හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතු වන දහම් සිරිසේන මහතා පුවත් මවන්නෙකු බවට පත්වූයේ සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමටත් පෙරය. දහම් සිරිසේන සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වූ පළමු පුවත වාර්තා වන්නේ 2013 වසරේදීය. එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට පුතකු සිටින බව රටේ ජනතාව දැන ගත්තේද එදාය. එම සිදුවීම වාර්තා වූයේ මඩකලපුව පාසිකුඩා වෙරළෙනි. තම මිතුරන් කිහිප දෙනකු සමඟ විනෝද වෙමින් සිටි දහම්ගේ කණ්ඩායම සහ තවත් පාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිවූ බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. එම සිද්ධිය වඩාත් ප්‍රසිද්ධියට පත් වීමට මුල් වූයේ එම ගැටුමට මැදිවූ තරුණියකගේ සැමියා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතණුවන් වීමත් සමඟිනි.
එම සිද්ධියත් සමඟින් දහම් සිරිසේන පිළිබඳ රටම කතා කරන්නට වූ නමුත් ඒ හරහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගොඩ නඟා ගෙන තිබූ ප්‍රතිරූපයට හානියක් නොවීමද විශේෂත්වයකි. එයට හේතු වූයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ දහම් සිරිසේන නිදහස් කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු බලපෑමක් සිදු නොකළ බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමඟිනි. දහම් සිරිසේන නිදහස් කරන තුරු තමන් පොලිසියේ බංකුවේ වාඩි වී සිටි බවද පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. සිරිසේන මහතා රජයේ ප්‍රබල ඇමැතිවරයකු වීමත්, අනෙකා පොලිස් සේවයේ ප්‍රධානියකු වීමත් මත එම ප්රශ්නය එතරම් දුර දිග ගියේද නැත.
ඉන් අනතුරුව නැවතත් දහම් සිරිසේන පිළිබඳ කතාබහක් රට තුළ මතුවන්නේ 2016 වසරේදීය. ඒ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් සමඟ රාත්‍රී සමාජ ශාලා සේවකයකුට පහර දීමේ පුවතක් සමඟිනි. ඒ වන විට විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි දහම් නිවාඩුවක් අතරතුර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක එම සිද්ධිය ඇතිවී තිබුණි. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ අතර අදාළ සිද්ධියට වැඩි මාධ්‍ය ප්‍රචාරයක් නොලැබීමට එයද එක් හේතුවක් වූවා විය හැක.

මේ සිදුවීම් පෙළට තවත් එක් ජවනිකාවක් එකතු කරමින් නැවතත් දහම් සිරිසේන පිළිබඳ කතා බහ අලුත් වූයේ පසුගිය 29 දාය. ඒ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවක කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි සුවිසල් නිවසක විවෘත මහලේ සාදයක් :චදදක ච්රඑහ* පැවැත්වීමට දහම් සිරිසේන කටයුතු කළා යැයි කියන පුවතත් සමඟිනි. මේ සම්බන්ධයෙන් පළමුව හෙළිදරවු කළේ “සන්ඬේ ටයිම්ස්” පුවත්පතේ ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදිනියක වන නාමිනී විජේදාස මහත්මියය. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සටහන් කර තිබුණේ ඇඳිරි නීතිය පනවා තිබෙන මෙවන් අවස්ථාවකදී මෙවැනි සාදයක් පැවැත්වීම ප්‍රශ්නාර්ථයක් බවය. එමෙන්ම ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒ අවට සිටි පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවද ඇය සටහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කතාකොට වට්ස්ඇප් පණිවිඩයක් මඟින් දැනුවත් කරද, එයට ඒ මහතා පිළිතුරු නොදුන් බවද සඳහන් කර ඇති විජේදාස මහත්මිය මාධ්‍යවේදිනියක් ලෙස තමන්ගේ වගකීම ඉටු කිරීම සඳහා එය මහජනතාව ඉදිරියට රැගෙන යන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
සම්මානලාභී ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක ලෙසින් ප්‍රකට විජේදාස මහත්මිය මීට පෙරද මේ ආකාරයේ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදු කර ඇති ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදිනියකි. ජනතාව දැනුවත් කිරීමෙන් නොනැවතී ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද ඇය කටයුතු කර ඇත. විජේදාස මහත්මිය තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන වඩාත් ප්‍රචලිත වූයේ අපගේ වෙබ් අඩවිය වන අඅඅගප්අර්ඒබැඅිගකන ඔස්සේ එය පළ කිරීමත් සමඟිනි. වෙනත් කිසිදු මාධ්‍යයක් අනාවරණය නොකළ එම පුවත අප වෙබ් අඩවිය ඔස්සේ පළ වීමත් සමඟ එයට හිමි වූයේ විශාල ජනප්‍රියත්වයකි. එම පුවත පළ කර සැණෙකින් එය වේගයෙන් පැතිර යන්නට වූ අතර මොහොතකට පසු අපගේ වෙබ් අඩවියට පැමිණ සිටි පරිශීලකයන් ගණන 15000ද ඉක්මවා යන තත්ත්වයක් උද්ගත වී තිබිණි.


