”
යනුවෙන් බු.ව. 757 – 779 ( ක්‍රි. ව. 215 – 237) දක්වා රජ කළ වෝහාරික තිස්ස රජු වසරක් පාසාම මහා වෙසක් පූජෝත්සව පවත්වා භික්ෂූන්ට තුන්සිවුරු පූජා කළ බව මහාවංශයෙහි තිස්හය වෙනි පරිච්ඡේදයේ දැක්වේ.

“තිංස භික්ඛු සහස්සානං ඡචීවර මදා පයි
මහා වෙසාඛ පූජඤ්ච තදා ඵවං ආකාරයි”
යනුවෙන් එම පරිච්ඡේදයේම 109 – 110 වැනි ගාථාවෙහි දැක්වෙන අන්දමට බු.ව. 796-809 ( ක්‍රි. ව. 253 – 266) රජ කළ ගෝඨාභය රජතුමා වෙසක් උත්සව පවත්වා තිස්දහසක් භික්ෂූන්ට සිවුරු පූජා කරන ලද බව සඳහන් වෙයි. “එකල මහ වෙසක් පූජාවද එසේම කරවීය” යනුවෙන් දක්වා තිබේ. එයින් පැහැදිලි වන්නේ මහ වෙසක් පූජාව පෙර සිටි සෑම රජතුමෙකුම සිදුකල මහා පිංකමක් බවයි. බු.ව. 809 -819 ( ක්‍රි. ව. 266 – 278) දක්වා රාජ්‍ය කළ දෙටුතිස් රජතුමා ද වෙසක් පූජෝත්සවය පවත්වා, තිස් දහසක් භික්ෂුන්ට සිවුරු සයක් බැගින් පූජා කළ බව සඳහන් වේ.

“කාලමන්තිකාවාපිං සොඅදා චේතිය පබ්බතෙ
විහාර පාසාද මහං මහා වේසාඛ මේවච ”
යනුවෙන් මහාවංශයෙහි තිස්හය වැනි පරිච්ඡේදයේ 130 – 131 වැනි ගාථාවෙහි දැක්වේ. මේ අනුව පැහැදිලි වන්නේ වෙසක් උත්සවය දාන මාන වැනි පුණ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් පැවැත්වූ උත්සවයක් බවයි. වෙසක් උත්සවයත් සෑම රජතුමෙකු විසින්ම පැවැත්විය යුතු අංගයක් ලෙසින් පරපුරෙන් පරපුරට සම්ප්‍රේශනය වූ බවයි. “වෙසක් පූජාදී චාරිත්‍ර සියල්ලක් ම” ඉටුකළ බව දැක්වීමෙන් පෙනී යන්නේ රජවරුන් විසින් වෙසක් උත්සවය අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු සද් චාරිත්‍රයක් වූ බවයි. “සබ්බං වෙසාඬ පූජාදිං – චාරිත්තානුගතං අකා” “වෙසක් පූජා ආදී චාරිත්‍ර ක්‍රමයෙහි ආ සියල්ල කෙළේය” යනුවෙන් මහාවංශයෙහි හතළිස් දෙවැනි පරිච්ඡේදයේ 46 වැනි ගාථාවෙහි දැක්වෙන අන්දමට වාර්ෂිකව වෙසක් උත්ස්වය පැවැත්වීම පිළිබඳ අනුගමනය කළ යුතු සිරිත් විරිත් හා නීති පද්ධතියක් තිබූ බවත් ඒවා රජුන් විසින් ඒ අයුරින්ම පිළිපදින්නට ඇති බවත් සිතිය හැකිය.

