මෙරට සිටි ජනප්‍රියතම ගායකයෙකි. ජේ. ඒ. මිල්ටන් පෙරේරා. ඔහු මෙලොවින් සමුගෙන මේ වන විට වසර ගණනාවක් ගතවී ඇතත්, ඔහු මෙන්ම ඔහු ගැයූ ගීතද මෙරට ගීත ඉතිහාසයෙහි සදා අමතක නොවන ලෙස සටහන්වී ඇත. ගායකයකු වශයෙන් කැපී පෙනීමට පෙර ඔහු දස්කම් දැක්වූයේ වාදකයකු වශයෙනි. එම යුගයේම ඔහු ගායකයකු වශයෙන් ප්‍රිය සම්භාෂණ යනාදියෙහි ගීත ගායනා කර තිබූ නමුත් ගුවන්විදුලියෙහි ගී ගයා නොතිබිණි. ඔහු ගුවන්විදුලියෙන් ගායනා කළ එමෙන්ම තැටි ගතකළ මුල්ම ගීතය ලෙස ප්‍රවීණ ගීත රචක ඇලෝයි ගුණවර්ධන විසින් රචිත ‘ආලෙහි බැඳී’ නමැති ගීතය නම් කළ හැකිය. මෙම ගීතය ගැන කතා කරන විට මේ සම්බන්ධයෙන් ඇත්තේ රසවත් කතාවකි. දැනට දශක කිහිපයකට පෙර මිල්ටන් මෙය මාධ්‍ය වෙත පවසා තිබිණි.
ඒ එක්තරා රාත්‍රියක. මිල්ටන් පවසන පරිදි ඔහු එදිනද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට සහභාගි වී එන අතරවාරයේය. ඔහු සමඟ ගීත රචක ඇලෝයි ගුණවර්ධනද විය. මෙම සම්භාෂණය පැවැත්වී ඇත්තේ කැලණියේ වන අතර, නැවැත පැමිණෙ විට එදා කැලණි මහා පෙරහැර පැවැති දිනයක් වීමෙන් පෙරහැර නැරැඹීමේ අවස්ථාවද ඔහුට හිමි විය. මේ අනුව ඒ වන විට මධ්‍යම රාත්‍රියද පසුවී පැය කිහිපයක් පමණ ගෙවී ගොස් තිබූ අතර, ආදරය සම්බන්ධ ගීතයක් විශේෂයෙන් ආදරය තරුණ ජීවිතවලට බලපාන ආකාරය ගැන ගීතයක් ඇලෝයිට කියා රචනා කරවා ගැනීමට මිල්ටන්ට ඕනෑකම තිබිණි. ඒ ඔහු වඩාත් ප්‍රිය කළ ජනප්‍රිය හින්දි තනුවකට අනුවය. අවසානයේදී මිල්ටන්ගේ අවශ්‍යතාව ඉටු වූවේ සඳ එළියේම අපූරු ගීතයක් ඇලෝයි අතින් ලියැවීමෙනි. මෙය සඳහන් කළ පරිදි ‘ආලෙහි බැඳි’ නම් ගීතයයි.
මෙසේ ගීතයක් ලියවා ගත්තද මිල්ටන්ගේ ගීතය ගායනා කිරීමේ අදහසක් තිබී නොමැත. මන්ද ඒ වන විට ඔහු ගුවන්විදුලි ගායකයකු නොවීම එයට හේතු විය. නමුත් ඔහු මෙම ගීතයට මහත්සේ ඇලුම් කළ අතර, එය සුරැකිව තමා ළඟ තබා ගන්නට අමතක කළේ නැත. පසුව ඔහු මෙම ගීතය තම අතිජාත මිත්‍ර ජනකාන්ත ගායක එච්. ආර්. ජෝතිපාලට පෙන්වා ඇත. ‘වෙළෙඳ අංශයේ තිබුණු වැඩසටහනකදී මෙය ගයන්නට ජෝතිපාල කැමැති වුණා’ මිල්ටන් සඳහන් කළේ එම ගීතය ගැන ජෝතිගෙන් ලැබී ඇති ප්‍රතිචාරය සම්බන්ධවයි. නමුත් අවසානයේදී සිදුවූවේ කුමක්ද? ඒ ගැන මිල්ටන් පවසන්නේ ‘ජෝතිට චිත්‍රපට ගීත පටිගත කිරීමක් වෙනුවෙන් ඉන්දියාවට යෑමට සිදුවුණා’ මේ නිසා ඇලෝයි ගුණවර්ධන විසින් රචිත ‘මුලදී බැන්ද ආදරයක මිහිර දැන්’ වැනි ජෝති විසින් ගයන ලද අමරණීය ගීත අතරට එක්වන්නට තිබූ තවත් එවන් අමරණීය ගීතයක් ජෝතිගේ හඬින් ඇසීමේ අවස්ථාව ගිලිහී යෑම සිදුවුවද ආදර ගීත සම්බන්ධව කතා කරන විට අමතක කළ නොහැකි තවත් ආදරණීය හඬක් සිංහල ගීත ශ්‍රාවකයන් අතරට එක්වීම සිදුවිය. මේ අනුව ජෝති චිත්‍රපට ගීතයක් සඳහා ඉන්දියාවට යෑමෙන් අනතුරුව හදිසියේම වැඩසටහනක් සඳහා ගුවන්විදුලියෙන් කැඳවීමක් මිල්ටන්ට ලැබෙන්නේය. එම වැඩසටහනේදී ඔහු විසින් මෙම ගීතය ගයනු ලබයි. ප්‍රතිඵලය ඉතිහාසයේ සටහන්වී තිබේ. එක රැයකින් තම මුල් ගීයෙන්ම මිල්ටන්වත් බලාපොරොත්තු නොවූ අසීමිත ජනප්‍රියත්වයක් ඔහු කරා ආවේය. එදා එසේ ආරම්භ වූ ඔහුගේ ජනප්‍රියත්වය ඔහුගේ මරණින් මතුද මේ වනතෙක්ම නොනැසී පවතින බව පැවැසිය යුතුය. අවසානයේදී ජෝති නැවැත ලංකාවට පැමිණෙන විට මිල්ටන් නමැති තම වාදක මිතුරා ජනප්‍රිය ගායකයකු වී අවසන්ය. එමෙන්ම මෙම ගීතය සදාකල්හි තම මතකයෙහි රැඳුණු ගීතයක් ලෙසද මිල්ටන් නම් කර තිබිණි.
අනිල් වීරසිංහ











