හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම, covid-19 වෛරසය ආසාදනය වූ රෝගීන් දුරස්ථව පරික්ෂා කිරීමේ සහ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කළ හැකි ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් (AGV) නිර්මාණය කර එය හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළේය. මෙම නිර්මාණය මුළුමනින් ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි.
මෙවැනි රොබෝ යන්ත්‍රයක් මෙරට නිර්මාණය කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයවන අතර එහි මුල් ආකෘතිය මේවන විට හෝමාගම මූලික රෝහලේ අත්හදා බැලෙමින් පවතී. මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ ඇට්ලස් කණ්ඩායමද ඕනෑම ගැටලුවක් ඇති වුවහොත් එය අවබෝධ කර ගැනීම සහ ඊට පිළියම් යෙදීම සඳහා රෝහල් කාර්යමණ්ඩලය සමග සමීපව කටයුතු කරමින් සිටී. කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙම මුල් ආකෘතියේ තාක්ෂණය ලබා දීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.