මුලදී වෙසක් උත්සව “වෙසක් පූජා” ලෙස දැක්වුවද පසුකාලීනව “වෙසක් කෙළි” ලෙස හඳුන්වා දී ඇති අවස්ථා හමුවේ. ක්‍රිස්තුවර්ෂ 7 වන සියවස පමණ වන විට වෙසක් පූජා හැඳින්වීමට “වෙ සාඛ ඛීලං” හෙවත් වෙසක් කෙළි යන්න භාවිතයට පැමිණ තිබේ. වෙසක් පූජාවලදී භික්ෂුන් වහන්සේලාට දානය දීම, සිවුරු පූජාව වැනි පිංකම් කෙරහි ප්‍රමුඛතාවය දැක්වුවද වෙසක් කෙළිවලදී එය වඩාත් විසිතුරු අන්දමින් පැවැත්වීමට උත්සාහ ගෙන ඇත. මෙහිදි භික්ෂූන් වහන්සේලාට දානය දීම පමණක් නොව දුගී, මගී, යාචකයිනටද ආහාරපාන හා ඇඳුම් දීම ආදී කටයුතු සිදුකර ඇත. විවිධ සැරසිලිවලින් උත්සවය වර්ණවත් කර ඇත. පූජාවලියේ 34 වැනි පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ “පුණ්‍ය ගාථා” සඳහන්වන තැන දක්වා ඇත්තේ රජෙක් කළ වෙසක් පූජා පිළිබඳ විස්තරයකි. එහෙත් පරාක්‍රමබාහු රජතුමා පිළිබඳ දක්වා ඇත්තේ එතුමා සිදු කළ වෙසක් “කෙළි” යනුවෙනි.

බු.ව 1411 – 1446 ( ක්‍රි.ව. 851 – 885) අතර රජකම් කල දෙවැනි සේන රජුගේ රාජ්‍ය සමයේදී වෙසක් උත්සවය සැමරූ ආකාරය දැක්වෙන්නේ “වෙසක් කෙළි” වශයෙනි. දෙවන සේන රජතුමාද රට වැසියන් හා එක්වී මහත් උත්සවශ්‍රීයෙන් වෙසක් උත්සවය පැවැත්වූ බව වංශ කතා සඳහන් කරයි. එකල වෙසක් උළෙල නිසා රට එකම සැණකෙළියක් බවට පත්වූ බව සඳහන් වේ. වෙසක් දන්සැල්ද එකල සිටම පැවතුණි. දෙවන සේන රජතුමාද ජනතාවට ආහාරපාන සහ වස්ත්‍ර බෙදා දෙමින් වෙසක් උළෙල පවත්වා ඇත. “හෙතෙම දුගී දනන් හා එක්ව ඔවුන්ට රිසි සේ බත්, පැන් වත් දී වෙසඟ කෙළි කෙළියේය” යනුවෙන් මහාවංශයෙහි පනස් එක් වැනි පරිච්ඡේදයේ 84 වැනි ගාථාවෙහි දැක්වේ.

පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු රජතුමා වෙසක් උත්සවය සඳහා විශේෂ රාජකීය අනුග්‍රහයක් ලබා දී ඇත. දඹදෙණි යුගයේ රජකළ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා පැවැත්වූ වෙසක් උළෙලක් පිළිබඳ තොරතුරු පූජා වලියේ සඳහන්වේ. එසේම වෝහාර තිස්ස, ගෝඨාභය, ජෙට්ඨතිස්ස යන රජවරුන්ද ජාතික උත්සවයක් සේ සලකා වෙසක් උත්සවය සැමරීම සිදුකළ බව වංශ කතා ප්‍රකාශ කරයි. පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාලේ කාලයේදී වෙසක් කෙළි පැවැත්වූ බව පූජාවලියෙහිද සඳහන් වේ. “ඒ ඒ තන්හි රඟ මඬුළු මැද නටන ලද නළු පිරිසෙන් හා බුදුන්ගේ ස්තුති ගී කිය කියා ඒ ඒ දිග්හි සිට බුද්ධ ශාන්ති කරන බලිභෝජක මණ්ඩල පඬිත්තීන්” (ඒ ඒ තැන්වල පංචාංගික තූර්යනාදයෙන් හා ශක්‍රයාගේ හඳුන් උයන්වන් දිව්‍ය උත්සව මෙවැනි යැයි මනුෂ්‍ය ලෝකයට ගෙනහැර දක්වන්නාසේ) යනුවෙන් දෙවැනි පැරකුම්බා රජු කෙළි සෙල්ලම් සහිත සැණකෙළියක ස්වරූපය වෙසක් උළෙලක් පැවැත්වූ අකාරය පූජාවලියෙහි දක්වා තිබේ.

