දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාජ වගකීම් ඉටුකරන ව්‍යාපාර ආයතනයක් ලෙසින් කොවිඞ් 19ට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින්ට 2020 වර්ෂයේදී කොවිඞ් 19 හේතුවෙන් උද්ගතවන අවාසනාවන්ත තත්ත්වයකදී කිසියම් ජීවිත අහිමිවීමක් සිදුවුවහොත් ඔවුන්ගේ පවුල් සඳහා ‘විරු අභිමන්’ නමින් මූල්‍ය ආවරණයක් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම ‘විරු අභිමන්’ ආවරණය මගින් සියලුම රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල (සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, රියදුරන්, සුළු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කලාප සෞඛ්‍ය නිලධාරීන්), ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව), ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් සඳහා රු. ලක්ෂ 15ක් දක්වා වූ මුදලක් ලබාදෙනු ලැබේ.











