රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුන් සිව්දෙනා ඇතුළුව සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News
ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 93 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර තුවාලකරුවන් ගණන 100 ඉක්මවා තිබේ.
මේ අතර, රුසියානු රජය පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ ඥාතීන්ට එරට මුදලින් රුබල් මිලියන 3ක් සහ තුවාල ලැබූ පිරිස සඳහා එක් අයෙක් වෙනුවෙන් රුබල් මිලියනයක් ලබාදීමට කටයුතු කරන බවය.
ප්‍රහාරයේ වගකීම මේ වනවිට ISIS-K ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන තිබේ.
මෙම ප්‍රහාරය සිදු වුයේ රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ ක්‍රස්නොගෝර්ස්ක්හි පිහිටි රංග ශාලාවකදීය.
විදෙස් වාර්තා සඳහන් කළේ හමුදා සාමාජිකයින් ට සමාන ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් සිව්දෙනෙකු ප්‍රසංගයක් පැවති අදාළ ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබා, අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.
වෙඩි තැබීම සිදුකර තිබුණේ රොක් සංගීත කණ්ඩායමක් පවත්වන සංගීත සංදර්ශනයක් ආරම්භ වීමට මොහොතක් තිබියදීය.
සංගීත කණ්ඩායම වේදිකාවට පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ප්‍රහාරය සිදුවූ අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට ඉන් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.
ආසන 6,200කින් සමන්විත රංග ශාලාව ඒ මොහොත වන විට ජනතාවගෙන් පිරී පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ප්‍රහාරයත් සමඟ ප්‍රසංගය පැවති ශාලාව තුළ ගින්නක් ද හටගෙන තිබේ.
විනාඩි 15ක් හෝ 20ක කාලයක් ප්‍රහාරය සිදුකර ඇති බවද සඳහන් ය.
තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් ද සිටින අතර රුසියානු විදේශ අමාත්‍යාංශය “මෙම ත්‍රස්ත ප්‍රහාරය” හෙළා දකින බව සඳහන් කර තිබේ.
ප්‍රහාරය සඳහා පැමිණි තුවක්කුකරුවන් පසුව සුදු පැහැති මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වුණි.