මෙලෙස අතීත රජ සමයේ පටන්ම රාජ අනුග්‍රහය යටතේ අඛණ්ඩව පැවැත්වූ වෙසක් උත්සවය යම් යම් කාලසීමාවන්වලදී බාධාවන්ටද මුහුණ පෑවේය. භික්ෂූන් වහන්සේලා සමග නිරන්තර ගැටුම් ඇති කරගත් සීතාවක රාජසිංහ රජුගෙන් වෙසක් උළෙලට බාධාවන් සිදුවූ බව ඉතිහාස කතා පුවත්වල දැක්වේ. බටහිර ජාතීන් මෙරට ආක්‍රමණය වෙසක් උත්සවයට බාධා පැමිණීමට මෙන්ම වෙසක් උත්සවය විශාල පරිවර්තනයට ලක්වීමටද හේතුවිය. 1770 දී විශේෂ පනතක් ගෙන ඊමන් විල්ලෑම් ප්ලෑක් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් එතෙක් පැවති පොහොය නිවාඩුව අවලංගු කිරීමත් සමග වෙසක් පොහොයද ලන්දේසීන් සිටි පහතරට ප්‍රදේශවල අවලංගු විය. ඉංග්‍රීසි ජාතිකයින්ද වෙසක් දිනයට තිබූ නිවාඩු අවලංගු කොට වෙසක් උළෙලට බාධා පමුණුවා තිබේ. නමුත් 1880 දී ලංකාවට පැමිණි ඕල්කට්තුමා නිසා යළි වෙසක් උළෙල නිවාඩු දිනයක් කිරීම මෙන්ම වෙසක් උත්සවය නව ආකාරයෙන් රට පුරා පැතිරීමත් සිදුවිය. ඕල්කට්තුමා එවකට යටත්විජිත ලේකම්වරයා වූ ඩර්බි සාමිවරයාගෙන් කළ ඉල්ලීම අනුව වෙසක් පොහොය දිනය ලංකාවේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත්කිරීමට අනුමැතිය ලැබුණි. ඒ අනුව 1885 මාර්තු 27 දින ගෝඞ්න් ආණ්ඩුකරු විසින් අංක 4648 දරන ගැසට් පත්‍රය මඟින් වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කළේ ය. 1886 අංක 4 දරන ආඥා පනතින් මේ නිවාඩු දිනය නීතිමය වශයෙන් තහවුරු කිරීම වෙසක් උළෙලට ලැබුණු නීතිමය පිළිගැනීමක් විය.

මෑත කාලයේ වෙසක් උළෙල වඩාත් උත්කර්ශවත් ආකාරයෙන් සමරන ලද්දේ 1956 වසරේ උදාවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2500ක් ගතවීම අනුස්මරණය කරමින් පැවැත් වූ බුද්ධ ජයන්තියයි. 1956 බුද්ධ ජයන්ති වර්ෂය ලෙස නම්කොට වසර පුරාම රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන ලදී. මේ මගින් මෙරට ජනතාව තුළ විශාල වශයෙන් ආගමික නැඹුරුවක් ඇති කිරීමට හැකිවිය. බුද්ධ ජයන්ති වසර සඳහා රජය මගින් තුන් සූත්‍රය පොතක් පාසල් සිසුන් අතරේ බෙදා දුන් අතර පවුලේ සෑම දෙනාම එක්වී පිරිත් හඬනඟා කීමෙන් පසු මෛත්‍රී භාවනාව වඩා නින්දට යාම මේ හරහා මුළු රටටම හුරු කළේය. අදටත් බෞද්ධ පවුල් අනුගමනය කරන මේ සිරිත 2500 බුද්ධ ජයන්තියේ ප්‍රතිඵලයකි.