එම පුවත අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිර යාමත් සමඟ ක්‍රියාත්මක වූ දහම් සිරිසේන මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණු අතර ඒ නාමිනී විජේදාස මහත්මිය පළ කළ සටහනට පිළිතුර සටහනක් තබමින් වීමද විශේෂත්වයකි. එමඟින් ඔහු සඳහන් කර තිබුණේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් වන බැවින් තමන් ඉදිරියේදී ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. එමඟින් තමාගේ හොඳ නම කැත කිරීමට උත්සාහ දරා ඇති බව පවසන සිරිසේන මහතා තමන් ඇතුළු පවුලේ උදවිය මේ දිනවල ස්වයං නිරෝධායනකට යොමු වී සිටින බවත්, ඒ කේම්බි්රජ් ප්ලේස්හි නොව වෙනත් ස්ථානයක බවත් සඳහන් කර තිබුණි. එමෙන්ම අලුයම 2.30 වන තුරු සාදයක් පවත්වන විජේදාස මහත්මිය දැක ඇත්තේ සිහිනයෙන් විය යුතු බවද පවසා ඇති දහම් චෝදනා කර ඇත්තේ එවැනි අසත්‍ය පුවත් මවමින් ලබා ගත නොහැකි වූ ජනප්‍රියත්වය ලබා ගැනීමට විජේදාස මහත්මිය උත්සාහ දරන බවය. ඉදිරියේදී ප්‍රයෝජනවත් වන බැවින් නීති උපදේශකයන් සමඟ දැන් සිටම සම්බන්ධ වී සිටින ලෙස දහම් සිරිසේන සටහන අවසානයේ නාමිනී විජේදාසට පවසා ඇති ආකාරයද දැකගන්නට තිබේ.
කෙසේ නමුත් තමන් නිරෝධායනට ලක් වී ඇත්තේ කේම්බ්්ජ් ප්ලේස්හි නොවන බව සිරිසේන මහතා සඳහන් කර ඇතත් තමන් රැඳී සිටින්නේ කොහිදැයි ඔහු පැහැදිලිව සඳහන් කර නැත. එමෙන්ම සිරිසේන මහතා පවසන ආකාරයෙන් ව්‍යාජ ප්රවෘත්ති පතුරුවාලමින් ජනතා ආකර්ෂණය දිනා ගැනීමේ අවශ්‍යතාවයක් නාමිනී විජේදාස නැමැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියට නොමැති බව මාධ්‍ය ලෝකයේ කවුරුත් හොඳින් දන්නා බවද සිහිපත් කළ යුතුය. මාධ්‍යවේදිනියක ලෙස වසර ගණනාවක් පුරා ඇය ජනතා ආදරයට මෙන්ම ගෞරවයන්ටද බොහෝ සෙයින් පාත්‍ර වී ඇත.
මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගෙන් අදහස් විමසූ විට ඒ මහතා සඳහන් කළේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවය. එමෙන්ම මේ පිළිබඳව විමසීමට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්බන්ධ කර ගැනීමටද විශාල උත්සාහයක් යෙදුවද, ඒ මහතා මේ දිනවල අධික කාර්යබහුලත්වයක සිටින බැවින් ඒ අවස්ථාව අහිමි විය.
චන්දන පොන්නම්පෙරුම