වෙසක් කලාප, සඟරා හා පුවත් සියලු මාධ්‍ය ආයතන මගින් ප්‍රකාශයට පත්කරන ලද අතර තවමත් බොහෝ මාධ්‍ය ආයතන “පොහොය කලාප” නිකුත් කරනු ලබයි. බුද්ධ ජයන්තිය වෙනුවෙන් රුපියලේ සහ රුපියල් පහේ කාසි නිකුත් කිරීමද සිදුවූ අතර “බුදු සසුන බැබළේවා” යනුවෙන් සඳහන් පුවරු හා බෞද්ධ කොඩි භාවිතයට පැමිණියේද 1956 වසරේ උදාවූ බුද්ධ ජයන්තිය නිසාවෙනි. ගුවන් විදුලිය මගින් විශාල වශයෙන් ධර්ම දේශනා හා ආගමික වැඩසටහන් විසුරුවා හැරි අතර අද පවත්නා බොහෝ ගුවන් විදුලි ආගමික වැඩසටහන් හා ධර්ම දේශනා බුද්ධ ජයන්තිය නිසා ආරම්භ වූ ඒවාය. ගුවන් විදුලියෙන් ප්‍රථම වරට පසු දා පහන් වනතුරු සර්ව රාත්‍රික පිරිත් දේශනා විසුරුවා හැරීමද මේ නිසා ආරම්භ විය. වෙසක් තොරණ හා දන්සල් රට පුරා බහුල ලෙස පැතිර යාමට හේතු වූයේද 2500 බුද්ධ ජයන්තියයි.

1998 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැති අන්ර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ යෝජනාවක් අනුව 1999 දෙසැම්බර් 13 වැනි දින වෙසක් දිනය සමස්ත ලෝකවාසීන් විසින් අනුස්මරණය කළ යුතු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිළිගන්නා ලදී. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා එම දිනය සම්මත කර ගැනීමෙහිලා ලා විශාල මෙහෙයක් ඉටුකළේය. නමුත් වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස නම් කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රතික්ෂේප විය. ඊට හේතු ලෙස ඉදිරිපත් වූයේ එවැනි දිනයක් හරහා ලෝකයට අමතර වියදමක් එකතුවන බවට කරුණු ඉදිරිපත් වීමයි. නමුත් පසුව ඉදිරිපත්වූ කරුණු අනුව 193 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ඒකමතිකව පිළිගෙන තිබේ. ඒ අනුව 2016 සිට වෙසක් පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්විය.

බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව වසර 2600ක් ගත වීම 2011 මැයි මස 17 දිනට යෙදුණු වෙසක් පුන් පොහෝදා උදා විය. පිළිවෙතින් පෙළගැසෙමු යන තේමා පාඨය භාවිතා කර ගනිමින් උදාවුණ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය ඉතිහාසයේ මැත කාලයේ උදාවුණ ප්‍රධානම වෙසක් උත්සව දිනයයි. මේ සම්බුද්ධත්ව ජයන්තිය නිසාද රට තුළ විශාල ආගමික ප්‍රබෝධයක් ඇතිවිය. අද පවතින ආගමික දියුණුව 2600 වන සම්බුද්ධත්ව ජයන්තියේ ජයග්‍රහණයකි. 2017 වර්ෂයේ දී 14 වෙනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය (ජාත්‍යන්තර වෙසක් උළෙල) හා ලෝක බෞද්ධ සමුළුව මෙරටදී පැවැත්වුණු අතර එය ජාත්‍යන්තර වෙසක් උළෙල මෙරට ප්‍රථමවරට පැවැත්වූ අවස්ථාව විය.

බෞද්ධයන්ට සුවිශේෂීම උත්සවයක් වන වෙසක් උත්සවය වසර දහස් ගණනක් තිස්සේ පැවත එන සාරවත් බෞද්ධ උත්සවයකි. එහි අතීත ශ්‍රී විභූතිය රැක ගනිමින් ඉදිරියටත් පවත්වා ගැනීම සියලු බෞද්ධයන්ගේ යුතුකමකි. එවිට තවත් වසර දෙදහස් පන්සියකින් මෙවැනිම සටහනක් කිසිවකු හෝ ලියා තබනු ඇත.
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

පාළු නොවෙන කෞතුකාගාර

Next Post

මරණින් පසුව ප්‍රේතයකු නොවී සිටින්නේ කොහොමද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.